හදවතට හදවතක් තේරුම් ගන්න පුළුවන් කිව්වට මිනිස්සුන්ගෙ හදවතක් තේරුම් ගන්න එක නම් හරිම අමාරු වැඩක්. ලෝකයේ තියෙන කරන්න අමාරුම දේවල් මොනවද කියලා කවුරුම හරි මගෙන් ඇහුවොත් ‘වෙනස් වෙන හදවතක් තේරුම් ගන්න යන එක’ කියලා මං කියන්නෙ කිසිම පැකිලීමක් නැතුව. ඒක ඒ තරම්ම සංකීර්ණයි.
කාලෙකට කලින් මාත් හදවතක් තිබුණ කෙනෙක් වුනත්, කාලයාගේ ඇවෑමෙන් අද වෙන කොට මට මාවත් අහිමි වෙලා. හදවතක් නැති වුණත් මට එකිනෙකාගෙ හද ගැස්ම නම් අද හොඳටෝම අඳුන ගන්න පුළුවන්. කොටින්ම කිව්වොත් හදවතක් තිබුණ එදාටත් වඩා හොඳට. තනි වුණ හිත්වල ඉතා සියුම් වේදනාවන් අද මට දැනෙන්නෙ එදාටත් වඩා ගොඩාක් හොඳට. සමහරවිට ඒ මං අද හදවතක උරුමක්කාරයෙක් නොවන නිසාම වෙන්න ඇති. ඒ නිසාම වෙන්න ඇති අද මට ඒ ඒ සියුම් වේදනාවන් ඒ තරම්ම දුරට අඳුන ගන්න පුළුවන් වෙලා ඇත්තෙ.
හදවතක් නැති වුනත් හදවතක් තියෙද්දි එදා දැනුන ඒ ආදරේ ගාව මං අදටත් තනි වෙලා. එදා දැනුනු ඒ ආදරේ පුංචිම පුංචි අඩුවක්වත් නැතුව මං ගාව පරිස්සමට තියෙද්දි අද ඒකෙ අයිතිකාරයා විතරක් ගොඩාක් දුර ගමනක් ගිහින්. ආයෙ හැරිලා නොයෙන්න බැරි තරමටම. මේ ආදරෙන් ගොඩාක් දුරකට. අදටත් මතක් වෙද්දි එයාටත් නොදැනෙන්නම හොර රහසින් ඒ ආදරේ දිහා බලන්නෙ එයාගෙ ලෝකෙට තවත් මං අයිති නැති වුනත්, අදටත් මගේ ලෝකෙ එයාට විතරක්ම වෙන් වෙලා තියෙන නිසා. පුංචිම පුංචි ඇහැට නොපෙනෙන සිතිවිල්ලකින්වත් කිළිටි නොවුනු ඒ ආදරේ මං මං ගාවම තියාගෙන දුරක ඉඳන් එයා දිහා බලන් ඉන්නෙ එයාගෙ හිනාවට මං අදටත් ලෝබ නිසා. මගේ ආදරේ ගාව ඒ හිතට හිනා වෙන්න අමතක වෙයි දෝ කියන බයෙන්. ඒ නිසාමයි ඔයාගෙ හිනාව පරිස්සමට එයාට බාර දුන්නෙ. හැමදාමත් තියා ගන්න. මං පරිස්සම් කරපු ඔයාගෙ ඒ ආදරණීය හිතත් එක්කම.
සීතල හැන්දෑවක මගේ උණුසුමේ දවටගෙනම ඔයාගෙ වැටෙන වේගවත් හුස්ම පොද මගේ පපුවට වදින තරම් ඔයාව තුරුලු කර ගෙන දකින්න දැකපු ඒ හීන, එක පුංචි නිමේෂයක වෙනස් වුන ඔයාගෙ හිතත් එක්කම අද හීනයක් විතරක්ම වෙලා. හදවතක් නැති වුනත් එදා ඒ ඉතිරි වුන වේදනාව අදටත් සැරින් සැරේ මතක් වෙවී, බිඳිලා විසිරිලා ගිය මගේ හිත රිදවන්නෙ හරිම ආත්මාර්ථකාමී විදිහට. මට අහිමි වුන ඔය අතැඟිලි අද වෙන කෙනෙක්ගෙ අතැඟිලි එක්ක පටලැවිලා යන දිහා මං බලන් උන්නෙ හදවතින්ම සුබ පතන ගමන්. ඒ පුංචි වත් වංක සිතිවිල්ලක් නැතුවම. මොකද අද මට උරුම නොවුනත් ඔය ඇස්වල ලියවුනු ඒ සතුට වෙනුවෙන් මට කරන්න බැරි දෙයක් මගේ ලෝකෙ නැති නිසාමයි.
කවිකම් හුරු නුඹෙ ඔය ළය ළඟ…
දිනක් බැන්දා මතකද මට පෙම් කව…
දහසක් ආවත් සහයට මගෙ දිවියට…
සෙව්වේ නුඹෙ නෙතු ඒ හැම දෙනෙතක…
සතුටින් හිඳින්න ගෙවෙන හැම මොහොතම..
මොක ද…
දන්නවා හොඳින්ම,
ඔබ මට හිමි නැති බව…
wow