අටුකොටු ධාන්‍යයෙන් පිරී ඉතිරෙන , කොවුල් නාදයෙන් පරිසරය වෙලා ගන්නා නැවුම් මල් පලතුරු සුවඳ දසත විහිදෙන බැලු බැලු අත සශ්‍රීකත්වයෙන් සිත් සතන් පුබුදුවාලන්නා වූ බක් මසේ අසිරිමත් වසන්ත කාලය ලෙස සූර්ය මංගල්ලය අරුත් බර ගැන්විය හැකියි.
මෙය වර්ෂයක් ගෙවී නව වර්ෂයකට පා තබන මොහොතක් මුල් කොටගෙන මේ සිංහල දීපේ ලොකු කුඩා භේදයකින් තොරව ඇති නැති භේදයකින් තොරව කොයි කවුරුත් එක්ව පවත්වන උත්සව අතුරින් සමරනු ලබන සුවිශේෂී මහෝත්ෂවයන්ගෙන් එකකි.
අප රටේ වෙසෙන සිංහල බෞද්ධයන් හා හින්දු භක්තිකයන් එකතුව සමරන මෙම අපූරු උත්සවය යෙදෙන්නේ බක් මස හෙවත් අප්‍රේල් මස 13හෝ 14 දිනයන්හි දීය. කතෝලික ක්‍රමයට එළඹෙන වසරක ආරම්භය උදාවන්නේ ජනවාරි මස හෙවත් දුරුතු මස පළමු දිනදීය. එය මුළු ලොව පිළිගත් අලුත් අවුරුද්ද වන අතර අතීතයේ දී එය ක්‍රිස්තු වර්ෂ ලෙස හැඳින්වුවද වර්තමානයේ එය හඳුන්වන්නේ ව්‍යවහාරික වර්ෂය යනුවෙනි. නමුත් අප මේ සමරන සිංහල හින්දු අලුත් අවුරුද්ද ලෝකයේ සීමිත පිරිසකට පමණක් වැදගත්කමක් උසුලන අතර එය ශක වර්ෂය ලෙස හඳුන්වයි.
මීට වසර 1940 කට පමණ පෙර අතීතයේ දී ඉන්දියාවේ පැවති “ ශක රාජවංශයෙන්” මෙම ශක වර්ෂ ක්‍රමය ආරම්භ විය. ශක රාජ වංශය පාලනය කරනු ලැබුවේ “ ශක රජවරු” විසිනි. ඔවුහු තමන්ගේ බලය හා පෙළපත් නාමය ඉදිරියට පවත්වා ගැනීමේ තහවුරු කිරීමේ එක් සාධකයක් ලෙස ශක වර්ෂය යනුවෙන් නව දින දර්ශනයක් ආරම්භ කළහ. එය සූර්යා සහ ග්‍රහ වස්තූන් පිහිටීම හා ගමන් කිරීම පදනම් කර ගනිමින් සැකසූ අතර එහි මූලික සිද්ධාන්තය නක්ෂත්‍රය හා නැකැත් පදනම් කර ගනිමින් සිදු කෙරිණි. ශක වර්ෂයකට අනුව එහි ඇරඹුම සූර්යා මීන රාශියේ සිට මේශ රාශිය දක්වා සංක්‍රමණය වීම සිදු වන්නේ අප්‍රේල් මස 13 හෝ 14 යන දෙදින තුළදීය. ශක වර්ෂ සකස් කිරීමේ දී නැකැත් පෙරදැරිකරගෙන සිදු කළ අතර එකල මෙය සිංහල බෞද්ධයන්ගේ හෝ දෙමළ හින්දූන්ගේ අවුරුද්දක් නොවීය. නමුත් කාලයාගේ ඇවෑමෙන් මෙම ශක වර්ෂ ක්‍රමයේ පැවති චාරිත්‍ර වාරිත්‍ර දෙමළ හින්දූන්ගේ චාරිත්‍ර වාරිත්‍ර සමඟ සමාන ලක්ෂණ පෙන්නුම් කළ බැවින් ඔවුන් මෙම ක්‍රමයට සිය අලුත් අවුරුද්ද සැමරීම ආරම්භ කරන ලදී.
