විශේෂ දිනයන්

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද..!

සාමාන්‍යයෙන් පරිසරය වෙනස් වෙද්දි  මිනිසුන්ගේ ජීවිත වලට ඒ වෙනස තදින්ම දැනෙන්නෙ පටන්ගන්නව,හැබැයි ඒ නොදැනුවත්වම.සීතල දෙසැම්බරයේ අවසානයත් එක්ක උදාවන ජනවාරි මාසයේ සිට හරිම පුදුම විදියට,හරිම අපූරු ආකාරයට මෙන්න මේ පරිසරය වෙනස්වීම ආරම්භ වෙනව.ක්‍රම ක්‍රමයෙන් අන්න ඒ සිදුවන වෙනස මිනිස්සුන්ගෙ කාර්‍යබහුල ජීවිතේට දැනෙන්න පටන් ගන්නේ අප්‍රේල් නැතහොත් බක් මාසය කියන කාල පරිච්ඡේදයේ දී . බොහෝ කාලයක් ගස්වැල් දරාගෙන සිටි පරණ කොල ඉවත් කර අලුත් කොල වලින් ගස්වැල් වසා ගනිද්දී පරිසරයේ ඇතිවන නැවුම් බව,ප්‍රබෝධමත්බව මිනිසුන් සමරන්න පටන් ගන්නෙ මෙන්න මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද කියන නමකින් හදුන්වන උත්සව කාලයකින්.

සිංහල හා හින්දු ජනතාව බොහෝවිට සූර්යයා ප්‍රධාන කොට ගෙන චාරිත්‍ර වාරිත්‍ර විධි ,සුබ කටයුතු වල යෙදෙනු ලබයි .ඉතින් මෙසේ මේ සෑම කටයුත්තකටම මූලික වන සූර්යයා දින තුන්සීය හැට පහක චාරිකාවක් අවසන් කොට නැවත නව චාරිකාවක් ඇරඹීමට මීන රාශියේ සිට මේෂ රාශියට පය තබන මොහොත අලලා ක්‍රියාකාරකම් රාශියකින් යුත් නැකැත් මොහොතවල් වලින් සමන්විත උත්සව කාලය සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ලෙස හදුන්වනු ලබයි .

දින ගනනාවක සිට අලුත් අවුරුද්ද සදහා සූදානම් වන අප ,නවසද බැලීමත් සමග සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ ආරම්භය සනිටුහන් කරයි.පරණ අවුරුද්ද සදහා ස්නානය කොට අලුත් අවුරුද්ද සදහා  සූදානම් වීමෙන් ඔප් නැංවෙන්නේ ,ගෙවුනු අවුරුද්දේ අමිහිරි අත්දැකීම් ,තරහවන් අමතක කර අලුත් අවුරුද්දට නවමු ආකාරයට මුහුන දීමය .මෙලෙස ඇරඹෙන මෙන්න මේ නැකැත් සීට්ටුව වෙන සංස්කෘතීන්ට නොමැති වූත් හරි අපූරු දෙයක් සිංහල හා හින්දු ජනතාවට දායාද කොට ඇත .එනම් රටේ සියලු සිංහල හා හින්දු ජනතාව එක්ව එකම මොහොතක,එකා මෙන්ව ,ලිපගිනි මොලවා ආහාර අනුභවය මෙන්ම වැඩ ඇල්ලීම ,ගනුදෙනු කිරීම යන ප්‍රධානතම අංගයන්  සිදුකිරීමට අවකාශ ලබාදීමයි .මේ සියල්ල සිදු කරන්නේ පුන්‍ය කාලයක් තුලදී වීම විශේෂිත වේ.

මේ සියලු චාරිත්‍රයන්ට මුල් තැන දෙමින් සමරනු ලබන අවුරුද්ද ,අතීතයේ සිට පැවතගෙන එන ජන ක්‍රීඩාවලටද මුල්තැනක් දීම සිදුකරනු ලබයි .පංච දැමීම,ඔංචිලි,චක්ගුඩු ආදිය වෙනදට වඩා වැඩි වශයෙන් ග්‍රාමීය ජනතාව ක්‍රීඩා කරනු ලබන අතර ,බක් මහ උලෙලවල්ද ජන ක්‍රීඩා ඉදිරිපත් කරන අංගයක් ලෙසට මූලිකත්වයක් ගනී .

මෙලෙස චාරිත්‍ර වාරිත්‍ර විධි ,ජනක්‍රීඩාත් සමගම මිනිසුන්ගේ හැගීම්වලද නව පිබිදීමක් සිදු වන මේ බක් මාසය සියලු අමනාපකම් අමතක කර ආදරය දලුලන කාල වකවානුවක් ලෙස හැදින්විය හැකිය .

ඉදින් මෙලෙස මහත් සුවිශේෂී ,උදාවූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබ නව අවුරුද්දක් වේවා ..!

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

හිමාල් චලිත් මෙලංක

විද්‍යා පීඨය - අවසන් වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment