විටමින් සී ළමා මහලු, තරුණ වැඩිහිටි සියල්ලන් ම පාහේ අතර ප්‍රචලිත විටමින් කාණ්ඩයකි.ඇස්කොබික් අම්ලය,ඇස්කොබරේට් ආදී නම් වලින් හැඳින්වෙන මෙම විටමීනය ස්වභාවික ප්‍රභව වලින් මෙන්ම ආහාරමය අතිරේකයක් ලෙසින් වෙළෙඳපොළ තුළ ලාභදායී මිලකට ලබා ගත හැකි විටමින් කාණ්ඩයකි.මෙය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කරන ලද අත්‍යවශ්‍ය ඖෂධ අතර පවතින ඖෂධයකි.
මෙහි ඉතිහාසය සැලකූ විට එය පළමුවෙන්ම සොයා ගනු ලබන්නේ 1912 වර්ෂයේ දී ය.මෙය රසායනිකව සංස්ලේෂණය කරන ලද පළමු විටමීනය වේ.
ඇස්කොබික් හා ඇස්කොබරේට් යන දෙවර්ගයට ම විටමින් සී හි ක්‍රියාකාරීත්වය ම පවතී.ඇස්කොබික් අම්ලය ග්ලූකෝස් සමඟ ව්‍යුහාත්මක ව සම්බන්ධ දුබල සීනි අම්ලයකි.ජෛව විද්‍යාත්මක පද්ධති තුළ දී ඇස්කොබික් අම්ලය හදුනාගත හැකි වන්නේ සාපේක්ෂව අඩු pH අගයන් වල දී පමණී. pH අගය 5 ට වැඩි දක්නට ලැබෙන්නේ එහි අයනීකෘත ස්වරූපය වන ඇස්කොබරේට් ය.
ජීවි දේහ තුළ විටමින් සී එන්සයිම සහසාධකයක්, එන්සයිම උපස්ථරයක්,ප්‍රති ඔක්සිකාරකයක් හා ඉලෙක්ට්‍රෝන දායකයෙකු වශයෙන් ක්‍රියා කරයි.
සම්බන්ධක පටක වල ප්‍රධාන සංඝටකයක් වන කොලැජන් සංස්ලේෂණයේ දී වැදගත් වන ප්‍රෝලීන් හා ලයිසීන් ජල විච්ජේදනයට අදාළ එන්සයිම සදහා සහසාධකයක් වශයෙන් ක්‍රියා කරයි.එන්සයිම සහසාධක යනු එන්සයිමීය ක්‍රියාව ප්‍රශස්ත ව සිදු වීමට අවශ්‍ය වෙනත් අණු හෝ අයන වේ.කොලැජන් අණුවට එහි ත්‍රිත්ව හේලීක්සිය ව්‍යුහය පවත්වා ගැනීමට මෙය වැදගත් වේ.එබැවින් කැළැල් පටක, රුධිර නාල, කාටිලේජ වර්ධනය හා නඩත්තු කිරීම සඳහා විටමින් සී අත්‍යවශ්‍ය වේ.
එමෙන්ම සෛල තුළ ශක්තිය නිපදවීමට අදාළ මේද අම්ල මයිටොකොන්ඩ්‍රියා වෙත පරිවහනයට වැදගත් වන කාටිනීන් සංස්ලේෂණයට අදාළ එන්සයිම සදහා සී විටමින් සහසාධකයක් ලෙස ක්‍රියා කරයි.මීට අමතරව ස්නායු සම්ප්‍රේෂක වලට අදාළ එන්සයිම සදහා ද සහසාධකයක් වශයෙන් ක්‍රියා කරයි.
මෙම විටමීනය ශාක තුළ ඇස්කොබරේට් පෙරොක්සයිඩ් එන්සයිමය සදහා උපස්ථරයක් ලෙස ක්‍රියා කරයි.එම එන්සයිමය සෛල තුළ නිපදවෙන අතිරික්ත හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ජලය හා ඔක්සිජන් බවට පරිවර්තනය කරන එන්සයිමයකි.
විටමින් සී ඌනතාවය නිසා ස්කර්වි රෝගය ඇති වේ.විදුරුමස් වලින් ලේ ගැලීම,සමේ ලප හා සමට යටින් ලේ ගැලීම මෙහි රෝග ලක්ෂණ වේ.මෙම විටමිනය ඌන තත්ව වලදී කොලැජන්හි ක්‍රියාකාරීත්වය අස්ථායී වන අතර එවිට තැලීම් වලින් පටක වලට හානි සිදුවීමේ සම්භාවිතාව ඉහල යයි.
සාමාන්‍ය වැඩිහිටි පුද්ගලයෙකුගේ දෛනික විටමින් සී අවශ්‍යතාවය 65mg – 90mg පමණ වේ.මෙය ජල ද්‍රාව්‍ය විටමින් වර්ගයක් වන අතර මිනිස් සිරුර තුළ ගබඩා කළ හැකි වන්නේ සීමිත ප්‍රමාණයක් පමණි.අතිරික්තය මුත්‍රා මගින් වේගයෙන් ශරීරයෙන් බැහැර කරයි.කෙසේ වෙතත් එකවර 2g- 3g අතර ප්‍රමාණයක් පරිභෝජන කිරීම අජීර්ණයට හේතු විය හැකිය.
බොහෝ පලතුරු හා එළවළු වර්ග වල මෙම විටමීනය අන්තර්ගත වේ.විශේෂයෙන් ම සිට්‍රස් කුලයට අයත් දෙහි, දොඩම්,නාරං හා පේර,අඹ ,ස්ට්‍රොබෙරි ආදී පලතුරු වර්ග රැසක විටමින් සී අන්තර්ගත වේ.
දෛනික විටමින් අවශ්‍යතාවය ස්වභාවික ප්‍රභව වලින් සපයා ගැනීම වඩාත් සෞඛ්‍යාරක්ෂිත හා විශ්වාසනීය වේ.
මූලාශ්‍රය:
Leave a Comment