සාහිත්‍ය සැප්තැම්බරය එළඹෙන තුරු නොඉවසිල්ලෙන් පසු වු සියල්ලන්ගේම සිත් ප්‍රීති ප්රමෝදයට පත් කරමින්, ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය දහනව වන වරටත් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ ශාලාවේ දී පසුගියදා පැවැත්විණි.ආසියානු කලාපයේ සුවිශාලතම පොත් ප්‍රදර්ශනය ලෙසින් සැලකෙන මෙය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධානය කෙරෙයි.මෙය සාහිත්‍ය හා සබැඳි ප්‍රධානතම අංගයකි.
සාහිත්‍යය යනු මනුෂ්‍ය ආධ්‍යාත්මය සුවපත් කරමින්, උත්තරීතර ගුණ ධර්මවලින් සුපෝෂණය කරවන්නකි. සැබෑ ලොව තුළ සිදුවන නමුත් බොහෝ දෙනාගේ ඇස නොගැටෙන, විචාරයට හෙවත් විමසුමට ලක් නොවන්නා වූ සියුම් සිදුවීම් මනාව සෞන්දර්යාත්මකව ඉස්මතු කර එමඟින් රසික සිත් තුළ කලාකාමීත්වය මෙන්ම සංවේදීත්වයත් එක ලෙස ජනිත කරවන්නට සාහිත්‍යය සමත් ය. ලේඛන කෞශල්‍යයත් විචාරශීලීත්වයත් සාහිත්‍යයේ පදනමයි. එය වඩ වඩාත් සවිබල ගැන්වීමේ ඒකායන අරමුණින් සෑම වසරකම සැප්තැම්බර් මාසය ‘සාහිත්‍යය මාසය’ ලෙස නම් කර ඇත. සාහිත්‍යය මාසය මුල් කරගනිමින් නොයෙකුත් වැඩසටහන් දීපව්‍යාප්තව ක්‍රියාත්මක වෙයි. සාහිත්‍ය තරඟාවලි, මෙමඟින් පොත පත කියවීමත්, සාහිත්‍යමය නිර්මාණකරණයෙහි නැඹුරු කිරීමත්, සාහිත්‍යය රසවින්දනය ඉහළ නැංවීමත් සිදු වේ.එමෙන්ම සාර්ථක දිවි පෙවෙතක් ගත කිරීමට අවශ්‍ය ජීවිත අවබෝධය ද සමාජයීය දැනුමද මෙමඟින් තීව්ර කරවයි. එනම් සාහිත්‍යය මඟින් මිනිසා පෝෂණය වේ.
සාහිත්‍ය මාසය හා සබැඳි ප්‍රධානතම අංගය වන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය යනු වයස් භේදයකින් තොරව සාහිත්‍යයට ඇලුම් කරන සියලු දෙනා රස විඳින්නකි. දිවයිනේ ප්‍රමුඛතම පොත් ප්‍රකාශකයන්ගේ අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙය හුදෙක් පොත් ප්‍රදර්ශනයක් පමණක් ම නොවේ, එය සැණකෙළියක් බඳු ය. දෙස් විදෙස් කුටි 300කට අධික ප්‍රමාණයක් මෙහි අන්තර්ගත වේ. විව්ධ භාෂා හා විවිධ තේමාවලින් ප්‍රකාශිත පොත් පත් හා පරිවර්තන මෙන්ම අනෙකුත් අත්‍යවශ්‍ය ලිපි ද්‍රව්‍යය සියල්ලක්ම වට්ටම් සහිත සහනදායී මිලට ලබා ගැනීමට මෙහිදී අවස්ථාව ලැබේ.පුරා සතියකට ආසන්න කාලයක් තුළ උදෑසන 9.00 සිට රාත්‍රී 9.00 දක්වා විවෘතව පැවති මෙම ප්‍රදර්ශන භූමිය මෙවරත් ජනයාගෙන් පිරී ඉතිරී යනු දක්නට ලැබිණි.වසර පුරාවටම අවශ්‍ය පොත්පත් හා ලිපි ද්‍රව්‍ය ලැයිස්තු සකසාගෙන අවුත් වෙළෙඳ කුටි පිරික්සන්නවුන් ද, පොත් කියවමින් තෝරා මිලට ගන්නවුන් ද මෙම ප්‍රදර්ශන භූමියේ සුලබව දැකිය හැකිය.ඒ අතර පොත් මිලට නොගෙන ඒවායේ සාරාංශය කියවා බලමින් තෘප්තිමත් වන්නවුන් ද දැකිය හැකිය.විවිධ වෙළඳ කුටි පිහිටා ඇති ස්ථාන සිතියම් ගත කර තිබීම මේ සෑම දෙනාටම පහසුවකි.එසේම පැමින්ණෙන්නන්ට අවශ්‍ය ආහාර පාන ආදියෙන් ද සපිරි වන මෙහි විනෝදාත්මක ක්‍රියාකාරකම් ද,පාසල් දරුවන් ස්ඳහා චිත්‍ර තරඟ ද,රසවින්දනය සඳහා සංගීතමය වැඩසටහන් ද අඛණ්ඩව පැවැත්වෙන අතර ප්‍රවීණ ලේඛක ලේඛිකාවන් මුණ ගැසීමටත් ඔවුන් සමඟ සුහද පිළිසඳරක යෙදීමටත් අනගි අවස්තාවන් සලසා තිබීමද සොඳුරු අත්දැකීමකි.
ජාති ආගම් භේද දුරලා දස දෙසින් පැමිණෙන සියල්ලන්ම සහයෝගයෙන් ගෙවෙන එක් මොහොතක් පවා ඔවුනොවුන් අතර සමඟියේ හා සමානාත්මතාවයේ බැඳීම් වර්ධනය කිරීමට හේතු වේ.
එසේම ප්‍රවීණ රචකයන්ගේ නවතම ග්රන්ථ ගණනාවක්ම මෙම ප්‍රදර්ශනය හරහා පාඨකයින් වෙත එළි දැක්වීම සෑම වසරකදීම සිදු වේ.ප්‍රවීණ ගීත රචිකා යමුනා මාලිනි පෙරේරා මහත්මියගේ සුළං දෝලා නවකතාව, සිත් ගං දෑල තීරු ලිපි එකතුව, ප්‍රවීණ ලේඛක ජයකොඩු සෙනෙවිරත්න ලියූ අක්වැල්ල නව කතාව මෙන් ම මාධ්‍යවේදී කුමාර සිරිවර්ධන මහතා විසින් පරිවර්තනය කෙරුණු පුනර්භව ගවේෂණ කෘතිය ද මෙවර නිකුත් වූ ග්රන්ථ අතර විය.
සාහිත්‍යයේ අරුත්බර බව පසක් කරමින් එය නව පරපුරට දායාද කරන්නට මහඟු තෝතැන්නක් වන මෙම ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් අති සාර්ථක අන්දමින් පැවැත්වුණ අතර එලෙසින්ම අඛණ්ඩව අනාගතයේදීත් පැවැත්වීම සාහිත්‍යයේ උන්නතියට මහඟු පිටිවහලක් වනු නොඅනුමාන ය.
Leave a Comment