අතීත මූලාශ්‍ර පවසන ආකාරයට සිංහල බෞද්ධයින්ට මෙම ක්‍රමයට අලුත් අවුරුද්ද සැමරීම ආරම්භ කිරීම පිළිබඳ පැහැදිලි හේතු කාරණා දක්නට නොමැත. ඇතැම් විට පෙර දවස ලක්දිව ආක්‍රමණය කළ ද්‍රවිඩ පාලකයින්ගේ ආභාසයත් සොළී ආක්‍රමණ නිසා මෙරට මුල් බැසගත් ද්‍රවිඩ චාරිත්‍ර වාරිත්‍ර නිසා මෙම ශක වර්ෂ ක්‍රමය මෙරට සිංහල බෞද්ධයින් පිළිගත් බවට අපට සිතිය හැක. කෙසේ වෙතත් එදා පටන් අද දක්වා මෙම ශක වර්ෂ ක්‍රමයට සිංහල හා දෙමළ ජාතිකයන් එකතුව සමරන මෙම අලුත් අවුරුද්ද සිංහල ලක් ද්වීපයේ ප්‍රධාන සංස්කෘතිකාංගයක් වී හමාරය.
මෙම ක්‍රමය ලොව පවතින අනෙක් ව්‍යවහාරික වර්ෂ හා සැසඳීමේදී වෙනස් වෙන සුවිශේෂී කරුණු කීපයක්ම ඇත.
එනම් අනෙකුත් අප දන්නා ව්‍යවහාරික වර්ෂයක් අවසන් වන්නේ සෑම වසරකම දෙසැම්බර් හෙවත් උඳුවප් මස 31වන දින රාත්‍රී 11.59 ටය. එලෙසින්ම ඊළඟ තත්පරය උදා වීමත් සමඟ නව අවුරුද්ද උදා වේ. මෙය සෑම වසරකටම පොදු ධර්මතාවයක් වේ. නමුත් මෙම ශක වර්ෂ ක්‍රමයට නව අවුරුදු උදාව සිදු වන්නේ ව්‍යවහාරික වර්ෂයක පළමු මාස 3 ගත වී එළඹෙන බක් මාසයේ 13, 14 දින දෙක අතරදීය. මේ සඳහා නිශ්චිත වේලාවක් නොමැති අතර එක් එක් වසරවලදී අවුරුදු උදාව සිදු වන්නේ එක් එක් වේලාවන් හිදීය.
එලෙසම මෙහි පවතින අනෙක් සුවිශේෂී කාරණාව වනුයේ ව්‍යවහාරික වර්ෂය අවසානය හා ආරම්භය තත්පරයක් ගත වීමෙන් සිදු වුවද ශක වර්ෂ ක්‍රමයේ නව අවුරුදු උදාව සහ පරණ අවුරුද්ද අතර කාලය පැය කිහිපයක් විය හැක. මෙම කාලය “ සංක්‍රාන්ති සමය” ලෙසත් නැකැත් නොමැති කාලය හෙවත් නොනගතය ලෙසත් හැඳින්වේ. නොනගතය යනු නැකැත් නැති කාලයයි. එලෙසම මෙම කාලය තුළ කටයුතු කිරීම නුසුදුසු බවත් නැකැත් කරුවන්ගේ විශ්වාසයයි. එනිසා මෙම කාලය තුළ පුන්‍ය කටයුතු වල යෙදීම මැනවි බව ඔවුන්ගේ මතයයි.
● අලුත් අවුරුදු සඳහා සූදානම
සූර්යය මංගල්‍යය හෙවත් අලුත් අවුරුදු උදාව අපට කන වැකුණු විටම අපගේ මනසේ සනිටුහන් වන්නේ ගැමි සුවඳ තැවරුණු අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර , කෙළි සෙල්ලම් , තෙල් ඉහිරුනු කැවිලි පෙවිලි ආදියයි. අතීතයේ සිටම අවුරුදු කුමරා උත්සවශ්‍රීයෙන් පිළිගැනීමට මෙරට වැසියෝ ඊට පෙර දින ගණනාවක සිටම ලහි ලහියේ සූදානම් වූහ. වසර මුළුල්ලේ වෙහෙස මහන්සි වී ගොවිතැන් බත් කරමින් මෙකල සෑම නිවසකම අස්වනු නෙළමින් අටුකොටු පුරවා ගනිමින් නිවසේ ගොම මැටි තවරා අලුත් මුහුණුවරක් ඇති කරගන්නා නිවැසියෝ අලුත් අවුරුදු උදාවට අවශ්‍ය කැවිලි පෙවිලි, හට්ටි මුට්ටි ආදී නිවසට අවශ්‍ය බඩු බාහිරාදිය කල් වේලා ඇතිව සපයා ගනිමින් අවුරුදු සිරියෙන් ගම රට වර්ණ ගන්වයි. මෙලෙස කුඩා පැල්පතද මහා මන්දිරද අලුත් අවුරුද්ද පිළිගැනීමට මේ අයුරින් සැරසේ.
● අලුත් අවුරුදු උදාව
සූර්යා මීන රාශියේ සිට මේශ රාශිය දක්වා සංක්‍රමණය වන මොහොතේ අපට අලුත් අවුරුදු උදාව සිදුවේ. මේ මොහොතේ පවුලේ සියලු දෙනාම සතුටින් එකදු පහදු වී නව හැඟුමෙන් සිත් පුරවා ගෙන අලුත් ලිපක නැවුම් මුට්ටියක කිරි උතුරවා අස්වැන්නෙහි අග්‍ර ඵලය ගෙන යහමින් කිරි යොදා රසවත් කිරිබතක් ඉදවා එහි මුල්ම පිඬ සමඟ අනෙකුත් සියලුම කැවිලි පෙවිලි බුදුන්ට පූජා කොට ආශිර්වාද ලබා ගනිති. ඒත් සමඟ ම සියල්ලන්ගේම රස නහර උද්දීපනය කරන අලුත් අවුරුදු කෑම මේසය සූදානම් වේ. පසුව නිවසේ ගෘහ මූලික තැන විසින් ප්‍රථමයෙන් ම කෑම මේසය ඉඳුල් කරන අතර නිවැසියන්ට ද කවා පොවා මෙතැන් පටන් වැඩ කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද කරයි. පසුව දරු දැරියන් එකතු වී බුලත් හුරුළු ගෙන දෙමාපියන් නමදිති. කැවිලි පෙවිලි පුරවා ගත් කෑම බන්දේසි අසල නිවැසියන් සමඟ හුවමාරුව සිදු වන්නේ ඊටත් පසුවය. පැරණි තරහ මරහ අකා මකා දමා අසල්වැසියන් සමඟ අලුත් ලෙන්ගතු කමින් සතුටු සාමීචියේ යෙදෙති. ගනුදෙනු කිරීමද අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර අතර ප්‍රධාන තැනක් උසුලයි. අතීතයේ කාන්තාවෝ ජීවිත කාලයටම ජලය සපයන ළිඳට කළගුණ සැලකීම සඳහා අඟුරු කැබලි දමා ජලය පිරිසිදු කර නැවුම් කලයකට ජලය පුරවා තබා ගැනීම සිදු කරයි. පුරුෂ පක්ෂය අන්අය සමඟ මුදල් ගනුදෙනු ද සිදු කරන අතර ළමා ළපටි තම තමන්ට ලැබුණු තෑගි බෝග සමඟ සතුටු වෙති. වැඩ ඇල්ලීම ද අවුරුදු සිරිත් විරිත් අතර ප්‍රධාන තැනක් ගනියි. ගසක් සිටුවීම සාමාන්‍ය සිරිත වන අතර පාසල් ළමෝ සිය අධ්‍යාපන කටයුතුවල නියැලෙති.
අවුරුදු දා සිරිත් විරිත්වල වැදගත්ම අංගය වන්නේ කෙළි සෙල්ලම් ය. ගමේ සියලු දෙනාම එකදු පහදු වී ජන ක්‍රීඩා උත්සව සූදානම් කරති. ගමේ යෞවන යෞවනියන්ගේ විහිළු තහළු සතුටු සිනා මැද ජල පිහිනුම් , කරණම් , ගුඩු , තාච්චි පැනීම , එළුවන් කෑම , හැංගිමුත්තන් , පොර පොල් ගැසීම , අංකෙළි , කොට්ටාපොර , ලී හරඹ , ඔංචිලි වාරම් ආදී නානාප්‍රකාර ජන ක්‍රීඩා ගම් මැද්දේ සූදානම් වේ. මේ අතරම පංච කෙළිය , ඔළිඳ කෙළිය , දාදුකෙළිය ආදී මොළය වෙහෙසා කරන ක්‍රීඩා ද කවි වාරම් ගයමින් බොහොම විනෝදයෙන් වයස් භේදයකින් තොරව ක්‍රීඩා කරන අයුරු පෙර කී කෙළි සෙල්ලම් මධ්‍යයේ දකින්නට පිළවණ. ඒ අතරම බාල මහලු සියල්ලෝම එකතු වී තරගෙට රබන් ගසති. තේරවිලි තේරීම , දඟ ගැට ලිහීම , බඹර කෙටීම , ගල් කෙටීම එතැන සිදු වන තවත් රසබර සෙල්ලම් ය.
මේ අතර වාරයේ නෑගම් යාමද මව්පියන් වැඩිහිටියන් බැහැ දැකීමට යාමද ප්‍රධාන අවුරුදු සිරිතකි. දෙමාපිය වැඩිහිටියන් නැමඳ තෑගි බෝග ද හුවමාරු කර ගනිමින් පැරණි බැඳීම් නෑදෑකම් අලුත් කර සතුටින් විනෝදයෙන් කාලය ගතකර නව වසරේ සැබෑ අරුත මල් පල ගන්වයි.
මේ සියලු කෙළි සෙල්ලම් විහිළු තහළු හා රස රස ආහාර පාන ද මධ්‍යයේ ගතවන මෙම වසන්ත සමය හිසතෙල් ගාන මංගල්‍යයෙන් නිල වශයෙන් අවසන් වේ. මෙයින් අට අනූවක් රෝග ද දෙසිය තුනක් ආන්තරාවන් ද විද්වංශනය කෙරෙන බව පැරැන්නන්ගේ මතයයි. නියමිත කොළ යුෂ ඖෂධ ගෙන නානු කර බොහෝ විට ගමේ නායක හාමුදුරුවෝ හෝ ගමේ වෙදරාළ එසේ නොමැති නම් නීරෝගි වැඩිහිටි අයකු ශුභ දිශාව බලා ශුභ නැකතට හිසතෙල් ගැල්වීම සිදු කරයි. මෙහිදී ගමේ සියල්ලෝටම නීරෝගී ආයුෂ වැඩි වීමට සෙත් පැතීම ද අනිවාර්ය ක්‍රියාවකි. හිසතෙල් ගා අවසානයේ හොඳින් නා කියා පිරිසිදු වීම කාගෙත් සිරිතකි. පසුව එළඹෙන ශුභ මොහොතේ නැවත තමන්ගේ බත සරි කර ගැනීමට රැකියාවට පිටත් වී සුපුරුදු දින චර්යාව මෙතැන් පටන් ආරම්භ කරයි.
● නව අවුරුද්දේ සැබෑ අරුත
ඉහත සියලු වාරිත්‍ර වාරිත්‍ර අවසානයේ අවුරුදු සිරිය ද පරිසරයෙන් කෙමෙන් කෙමෙන් නික්ම යනු ඇත. අලුත් අවුරුදු උදාව සමගින් මිනිසාගේ ජීවිතය අලුත් මගකට යොමු වනවා මෙන්ම අලුතින් සිතන්නට බැඳීම් අලුත් කර සහයෝගය සහජීවනය මිනිස් සිතට හුරු කරවයි. අවුරුදු ආරම්භ වන්නේ සතුටින් ප්‍රීතියෙන් සේ ද එම සතුට ප්‍රීතිය අවුරුදු කාලයට පමණක් සීමා නොකොට තම සිත් සතන් තුළ සැහැල්ලූව සන්තෝසය පුරවා ගෙන නිතරම කටයුතු සිදු කරන්නේ නම් අවුරුදු සුබ නැකත දිවිය පුරාවටම සඵල වනු ඇත.
කෙසේ නමුත් මෙම වසරේ රට තුළ උද්ගත වී ඇති ගැටලුව හේතුවෙන් මෙවර අවුරුදු සිරිත් විරිත් ලංකා වාසි අපට ඉතා අවාසනාවන්ත අයුරින් මඟහැරී යනු ඇත. නමුත් අලුත් අවුරුද්දේ සැබෑ අර්ථය වන සතුට, සහයෝගය, සහජීවනය, බෙදා හදා ගැනීම ආදී මෘදු ගතිගුණ අවුරුදු සමරන මිනිසුන් වන අපට ක්‍රියාවට නැංවීමට සුදුසු ම අවස්ථාවක් ලෙස මෙම කොරෝනා වසංගත තත්ත්වය නිසා සිදු වී ඇති ව්‍යසනය දැක්විය හැක. එම නිසා මෙවර, අවුරුදු වාරිත්‍ර වාරිත්‍ර මඳක් පසෙක ලා මෘදු ගතිගුණ පෙරදැරිකරගනිමින් නව අවුරුදු සමරන මෙන් පවසමි.
මනුස්සකම හිතවත්කම සපිරුණු සුබ අලුත් අවුරුද්දක් වේවා !
ආයු බෝ වේවා !! 🙏
This is very succesful and good