විශේෂ දිනයන්

සැරසිල්ලක්ම නොවන සැරසිල්ල

පුන්සඳ මෝරා අඹරේ දිලි හිනැහෙන්නා
උතුම් වෙසඟ සැමරුම බව අපට කියන්නා
බුදු තෙමඟුල සිහිකරනට දන සැරසෙන්නා
සියලු බැතිමතුන් බැතියෙන් මුණිඳු පුදන්නා

නෙක නෙක ප්‍රතිපත්ති පූජා කරති බොදු දනා
ආමිසයෙන් ලොව්තුරු හිමි පුදති ලෝ සැමා
උතුම් දිනය සරසන්නට සැරසිලි සදනා
පහන් කූඩු සැම නිවසක පාලු මකන්නා

අටපට්ටම් පහන් කූඩු දසත දකින්නේ
සිත නිවනා දසුනකි එය ඇසට ගෙනෙන්නේ
හුදු සැරසිල්ලක් ම ලෙසින් එය නොසිතන්නේ
දෑස් මන හොඳින් විවරව අරුත සිතන්නේ…

බෞද්ධ අපට වෙසක් මංගල්‍යය යනු තවත් එක් උත්සවයක් හෝ පොහොය දිනයක් ම නොවන බව අප කොයි කවුරුත් හොඳින් දන්නා කරුණකි. අප අදහන බෞද්ධ දර්ශනය අපට පෙන්වා දුන් අප තිලෝගුරු අමා මෑණි බුදු පියාණන්ගේ අසිරිමත් කුමාරෝත්පත්තිය , උත්තරීතර සම්මා සම්බුද්ධත්වය හා පරම පිවිතුරු පරිනිර්වාණය මූලික වූ තෙමඟුල සිහි කරනු වස් මෙම වෙසක් මංගල්‍යය ලොව සියලු බොද්ධ ජනතාව ඉතාම භක්තියෙන් උත්කර්ෂවත් අන්දමින් සැමරීම සිදු කරති. මේ සැමරීම තුළ විවිධ වූ ප්‍රතිපත්ති පූජාවන් සේම ආමිස පූජාවන් ද නොඅඩුව සිදු කිරීමට බෞද්ධ අප එක ලෙසින් දායකත්වය දක්වනු ලබන්නේ ය. බෞද්ධ දර්ශනයට අනුව වෙසඟේ මූලික හරය ප්‍රතිපත්ති පූජාවන් තුළින් ප්‍රධාන වශයෙන් ඉස්මතු වීම සිදු වුවද ආමිස පූජාවන් ද බුදු දහම ප්‍රතික්ෂේප නොකරයි.

ආමිස පූජාවන් පිළිබඳ විමසීමේදි ඈත අතීතයේ පටන් සිදු කරන්නා වූ විවිධ වූ දන්සැල් පැවැත්වීම , ජාතක කතා විචිත්‍රවත් අයුරින් සමාජයට සම්ප්‍රේෂණය කරන්නා වූ තොරණ , සිත් සතන් නිවා සනසන පහන් කූඩු සඳහා හිමිවනුයේ ඉහළ ස්ථානයකි. මේ අතරින් ද පහන් කූඩු හෙවත් වෙසක් කූඩු යනු බෞද්ධ කොයි කාටත් සමීපතම කලා කෘතියකි. වෙසක් සඳ අහසේ මෝරා ගෙන එන අවධියේ පටන් සෑම නිවසක පාහේ පහන් කූඩු නිර්මාණය කිරීම ඉතාම සුලබ දසුනකි. වෙහෙස මහන්සි වී බට පතුරු සොයා ඒවා සර්ව සම අයුරින් කපා සකසා සාදන අටපට්ටම නෙක නෙක වර්ණයෙන් යුත් සව් කඩදාසි වලින් ද අලංකාර කැටයම් වලින් ද හැඩ ගන්වන අප මෙහි සැබෑ අරුත පිළිබඳ බොහෝ විට තැකීමක් කරන්නේ නම් නැත. නමුත් මා පෙර කී අයුරින් වෙසක් යනු අපට හුදෙක් අරුත්සුන් උත්සවයක් නොවන බැවින් මෙහි සැබෑ අරුත මෙලෙසින් සමාජගත කිරීමට Colombo Beacon අපි මෙලෙස වෑයම් කරමු.

ඇත්තෙන්ම වර්තමානය වන විට නානාප්‍රකාර පහන් කූඩු වෙළඳපොළ තුළ විකුණුම් භාණ්ඩයක් වුවද වෙසඟේ සැබෑ අරුත පෙන්නුම් කරන්නේ අටපට්ටම් කූඩුවයි. අප දන්නා පරිදි අටපට්ටම් කූඩුව සකසන්නේ සර්ව සම සමචතුරශ්‍රාකාර කොටස් හයක් යොදා ගැනීමෙනි. මේ කොටස් හය ඉතා තදින් ඇද පළුද්දක් නොවන අයුරින් සකස් කිරීම සිදු කළ යුතුය. එසේ නොමැති වුවහොත් මුළු පහන් කූඩුව ම ඇද වී යනු ඇත. ඉදින් , අපේ ජීවිතයත් මෙලෙසමය.අටපට්ටම අවසන වටේට තිබෙන්නා වූ සමචතුරශ්‍රාකාර කොටස් හතරින් බුදුන් වහන්සේ දේශනා කළ උත්තරීතර චතුරාර්යසත්‍යය වන ,
● දුක්ඛාර්ය සත්‍යය -දුක
● දුක්ඛ සමුදයාර්ය සත්‍යය- දුකට හේතුව
● දුක්ඛ නිරෝධාර්ය සත්‍යය-දුක නැති කිරීම
● දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාර්ය සත්‍යය- දුක නැති කිරීමේ මාර්ගය හෙවත් උතුම් නිර්වාණය
සංකේතවත් කරන අතර පහන් කූඩුවේ තිබෙන සර්ව සම ත්‍රිකෝණාකාර කොටස් අට නිරූපණය කරන්නේ බුදු දහමේ මූලික ඉගැන්වීමක් වන ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. එනම් ,
● ලාභ – අලාභ
● යස – අයස
● නින්දා – ප්‍රශංසා
● සැප -දුක

මෙවන් වූ ගැඹුරු දහම් කරුණු අප සදනා අටපට්ටම් කූඩුවකින් අරුත් ගන්වන බව අප කිසිවිටත් නොසිතනු ඇත. ඉදින් මෙයින් බෞද්ධ අපට පැවසීමට තැත් කරන්නේ අටලෝ දහමට අනුව ජීවත් විය යුතු බවයි. සෑම දෙයක් දෙසම මැදිහත් සිතින් යුතුව විඳිය යුතු බවයි. එක් එක් ආශාවන් ඔස්සේ වැඩි නැඹුරුවක් දැක්වුවහොත් අපේ ජීවිතය ද ඇද වුනු පහන් කූඩුවක් මෙන් ඇද පලුදු සිදු වී සමබරතාවය අපේ ජීවිතයෙන් ඈතට යනු ඇත. ජීවිතය සමබරව විඳිමින් චතුරාර්යසත්‍යය අවබෝධය තුළින් බෞද්ධ අපට පරම නිවන් සම්පත්තිය ලබා ගතහැකි බව අප මහා තිලෝගුරු බුදු පියාණන්ගේ නිර්මල වූ ධර්මය තුළින් අවබෝධ කර ගත හැක. මෙවන් වූ අසිරිමත් දහම් කරුණු අපේ ජීවිතයට සරලව පෙන්වා අවබෝධය ඇති කරලීමට පහන් කූඩුව සංකේතයක් ලෙසින් භාවිතයට ගෙන ඇති බව පැහැදිලි වනු ඇත.

එලෙසම , සව් කඩදාසි වලින් හැඩ ගන්වන පහන් කූඩුව අප සදා නිම කරන්නේ විවිධ හැඩැති රැළි කපා ඇළවීමෙනි. අප එය හුදෙක් පහන් කූඩුවේ අලංකාරය ඔප නැංවීමට පමණක් භාවිත කලද එයින් නිරූපණය වන්නේ මනුසතා මේ දිවි කතරේ ඉපැදෙමින් මියැදෙමින් ගමන් ගන්නා නොනිමි සංසාර ගමනය. මේ අයුරින් බෞද්ධ අපට බුදුන් වැඩි මග යාම සඳහා දේශනා කල සදහම් කරුණු එකට කැටි කොට වෙසක් පහන් කූඩුව තුළින් අපට නිරූපණය කරන්නේ එය තවත් එක් හුදෙක් සැරසිල්ලක් ම නොවන බවය. මෙය වෙසක් පහන් කූඩුවෙන් සංකේතවත් කරන එක් පැතිකඩකි.

මෙලෙසින් ම මෙය අපේ ජරා ජීර්ණ වන්නා වූ මිනිස් කයට ද අපූරුවට උපමා කොට ඇත්තේය. පහන් කූඩු සැලකිල්ලත් අපේම ශරීර සැකිල්ල හා මෙන් බව ඔබට මොහොතකට හෝ සිතුනාද! එලෙසම සැකිල්ල සරසන සව් කඩදාසි අපේ සම මෙන් වන අතර ඉහළින් සහ පහළින් විවෘත සමචතුරශ්‍රාකාර කොටස් දෙක අපේ ඉපදීමත් මරණයත් සංකේතවත් කරයි. අප වෙනත් භවයක සිට මේ ශරීර කූඩුව තුළ ලැගුම් ලා ජීවිතයේ විවිධ දේ සමඟ ගැටෙමින් සිට කිසියම් මොහොතක මේ සිරුර හැර දා යාමට සිදුවන ලොව සැබෑ යථාර්ථය මෙමගින් මොනවට අර්ථවත් වන්නේද! මේ සියලු සැරසිලි වලින් හැඩ වුනු පහන් කූඩුවේ සැබෑ සුන්දරත්වය ඇස ගැටෙන්නේ එය හොඳින් ආලෝකමත් කළ පසුය. අපි ඒ සඳහා ඉටිපන්දමක් හෝ විදුලි බුබුළක් උපයෝගී කරගනිමින් ආලෝකමත් කර ගනියි. මේ අනුව අපේ ජීවීතයද සුන්දර මුදු ජීවිතයක් වන්නේ එය ආලෝකමත් කිරීමෙනි. රාගය , ද්වේෂය , මෝහය ආදී උපාදානයන් සිතින් දුරු කොට කරුණාව , මෙෙත්‍රිය ආදී ගුණ දම් වැඩීම තුළින් අපේ නිස්සාර ජීවිතය ආලෝකමත් කර අර්ථවත් අයුරින් ගත කිරීමට නිසැකයෙන් ම හැකි වනු ඇත. මේ යොදාගන්නා ආලෝක දැල්ල තුළින් පහන් කූඩුව ඇතුළත දැවෙමින් තැවෙමින් අවසානයේ කොයියම් හෝ මොහොතක නිවී අළු වී යයි. අපේ අස්ථීර ජීවිතයත් මෙලෙසම නොවන්නේද! තාවකාලික දිවියක් ගත කිරීමට මේ ශරීර කූඩුව තුළ ලැගුම් ගත් අපි කවදා හෝ මෙයින් නික්ම යා යුතු සදාතනික දහම මේ සරල ආකෘතිය තුළින් අපට නැවත නැවතත් මනසට සිහි ගන්වයි.

ඉදින් , මෙතරම් මනරම් වූත් ගැඹුරු දහම් කරුණු මෙවන් සරල කලා කෘතියකින් අපට පෙන්නුම් කරන්නේ වෙසඟ යනු හුදෙක් සැරසිලි වෙෙවර්ණ ආලෝක එළි පමණක් නොවන බවය. පහන් කූඩුව යනු හුදු අරුත්සුන් සැරසිල්ලක් නොවන බව මෙතැන් පටන් සිත් තුළ පසක් කොට ගනිමු.

ඔබ සැමට බැතිබර වෙසක් මංගල්‍යයක් වේවා!!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

මාධවී ප්‍රියංගිකා

විද්‍යා පීඨය - තෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment