සාමාන්‍ය

සිතුවම් කළ ආලය…

නොම්බර 59…

පාන්දර 6 පසු වී මිනිත්තු 30 යි. ඈ ඇඳ මතම නිහඬ කල්පනාවක්. අතීතයට දිවගිය සිහින ගොන්නකින් ඇය පියවි සිහියට එළඹියේ ඉතාමත් අපහසුවෙන්.

සතුට, දුක නන්වැදෑරුම් ලෙසින් දැනුනත් ඇය ඒ සිහිනයට මහත් සේ ඇලුම් කළා. පියවි සිහියට පත් විහගි අමතක වුවක් මතක් වූ සෙයින් සැණෙන් නැගී සිටියා ය. ඒ ඇගේ සිහිනය මල්ඵල ගැන්වෙන දිනය යි.

ඇගේම චිත්‍ර ප්‍රදර්ශනයක්…

කුඩා කල සිටම ඈ ඇලුම් කළේ ඇගේ ම චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වීමට යි. ඒ සඳහා පැමිණි පටු මංමාවත් ඈට හොඳින් මතක ය. ජනේලය දෙසට ඇදුණු ඈ දිගු හුස්මක් ගෙන සියුම් සිතිවිලි ගොන්න සුළඟට මුසු කළා ය. ඈට මහත් අස්වැසිල්ලක් දැනුනි.

හොඳින් හැඳ පැළඳ වීදියට ගොඩ වූ ඈ ප්‍රදර්ශනාගාරය දෙසට ඇදුණේ මද චකිතයත් නව බලාපොරොත්තු පොදියත් තුරුලු කර ගෙනයි. තම නිර්මාණ පෙර දිනයේ සකස් කල අයුරින්ම අලංකාරව පෙළ ගැසී තිබුණි. විවෘත කිරීම උදෑසන 9 ට ය. තවමත් වෙලාව ඉතිරිව ඇත. නිතැතින් ශාලාවේ ඉදිරියට ඇදුණු ඈ නොම්බර 53 සිතුවම අසල මදකට නැවතුණි.

ඒ ඔහුගේම සිතුවමයි. ඇගේ පළමු ප්‍රේමයේ සිතුවමයි. රැයෙහි දුටු සිහිනය ඈ සිත අරක් ගත්තා ය. ජීවිතයේ අරමුණු බොහොමයක් බෙදුණු මං මාවත්වල විසිරී ගිය ද දිනක හමුවීමට දුන් පොරොන්දුව ඇගේ සිහියට නැගුණි.

නමුත් කවදා ද??

පිටුපසින් ඇසුනු හඬින් පියවි සිහිය ලද ඈ තිගැස්සී පසුපස හැරුණි.

“මහත්මිය වෙලාව 9ට ආසන්නයි…”

ඈ, ඈට නොදැනීම එහි දිගු වේලාවක් ගත කර ඇත. එතැනින් නික්මුණු ඈ
ප්‍රදර්ශනයේ වැඩ කටයුතු සමඟ කාර්යබහුල වන්නට වූවාය. අති උත්කර්ෂවත් ලෙසින් එය ඇරඹිණි.

නොසිතූ තරම් ජනී ජනයාගෙන් ශාලාව පිරී ඉතිරී ගොස් ය. නොමද ප්‍රසංශා සිව් දෙසින් ගලා එන්නට විය. සිය තෙලිතුඩින්ම නිම වූ සිතුවම්, ඈ අද ඉහළටම ඔසවා තබා ඇත.
ඈට සතුටු ය. ඈ සිත් සේ ඒ සතුට භුක්ති විඳින්නට වූවා ය.

කෙමෙන් කෙමෙන් කාලය ඉදිරියට ඇදුනි. සෑඳෑ හිරු අඹර සරසන්නට විය. ප්‍රදර්ශනය නිමාවන්නට ද කාලය එළඹ ඇත. ඈට මද වෙහෙසක් දැනුණි. ඒ සිතට නම් නොව, ගතට පමණි.

ශාලාවෙන් පිටතට පැමිණි ඈ බංකුවකට පිට දී හේත්තු වූවා ය. යාබද අසුනෙන් එක් වූයේ ද සුභ පැතුමකි. පැවති ගතේ විඩාව නිසාවෙන්ම ඈ ඒ දෙස නොබලාම ස්තූති ප්‍රකාශ කළා ය.

“නොම්බර 53 සිතුවමට ඔබට තනිව අයිතිය ප්රකාශ කළ නො හැකි යි.”

කන වැකුණු දෙයින් ඇය තිගැස්සුනි. මද කුතුහලයකින් එදෙසට හැරුණු ඈ මවිතයට පත් වුණි.

ඔහු පැමිණ ඇත… ඔව් ඒ ඔහුම ය… සිතුවමේ සැබෑ කොටස්කරු වූ ඒ ඔහුම ය….

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

කෞෂල්‍යා අත්තනායක

විද්‍යා පීඨය - තෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment