දැනුම

සිහිනයක් තනා, සැබෑ කළ ගුරුවරයාගේ කතාව

නව පරපුරේ විශිෂ්ට අධ්‍යක්ෂකවරයෙක් වන රොහාන් පෙරේරා අතින් නිර්මාණය වූ ගෝල් චිත්‍රපටය ලාංකේය සිනමා තලය තුළ මෑත භාගයේදී නිර්මාණය වූ පෙළරිකාරතම චිත්‍රපටයකි. ප්‍රේක්ෂකයා නෙත් වෙනත් මානයකට නොගන්නා තරමින් ආකර්ෂණීය ලෙස චිත්‍රපටය පුරාවටම චරිත සහ දෙබස් හසුරුවා තිබේ. 

නගරයේ ප්‍රමුඛ පෙළේ පාසලක ක්‍රීඩා ගුරුවරයෙකු වූ සමරසේකර මහතාට, දුෂ්කර පාසලකට ස්ථාන මාරුව ලබා දෙන්නේ එක් අවස්ථාවකදී ශිෂ්‍යයෙකුට ලබා දුන් දඬුවමකට ප්‍රතිවිපාකයක් ලෙසය. වරද කෙසේ වුවත් ගුරුවරයෙකු එවැනි දඬුවමක් ලබා දෙන්නේ දරුවන්ගේ සුභ සිද්ධිය උදෙසාය. විවිධාකාරයෙන් දරුවන්ට ලබා දුන් දඬුවම් පිළිබඳව අතීතය ගවේෂණය කරන අපට පසක් වේ. එහෙත් වර්තමානය වන විට මේ තත්වය බොහෝ සෙයින් වෙනස් වී තිබේ. සමරසේකර මහතාටද අත් වූයේ එවැනි කටුක අත්දැකීමකි. දේශපාලන හෙන්චයියන්ගේ අඩත්තේට්ටම් වලට ලක් වී ස්ථාන මාරුවක් ලැබීමටයි. එය සමරසේකර මහතාට දඬුවමක් වුවත් එක් අතකින් පිපෙන්නට වෙරදරන, පරවී යන්නට ඉඩ තිබූ මල් කැකුළු වල වාසනාවක් විය හැකිය. 

කෙසේ හෝ සමරසේකර මහතා ගමේ පාසලට පැමිණීමත් සමඟ ඔහුට ඉගැන්වීමට භාර වූ විෂය පථය වූයේ සිංහලයි. වසර 36 ක් ක්‍රීඩාවක් ඉගැන්වූ ගුරුවරයෙකු කෙසේ සිංහල විෂය උගන්වන්නද? ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන රටාව තුළ පවතින ශෝචනීය තත්වය මෙයයි. කෙසේ හෝ සමරසේකර මහතා තමාට ලබා දුන් අභියෝගය භාර ගනිමින් තම ගුරු ජීවිතය රැක ගැනීමට සමත් විය.  කෙසේ හෝ සමරසේකර මහතාට මෙම පාසල තුළද ක්‍රීඩාවක් ආරම්භ කිරීමේ උවමනාව ඉස්මතු විය. එහෙත් පාසල තුළින් සාර්ථක ප්‍රතිචාරයක් ඔහුට හිමි නොවීය. සමරසේකර මහතාගේ මතය වූයේම අධ්‍යාපනය මෙන්ම ක්‍රීඩාවද සමබරව කර ගනිමින් පෞරුෂය සංවර්ධනයට එය රුකුලක් කර ගන්නා ලෙසයි. කෙසේ හෝ විවිධ බාධක මැද්දේ වුවත් අවසානයේ මෙම පාසල තුළද පා පන්දු ක්‍රීඩාව අරඹමින්, ඉක්මනින් දක්ෂ ක්‍රීඩකයන් පිරිසක් නිර්මාණයට ඔහු උත්සාහ ගත්හ. අධ්‍යාපනයට කිසිදු උනන්දුවක් නොමැති, ක්‍රීඩාවක් පිළිබඳ විශේෂ හැකියාවක් නොමැති, දඩබ්බර ළමුන් පිරිසකට අලුත්ම දෙයක් ඉගැන්වීමේදී එය සැබෑ ලෙසම අභියෝගයකි. සමරසේකර මහතා නොබියව එම අභියෝගය භාර ගත්හ.

මඳක් කිපෙන සුළු චරිතයක් වුවත් තමා භාරගත් අභියෝගය කෙසේ හෝ ජය ගැනීමට ඔහු තුළ උනන්දුවක් තිබුණි. දෙමාපියන්ගේ හැළහැප්පීම් මෙන්ම ළමුන්ගේ උනන්දු නොවීම යන සාධකයන්ට මනා ලෙස පිළිතුරු සෙවූ සමරසේකර මහතා උනන්දුව යන පදනම ඔපමට්ටම් කිරීමට සමත් විය. ළමා මනසක් බොහෝ විටම උත්සාහ ගනු ලබන්නේ විනෝදව තම කාලය ගෙවා දැමීමටයි. එහිදී මෙම ගම්බද දඩබ්බර කොලු ගැටයන්ටද අවැසි වූයේ එසේ විනෝදයෙන් කල් ගෙවීමටයි. ඔවුනට ඊට එහා ලෝකයක් ගැන සිහින දැකීමට අවස්ථාවක් නොවීය. එහෙත් ඔවුන් නොදැකපු සිහිනයක් කරා සමරසේකර මහතා උත්සාහ ගනු ලබන්නේ තමාට කිසිදු වරප්‍රසාදයක් ලබා නොගනිමිනි. 

පාසලේ විදුහල්පතිවරිය ගත් විට සාම්ප්‍රදායික ගුරු භූමිකාවක් ඉස්මතු කරයි. ළමයින්ට නිසි ලෙස අධ්‍යාපනය ලබා දීමේ මානසිකත්වයක් කිසිම විටකවත් ඇය තුළින් පිළිඹිබු වීමක් දක්නට නොලැබේ. එ⁣ක් අවස්ථාවක ගණිත ගැටලුව තමාට නොතේරේයැයි එක් ශිෂ්‍යාවක් පැවසූ විට එය නැවත කියා දීමට තරම් ඇය කාරුණික නොවීය. එය කිසිදු විටක අනුමත කළ හැකි ගරු භූමිකාවක් නොවනු ඇත. ඒ අනුව සමාජයේ සිටින එවැනි ගුරුවරුන්ට යම්තමින් හෝ පහර ගැසීම මෙම කතාව තුළ නොදැනීම සිදු වේ.

එහෙත් සමරසේකර මහතාට අවැසි වන්නේ ඊට එහා තැනකට මෙම ළමුන් පිරිස රැගෙන යාමටයි.  ඒ සඳහා ඔහු පාසල් කාලයෙන් පසුවද ඇප කැප වී දෙමාපිය සහ ගුරුවරු බහුතරයකගේ සහයෝගයක් නොමැතිව කෙසේ හෝ තම දරුවන්ට නිසි පුහුණුවක් ලබා දෙමින් ජයග්‍රාහී මානසිකත්වයක් ගොඩ නැගූහ. තම දැඩි උත්සාහය නිසාම තරගාවලිය සඳහා නරගයට පිටත්ව යන තම කණ්ඩායමට නගරය එතරම් සුපුරුදු දසුනක් නොවීය. ඔවුන්ට නගරයට පැමිණීම මහත් සතුට දනවන කරුණක් විය. එහෙත් ඔවුන් කෑම ගැනීමේදී, නිදා ගැනීමේදී තමා හැමදාම සිදු කළ අන්දම සිදු කරම්න් තමාගේ ආස්වාදය විඳ ගත්හ. ඔවුන් තමාගේ චර්යා රටාව නගරය⁣ට පැමිණියේයැයි කියමින් වෙනස් කර නොගත්හ. මේ සියලු දෙයින් අනතුරුව තරගයට ඉදරිපත් වූ මිල්ලවිටිය දක්ෂ ආධුනික සිසු කැළ තරගය ආරම්භයේ සිටම ආගන්තුක බවක් පෙන්නුම් කරහ. එහෙත් මෙයින් නොසැලුනු සමරසේකර මහතා තරගය අතරතුර මද විවේක කාලයේදී ඔවුන් තුළ තිබූ භය ඉවත් කරමින් ඔවුන්ට විශ්වාසයක් ගෙන දෙන්නට සමත් විය. “මේක අපි ගන්න ඕන” සමරසේකර මහතා ඔවුන් තුළ නොපරදින විශ්වාසයක් ගොඩ නැගූහ. ඉන් අනතුරුව තරගයෙන් තරගය ජය ගනිමින් අවසාන තරගය පවා ජය ලබමින් කිසිදා ගමෙන් පිටට නොපැමිණි මිල්ලවිටිය කනිෂ්ඨයන් මුළු රටක් දන්නා පිරිසක් බවට පත්විය. මුලින් මෙයට විරුද්ධ වූ ගුරුවරු දෙමාපියන් පසුව ප්‍රීතී නගන්නට විය. එහෙත් සමරසේකර මහතාගේ නොබිඳෙන උත්සාහය නිසා අවසානයේ මිලිනව යන්නට ඉඩ තිබූ මල් කැකුළු දළු ලා වැඩෙන්නට විය. 

මේ කතාවේ මා දුටු එක් තවත් කතා ප්‍රවෘත්තියක් වේ. එනම් හරි අපූර්වයට සහෝදරත්වය ඉස්මතු කරනා සහෝදරයන් තිදෙනෙක් පිළිබඳවයි. තම මෑණියන් නොමැතිව තම සහෝදරයන් දෙදෙනාගේ සැප සොයනා නිහඬ වීරයකි. එම සහෝදරත්වය කතාවේ මූලික තේමාවෙන් පසුව මැනවින් ඉස්මතු වන එක් ස්ථානයකි. ලොකු සහෝදරයා විසින් තම සහෝදරයන් දෙදෙනා නහවා, කවා, පොවා, නිදි කරවා, රකින්නේ මෑණියන් කෙනෙකුන් තම දරුවන් රැක බලා ගන්නා අන්දමිනි. එය බලනා සෑම කෙනෙකුගේම නෙත් බැඳ ගන්නා දර්ශනයකි. සහෝදරත්වය පිරිහී යන සමාජයක් තුළ එවැනි සහෝදරයන් මනා අගනා දෙවිවරුන් බව වටහා ගත යුතුය. එසේම මිල්ලවිටිය විද්‍යාලය ප්‍රතිවාදී එක් කණ්ඩායමක් සමඟ තරගයකදී එක් ප්‍රතිවාදී ක්‍රීඩ⁣කයෙකු සඳුන් දිලංක නම් තම සහෝදරයාට “කාබිරියා” යන වචනයෙන් බැන වැදුණු විටදී දෙවරක් නොසිතා ඔහුට පහර දෙන්නේ සහෝදරත්වය රකිනා සහෝදරයෙක් බව පසක් කරමිනි. එය එක් අතකින් වැරදි ක්‍රියාදාමයක් වුවත් සහෝදරත්වය තුළින් බැලූ කල්හි ඒ තුළ වැරදි සහගත දෘෂ්ටියක් කුළු නොගැන්වේ. එය චිත්‍රපටයේ මූලික තේමාව නොවුනද එම සහෝදරත්වය කැපී පෙනෙනා අවස්ථාවක් බව පැහැදිලිය. 

ඒ අනුව නැවතත් කතාවේ මූලික අරමුණට පැමිණියහොත් සමරසේකර මහතා වැනි විශිෂ්ට උත්සාහවන්ත ගුරුවරු නිසා ඕනෑම නොහික්මුණු දඩබ්බරයන් පවා ජයග්‍රාහී මාවතට පිළිපන් කළ හැකිය. ඒ අනුව ගුරුවරයෙකුට ගෞරවය ලබා දීම අප සිදු කළ යුතුය. ගුරුවරයෙකු වරදකට දඬුවමක් ලබා දෙන්නේ ඒ දරුවාව නිසි මගට ගැනීම පිණිසය. ඒ නොදත් නගරයේ පාසල තිබූ ජයද මග හරවා ගත් අතර, ගුරුවරයෙකුගේ අගය උගනගත් පිරිසක් නිසි ඵල ලබා ගත්තෝය.

Design By Ravindu Sandeep

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

සඳුන් දිල්නුවන්

ශාස්ත්‍ර පීඨය - දෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment