පුරා දහතුන් වසරක් විදුහල් මාතාව සෙවනේ සිප් සතර හදාරා උසස්පෙළ නැමති කඩඉම පසුකරගෙන ආ ගමනේ කටු ඉඹුල් බොහෝමයි. ඒ දහතුන් වසරේ හෙලූ දුක් කඳුලු, වැගිරූ දහදිය මල්ඵල ගන්වමින් උසස් අධ්‍යාපනය හැදෑරීමට විශ්ව විද්‍යාල වරමක් මට ද උදා විය. ආදරණීය දෙමව්පියන්ගේ සිහින සැබෑ කරනු වස් දහතුන් වසරක් පුරා මා අත් විඳි ජීවිතයෙන් සමුගෙන මේ වර්ෂයේ මැදින් මස දහ අට වැනිදාවක එක්තරා විස්මිත ලොවකට පා තබන්නට මට ද අවස්ථාව උදා විය.
ජීවිතයේ විසි එක් අවුරුද්ද පුරාවටම දෙමව්පිය සෙවනේ හැදී වැඩී, ජීවිතයේ පියවරක් පියවරක් පාසාම මගේ සෙවනැල්ල මෙන් මා පසුපස සිටි ආදරණීය මෑණියන් සහ පියාණන් ගෙන් ඈත්වී වෙනස්ම ලෝකයකට අවතීර්ණ වීම තවමත් මට අභියෝගයකි. ගෙදර සිහිවෙන මොහොතක් මොහොතක් පාසාම එහි දිව යන්නට මට සිතෙයි. ඔවුන්ගේ සෙවනේ හැදී වැඩී උන් මා අද සිටින්නේ විශාල පිරිසක් මැද මංමුලා වූ මඟියෙකු සේය.
විශ්ව විද්‍යාල ගේට්ටුවෙන් ඇතුල්වත්ම මින් පෙර නොවිරූ ලෙස මා ජීවිතය වෙනස් වීමට යන බව මට ඒත්තු ගැන්විණි. බලාපොරොත්තු ජීවිතය ජීවත් කරවයි. දහසකුත් එකක් බලාපොරොත්තු පොදි බැඳ ගිරි දුර්ග තරණය කරමින් පැමිණි ගමන් මඟේ එක් සංධිස්ථානයකට මා පැමිණ නතර වූවා යැයි හැඟීම මා සිත තුල නළියන්නට විය.
“ආ මඟ කෙටියි – යා යුතු මඟ දුරයි
නිරතුරු නුවණැති – තරණය කළ යුතුයි…”
පුරා වසර දෙක හමාරකට වැඩි කාලයක් ඔප මට්ටම් කළ හීන ගොන්නක් කරපින්නාගෙන අද දින මම මේ පාරාදීසය අභියස සිටගෙන සිටින්නෙමි. එහි දොරඟුලු විවර කොට අත්දැකීම් සමුදායකින් සන්තානය පුරවා ගැනීමට ද අධ්‍යාපනයේ උපරිම ඵල නෙළා ගැනීමට ද යන ඒකායන පරමාර්ථ ඇතුව ඒ දොරඟුලු විවෘත කොට එම පාරාදීසය තුළට පියමන් කරන්නට මම මගේ පා එසවීමි.
Leave a Comment