දැනුම

සිහින තරු ප්‍රවණතාවයේ රැඩිකල් හිතවාදියා

“ගඟ අද්දර මා සිහිල් සෙනෙහෙ සැනහී 
හද සන්තක විය අනුහස් ආසිරී ගී 
ඔබ හමුවේ මා… මුව ගොළු වූවා…

ගඟ අද්දර පෙම් කැඳවුම් රස දැහැනේ 
ඉහ ඉද්දර පිපි ප්‍රාර්ථනා සිහිනේ 
පිබිදුනි ආශා… ගිනිසිළු සේමා… ” 

මේ පැදි පෙළ සවනට වැකෙත්ම අපේ මතකයට නැගෙන එක් මහා යුග පුරුෂයෙක් වී නම්, ඒ විජය කුමාරතුංග නම් වූ මහා රංගධරයාණන්ම විය. අසමසම රංග කෞශල්‍යයෙන් ලාංකේය කලා කෙත අස්වද්දන්නටම කැප වූ ඔහු විසින්ම පද බැඳුනු ස්වකීය හඬ සංකලනයන්ගෙන් සුපෝෂිත වූ මේ ගීතය අදටත් අප හදවත් තුළ ඔහු ගැන මතකයන් ජීවමාන කරන්නට සමත් බව කිව යුතුමයි. මෙලෙසින් දිග හැරෙන්නේ ඔහුගේ ජන්ම දිනය සමරනු වස් Colombo Beacon වෙනුවෙන් තබන සටහනකි. 

කෝවිලගේ ඇන්ටන් විජය කුමාරතුංග නොහොත් විජය කුමාරණතුංගයන් 1945 වසරේ ඔක්තෝම්බර් 9 වෙනි දින රාගම මහා රෝහලේ දී කෝවිලගේ බෙන්ජමින් කුමාරණතුංග ගම්මුලාදෑනියාට සහ බියට්‍රිස් කුමාරණතුංග මෑණියන්ට දාව උපත ලැබීය. සිඩ්නි කුමාරණතුංග, විවියන් කුමාරණතුංග සහ රූපා කුමාරණතුංග ඔහුගේ සහෝදර සහෝදරියන් වූ අතර, මතු යම් දිනක ලාංකේය සිනමාවේ පමණක් නොව දේශපාලන සංහතිය තුළද මෙතරම් විප්ලවයක් කරන්නට සමතෙකු වන බව නම් ඔහු කිසිදාක නොසිතන්නට ඇත. 

විජය සිය මුල් පාසල් අධ්‍යාපනය කඳානේ දී සිදු කළ අතර පසුව කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයට ඇතුළත් විය. පාසලේ දී ගායනයෙන් නාට්‍යයෙන් හා කථනයෙන් දස්කම් පෑ ඔහු රන් පදක්කම් ලාභියෙකු වූ අතර පාසල් විවාද කණ්ඩායමේ ද නායකත්වය දැරීය.  

රජය පුද්ගලික පාසල් ජනසතු කළ විට කතෝලික පල්ලිය ඊට විරුද්ධ විය. පාසල රජයට පවරා ගැනීමට රජයට බල කිරීමට අරගලයක් මෙහෙයවීම හේතුවෙන් ඔහුව පාසලෙන් නෙරපා හරින ලදි. විජය කුමාරතුංගයන්ට ළමා වියේ සිටම විප්ලවවාදී ආකල්ප තුළින් අරමුණු දිනා ගැනීමට තිබූ හැකියාව මෙලෙස ගෙනහැර දැක්විය හැකිය. පසුව ඔහු 1962 වසරේ දී කඳාන මැසනෝද් විද්‍යාලයට ඇතුළත් වී තම ද්විතීයික අධ්‍යාපනය සම්පුර්ණ කළේය. 

තරුණ විජයගේ ප්‍රථම ආදරය වූයේ තිරයේ රඟපෑමට නොව කාකි නිල ඇඳුමක් ඇඳීමටය. කුඩා කල පටන් තම සිහිනය වූයේ පොලිස් පරීක්ෂකයකු වීමට වුවද පවුලේ අයගේ දැඩි විරෝධය මත ඔහුට එය සිහිනයක් ලෙසම තබා ගැනීමට සිදුවිය. නමුදු කිසිවිටෙකත් පරාජය භාරගැනීමට උත්සුක නොවූ මොහු තම අභිලාශයන්හි නොසැලී සිටි අතර උප පොලිස් පරීක්ෂක තනතුරක් සඳහා ඉල්ලුම් කිරීමට ඉඩ හසර විවර කර ගන්නා ලදි. සම්මුඛ පරීක්ෂණයට තෝරා ගත්තද, දස මසක් කුසේ හොවාගෙන අනේකවිධ දුක් දොම්නස් විඳිමින් තමා උස්මහත් කළ තම මෑණියන්ගේ කදුළු තුළින් තම සිහින සැබෑ කරගන්නට ඔහුට අවැසි නොවීය. අකමැත්තෙන් වුවද එම සිහිනය එලෙසින්ම අත්හැර දැමීමට ඔහුට සිදුවන්නේ එබැවිනි. 

ඉන්පසුව ඔහු තම රංගන දිවියට පා තබන්නේ නැටුම් ඉගෙන ගැනීම සඳහා පේශා පලිහක්කාරයන් විසින් පවත්වාගෙන යනු ලැබූ ‘සෙරන්ඩිබ්’ කලා ආයතනයට සම්බන්ධ වීමෙන් පසුවයි. 

‘රන්මුතු දූව’, ‘ගැටවරයෝ’ සහ ‘සාරවිට’ වැනි චිත්‍රපට කිහිපයක් අධ්‍යක්ෂණයෙන් පසුව ලාංකේය ඉතිහාසයේ ප්‍රබල රණශූරයෙකු ලෙසින් විරුධාවලි ලත් ‘වීර පුරන් අප්පු’ ගැන චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට පලිහක්කාරයන්ට අවැසි විය. පලිහක්කාරයන් තම චිත්‍රපටයේ ගොංගාලේගොඩ බණ්ඩා නොහොත් ඩේවිඩ් රජු ලෙස රඟපෑම සඳහා විජය කුමාරතුංග තෝරාගනු ලැබීය. එය ඔහුගේ දිවියේ හැරවුම් ලක්ෂයක් ලෙස සනිටුහන් වූවාට සැක නැත.

1967 දී ලාංකේය සිනමාවේ ප්‍රබල චිත්‍රපට සංස්කාරක ටී. බවානන්දන් මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘මනමාලයෝ’ චිත්‍රපටයෙන් ඔහු මුල් වරට රිදී තිරයෙන් අප අතරට පැමිණියේය. අද්විතීය හැකියාවන්ගෙන් ලාංකේය සිනමා වංශකතාවේ නවමු මං සොයා ගිය ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, ටෝනි රණසිංහ, වොලී නානායක්කාර සහ රොබින් ප්‍රනාන්දු නම් වූ ජනප්‍රිය නළුවන් මේ සඳහා රංගනයෙන් දායක වූ අතර, ප්‍රේමසිරි කේමදාස ශූරීන් විසින් චිත්‍රපටයේ සංගීත රචනා කරන ලදි. විජයගේ පළමු තිර චරිතය වන මෙය 1967 මාර්තු මාසයේ දී තිරගත විය. 

මඩවල එස් රත්නායක මහතාගේ නවකතාවක් පදනම් කර ගනිමින් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘අක්කර පහ’ චිත්‍රපටයේ රඟපෑමට තරුණයකු සොයන බව දැනගන්නට ලැබුණු වහාම ඔහු ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ නිවසට ගියේ දහසක් බලාපොරොත්තු සිත තුළ හොවාගෙනය. බොහෝ වෙලාවක සිට ලෙස්ටර්ගේ නිවසේ ආලින්දයට වී සිටි මේ කැපී පෙනෙන කඩවසම් තරුණයාට (ලෙස්ටර්ගේම වචනවලින්) කතා කිරීමට ඔහු ගියේය. නමුත් අවාසනාවට මෙන් ඒ වන විටත් ඒ චරිතය සඳහා පන පෙවීමට මිල්ටන් ජයවර්ධනයන් තෝරාගෙන තිබිණි. කුමාර් ද සිල්වා විසින් සම්පාදනය කළ ‘ලෙස්ටර් ඔන් ලෙස්ටර්’ පොතේ මේ සිදුවීම ගැන සිංහල චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් මෙසේ සඳහන් කර ඇත. “එම තරුණයා විජය කුමාරතුංග වන අතර ඔහු මෙරට සිනමාවේ ශ්‍රේෂ්ඨතම නිරූපකයා බවට පත්විය.” ඉදින් ඔහු ගැන තවත් අටුවා ටීකා කුමටද? 

ලාංකේය සිනමාවේ විශ්ව විද්‍යාලයක් පදනම් කරගනිමින් ලියවුනු ප්‍රථම චිත්‍රපටය සුගතපාල සෙනරත් යාපා මහතා විසින් අධ්‍යක්ෂණය කළ “හන්තානේ කතාව” චිත්‍රපටය විය. ටෝනි රණසිංහ, ස්වර්ණා මල්ලවාරච්චි, සමන්ති ලැනරෝල් නම් වූ ප්‍රවීණ නළු නිළියන් සමඟින් එහි ප්‍රධාන චරිතය රඟපෑමට විජය කුමාරතුංගයන්ට අවස්ථාව ලැබිණි. 1969 වසරේ දී තිරගත වූ ‘හන්තානේ කතාව’ සහ ‘රෝමියෝ ජුලියට්’ චිත්‍රපටයේ රඟපෑමෙන් පසුව ඔහු තම රංගන කුසලතා තුළින් නවමු දිවියකට පෙර මන් විවර කරගත් බව අවිවාදයෙන් යුතුව කිව හැකිය.

ඉන්පසුව, සීගිරි කාශ්‍යප රජු ගැන ලියූ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ප්‍රථම ඓතිහාසික චිත්‍රපටිය වූ “ගෝඩ් කිං” හි ලලිත්ගේ චරිතයට විජය කුමාරතුංගයන් රංගනයෙන් දායක විය. ලාංකේය සිනමාවේ ප්‍රබල රංග වේදියන් වන රවින්ද්‍ර රන්දෙණිය, අයිරාංගනී සේරසිංහ, ඩග්ලස් වික්‍රමසිංහ සහ බටහිර නළු නිළියන් වන ලී ලෝසන්, ඔලිවර් ටෝබියස් සහ ජෙෆ්රි රසල් සමඟින් රඟපෑ විජයගේ පළමු ඉංග්‍රීසි චිත්‍රපටය වන්නේද මෙයයි.

තවද, කොළඹ විශාඛා විද්‍යාලයේ විදුහල්පතිනියක වූ එලින් සිරිවර්ධන මහත්මිය විසින් රචිත නවකතාවක් මත පදනම් වූ “අහසින් පොළවට” චිත්‍රපටයේ දෙවන ප්‍රධාන චරිතයට පණ පෙවීමට විජයට අවස්ථාව හිමිවිය. අදටත්, කන වැකුණු පමණින්ම මතකයට නැගෙන “බැද්දේගම” චිත්‍රපටයට ද තම රංග දායකත්වය ලබා දීම තුළින් ඔහුගේ ශිල්පීය දක්ෂතා මනාවට විදහා දැක්වේ. මේ චිත්‍රපට තුනම සම්භාවනීය චිත්‍රපට අධ්‍යක්ෂක ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේම වීම විශේෂත්වයකි. 

ඔහු තම රංගන දිවිය තුළ චිත්‍රපට 114 ක ප්‍රධාන චරිතයට රඟපා ඇත. ‘එයා දැන් ලොකු ළමයෙක්’,  ‘පාර දිගේ’, ‘ගඟ අද්දර’, ‘බැද්දේගම’, ‘මහා ගෙදර’, ‘බඹරු ඇවිත්’, ‘කැඩපතක ඡායා’ සහ ක්‍රිස්තු චරිතය’ ඒ අතර වේ. ඊට අමතරව ‘අහස් ගව්ව’, ‘රන් ඔන්චිල්ලා’,  ‘හතර දෙනාම සූරයෝ’, ‘අභිරහස’, ‘පෙරළිකාරයෝ’ සහ ‘කේසර සිංහයෝ’ ඇතුළු චිත්‍රපට 122 ක ට ආසන්න සංඛ්‍යාවකට රංගන දායකත්වය ලබා දී ඇත.

මෙකී අනර්ඝ වූ අසහාය රංගවේදියාණෝ අවස්ථා කිහිපයකදී ම සම්මානයට පාත්‍ර වූ බව නම් නොරහසකි.

  • 1983 සිට 1988 දක්වා අඛණ්ඩව “සරසවිය ජනප්‍රියතම නළුවා” ට හිමි සම්මානය දිනා ගත්තේය. එය සිංහල සිනමාවේ වාර්ථාගත ඉනිමක් ලෙස කිව හැක. 
  • 7 වන විචාරක සම්මාන උළෙලේදී  “අහස ගව්ව” චිත්‍රපටයේ රංගනය අගයනු පිණිස මෙන්ම කැඩපතක ඡායා චිත්‍රපටයේ ප්‍රධාන චරිතය අප සිත් තුළ ජීවමාන  කරවීම ඇගයීමට OCIC සිනමා උළෙලේදී සහ ස්වර්ණ සංඛ සිනමා සම්මාන උළෙලේදී “හොඳම නළුවා” ට හිමි සම්මානයෙන් පිදුම් ලැබීමට තරම් වාසනාවන්ත විය. 

ගායනයෙන් රසික හදවත් පිනවන්නට නිතැතින්ම කටයුතු කිරීමෙන් විජය කුමාරතුංගයන් අසහාය රංගන ශිල්පියෙකු පමණක් නොව අද්විතීය ස්වර හසුරුවන්නෙකුද වූ බව මනාව පසක් වනු ඇත.

“ගඟ අද්දර, උපන් බිම, පායා සීත රැයේ, දඟගෙයි දඬුවම්, විජය ගී, කවුළුව අතරින්, රූස්ස ගහ ළඟ, දිනකර පායා, සුදු දුව” ඇතුළුව ගීත 100 ක ටත් වඩා ඔහුගේම හඬින් ගීතවත් වී ඇත. 

‘සහරාවේ සිහිනය’ චිත්‍රපටයට සහ ‘දොළොස් මහේ පහන’ චිත්‍රපටිය සඳහා ඔහු “සරසවිය හොඳම පසුබිම් ගායකයා” සම්මානය දෙවරක් දිනාගෙන ඇත. ඔහු තම එකදු ගීතයකින් හෝ කැසට් පටයකින් කිසිඳු මුදලක් ගෙන නොතිබීම ඔහුගේ සොඳුරු මානුෂීය ගතිගුණ නැවත නැවතත් ඉස්මතු කරවයි. 

ඔහු විසින් එකල සිටි අගමැතිවරයකු වූ එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ සහ ලොව ප්‍රථම අගමැතිනිය වූ  සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ බාල දියණිය වන චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ව 1978 වසරේ පෙබරවාරි 20 වන දින විවාහ කරගන්නා ලදි. හෙළ සිනමාවේ කඩවසම් තරුණයකු වූ මොහුගේ ආදර අන්දරය ඇරඹෙන්නේ විවාහයට වසරකට පළමුවයි. ඔවුන් දෙදෙනාගේ හමුව සිදුවන්නේ ඇයගේ සොහොයුරකු වූ ඇමති අනුර බණ්ඩාරනායකයන්ගේ මැදිහත්වීම තුළිනි. 

විටෙක චන්ද්‍රිකාවන් පවසන්නේ, “වරක් විජය කටානාවේ සංවිධානය කරන ලද රැස්වීමකට ආරාධනා කරන මුවාවෙන් නිට්ටඹුව හොරගොල්ලේ බණ්ඩාරනායක වලව්වේ පිහිටි ඇයගේ නිවසට පැමිණි බවයි.” ඔවුන් දෙදෙනාගේම දහසක් වූ ප්‍රර්ථනා පූර්ණය කිරීමට ඔවුන්ට ‘යශෝධරා කුමාරණතුංග’ සහ ‘විමුක්ති කුමාරණතුංග’ නමින් උරුමකරුවන් දෙදෙනෙකු විය.

රංගනය ඔහුගේ පිළිගත් වෘත්තීය වූ අතර දේශපාලනය ඔහු තෝරාගත් වෘත්තීය විය. ඔහුගේ වැඩිමහල් සොයුරා වූ සිඩ්නි කුමාරණතුංග ලංකා සමසමාජ පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයකු වූ අතර, සීදූව සුළු නගර සභා මන්ත්‍රීවරයකු ද විය. තම සොයුරාගෙන් ඉගෙන ගත් මානුෂීයවාදය සහ සමානාත්මතාවය රට තුළ ස්ථාපිත කිරීම සඳහා ඔහු අවංක වෑයමක යෙදෙන්නට විය. තම දේශපාලන දිවිය ලංකා සම සමාජ පක්ෂයෙන් ආරම්භ කළද, පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වී එහි ප්‍රථම ජාතික සංවිධායකවරයා බවට පත් විය. 

1977 වසරේ දී මහා මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කළ මොහු එහිදී අසාර්ථක විය. පසුව ජේ. ආර්. ජයවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් එ.ජා.ප. ආණ්ඩුවේ දුර්වලතා විවේචනය කළේයැයි බොරු චෝදනා නගමින් සිරගත කරන ලදි. එහිදී ඔහුට මාස තුනක් පමණ දුෂ්කර දිවියක් ගෙවීමට සිදුවුණු බව කණගාටුවෙන් වුවද කිව යුතුය. 

ඔහු ශ්‍රී ලංකා සිවිල් යුද්ධයේ සාමය සඳහා උද්ඝෝෂණය කළ ශ්‍රී ලංකා මහජන පක්ෂය (එස්.එල්.එම්.පි) ආරම්භ කළේය. ඒ යටතේ මින්නේරිය අතුරු මැතිවරණයට තරඟ කර එක්සත් ජාතික පක්ෂයට දෙවෙනි වුවද, තම පැරණි පක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුන්වන ස්ථානයට පත් කළේය. සැබෑ මානව හිතවාදියකු ලෙසින් අසමසම වීර්යයෙන් සහ චිත්ත ශක්තියෙන් යුතුව පොදු ජනයා වෙනුවෙන් හඬ අවදි කළ මොහු විසින් තම දේශපාලන දිවිය තුළ කළ සේවය සුළු පටු නොවීය.

ඔහුගේ බිරිඳ වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය විටෙක පැවසූ මේ වදන් වලින් ඔබ අප සියලු දෙනාම සානුකම්පිත කරනවා නිසැකයි. 

“විජය තබා තිබුණේ සාමාන්‍ය සිර මැදිරියක නොව, ගබඩා කාමරයකයි. වරක් හෝ ඔහුව බැලීමට හැකි වුණේ මට පමණි. බොහෝ ප්‍රයත්නයන්ගෙන් පසුව ඔහුට ආහාර රැගෙන යාමට අවසර ලැබුණත් ඒ වන විටත් ඔහුගේ ආහාර විෂ කිරීමට සැලසුමක් දියත් කර ඇති බව මට දැනගන්නට ලැබුණි.”

කලකට පසු සමහර බන්ධනාගාර නිලධාරීන් විජය කුමාරතුංගයන්  සමඟ මිතුරු වූ නිසා ඔහුට තම බිරිඳ සමඟින් රහසේ ලිපි හුවමාරු කරගැනීමට ඉඩ හසර ලැබිණි. ඉන් එක ලිපියක් නම් ඔහු තම පුත් විමුක්තිට යැවූ හද සසල කරවන ලිපියකි. කෙතරම් බාධක වලට මුහුණ දීමට සිදු වුවත් දිවිය පුරාවටම පීතෘ ස්නේහයේ අඩුවක් නම් නොවන බව ඉන් මනාව සපථ කරවාලයි. 

“විමුක්ති, මගේ පුතේ, එදින සිය ගණනක් පොලිස් භටයන් සහ සොල්දාදුවන් පැමිණ මා  රැගෙන ගියා. ඔබවත් දන්නේ නැහැ. මම ඔබේ කාමරයට ඇවිත් බලන විට ඔබ තනිවම සිටියේ කටට අත තබා ගෙනය. මම ඔබව වැළඳගත්තේ නැත. කණගාටුවෙන් වුව මම ඔබව සිප ගත්තේ ද නැත. එයින් අදහස් වන්නේ මා ඔබට ආදරේ නැති බව නොවේ.”

තවදුරටත් ඔහු තම පුතාට පවසන්නේ, “ඔබ ඉපදෙන විට මට විවේකයක් නොතිබුණි. මම ඒ වනවිට රට පුරා දුක් විඳිමින් සිටි මිනිසුන් වෙනුවෙන් සටන් කරමින් සිටියෙමි. ඔබ ඉපදුන බව දැනගත් වහාම මම රෝහලට පැමිණියෙමි. මා ඔබ දෙස මහත් ආඩම්බරයෙන් බලා සිටියෙමි. අපි ඔබට ‘විමුක්ති’ යන නම තැබීමට තීරණය කළෙමු. ඔබ මේ අහිංසක මිනිසුන්ගේ විමුක්තිය වෙනුවෙන් සටන් කිරීම මට මහත් ආඩම්බරයක් සහ ප්‍රීතියක් ගෙන දෙන දෙයක් වනු ඇත.”  

එතුළින් තමා පමණක් නොව තම ලෙයින් මෙලොව එළිය දුටු තම පුතණුවන්ගේද සිත තුළ මානව හිතවාදී හැඟීම් ඇති කරවාලන්නට ඔහු සමත් විය. 

අයුක්තියට අසාධාරණයට එරෙහිව ජනතාවට අසීමිත වූ ආදරයකින් නැගී සිටි ඒ අසහාය යුග පුරුෂයා සදහටම දෑස පියාගත් දිනය, 1988 පෙබරවාරි 16, ඇසූ පමණින් අප සියල්ලන්ගේම නෙතට කඳුළක් උනනවා නොඅනුමානයි. එය මහා ශිව රාත්‍රී දිනයක් විය. පොල්හේන්ගොඩ පිහිටි ඔහුගේ නිවස ඉදිරිපිටදී තම හිතවතෙකු සමඟින් කතා කරමින් සිටින විට බිහිසුණු ප්‍රහාරකයින්ගේ වෙඩි පහරින් විජය කුමාරතුංගයන් බිම ඇද වැටුණි. ඔහුගේ නිසල දේහය අසලට පැමිණ හිසට සහ මුහුණට තවත් උන්ඩ එල්ල කිරීමට තරම් ඔවුන් සහාසික වූයේ කෙසේදැයි මතකයට නැගීමත් හද සසල කරවන්නකි. 

වයස අවරුදු 42 දී මෙතුමාව කුරිරු ලෙස ඝාතනය කෙරුණු ඒ අඳුරු හෝරා කිහිපය ඔහුගේ බිරිඳ විසින් විස්තර කළේ සියහසක් සහෘදයන්ගේ දෑස් කඳුළින් තෙත් කරමිනි. 

“මම මගේ සැමියා අසලට ගිය විට ඔහුගේ ජීවමාන සිරුර මට දැක ගත හැකි විය. විජයගේ හිස කැබලිවලට කැඩී ඇත. ඔහු මිය යන මොහොතේත් අපේ දුව යශෝධරාට ඉක්මනින් දුවන්නැයි පැවසුවා. මම බය උනා මිනීමරුවා නැවත ඇවිත් මගේ දරුවන්ට හානි කරයි කියලා. ඒ දෙන්නව කාමරේකට දාල දොර වහල මම විජයව අරන් රෝහලට ගියා. ඔවුන් විජයගේ මුහුණ ආවරණය කළ අතර, යමෙකු ඔහුගේ අත් ඔරලෝසුව සහ මංගල මුදුව මට ගෙනවිත් දුන්නේය. මට නැවත කිසි දිනක ඔහු සමඟ කතා කිරීමට නොහැකි විය.” 

අප අතර සිටින බොහෝ මිනිසුන් ජීවත්ව සිටියදී ගෞරවයට පාත්‍ර වන මුත් මරණින් පසුව කෙමෙන් අප සිත් තුළින් ඒ මතක මැකී යයි. ඒ අතරින් ස්වල්ප දෙනෙක් ස්වකීය දිවිසැරිය තුළ පමණක් නොව මරණින් පසුවත් අන් අයගේ ආදරය සෙනෙහස ගෞරවය ලබා ඇත. අපේ කතා නායකයා ඊට හොඳම නිදසුනක් වනු ඇත. එතුමා කුරිරු ලෙස ඝාතනයට ලක් වී වසර 33 ක් ගතවී ඇතත්, ඔහුගේ සැබෑ මානව හිතවාදී ගුණාංග නිසාවෙන් ඔහුගේ දස දහස් රසිකයන්ගේ මෙන්ම අනුගාමිකයන්ගේද, මතක සටහන් තුළ ඒ අසහාය සිනමා නළුවා සහ දේශපාලන විරුවා ජීවමාන ස්මාරකයක් බවට පත්ව තිබේ. 

ඔහුගේ මරණය සිදුවූ අඟහරුවාදා දිනය “භයානක අඟහරුවාදා” නොහොත් “අඳුරු අඟහරුවාදා” ලෙස නම් කෙරුණි. 1988 පෙබරවාරි 21 වන දින පැවැත්වූ එතුමාගේ අවමංගල්‍යයට විශාල ජනකායක් පැමිණ සිටි අතර, එය ශ්‍රී ලංකා රූපවාහිනියේ සජීව ලෙස විකාශය කෙරුණු පළමු අවමංගල්‍යය විය. දශක දෙකක් පුරාවට විශ්මිත තිර දර්ශන තුළින් සිංහල සිනමාව පෝෂණය කරමින් මිලියන සංඛ්‍යාත සිනමා ලෝලීන්ගේ රසික හදවත් සොරා ගත් මේ සොඳුරු රංගධරයාණන්ගේ අභාවයෙන් පසුව ඒ නාමය දෙරණ සිසාරා රැව් පිළිරැව් දෙන්නට විය. 

“මේ ජීවිතයේ අපට සාක්ෂාත් කරගත නොහැකි දේ කුමක් වුවත්,  ජීවිත කාලය පුරාවටම ප්‍රීතිය ගෙනදෙන යමක් අපට ලැබී තිබේ. මේ ජීවිතයේ අපට ලැබී ඇති ලොකුම වස්තුව, ලොකුම බලය, ලොකුම සතුට නම් අපේ දරුවන් දෙදෙනා ය. එය අපට ප්‍රමාණවත්ය. අපි ජීවත් වෙන තාක්කල් අපි ඔවුන් සමඟ සතුටින් සිටින්නෙමු. මේ ලෝකයේ කිසිවෙකුටත් අපහාස කිරීමෙන්, රිදවීමෙන් හෝ ඊර්ශ්‍යාවෙන් තොරව ජීවත් වන්නෙමු. එය මගේ එකම පැතුමයි.”  

ඒ ඔහුගේ පැතුමයි. ඉඳින් අපි එය පූර්ණය කරමු. ගතින් සුවහසක් ලාංකිකයන්ගෙන් වෙන් වුවද, ඔහුගේ සිනමා නිර්මාණ සහ ඔහුගේම හඬින් ගැයෙන ගීත නිර්මාණ හරහා විජය කුමාරතුංග නාමය සදා අමරණීය වනු ඇත. බහුවිධ හැකියාවන් ඔස්සේ තම ප්‍රතිභා පූර්ණ්‍ය කළ ඒ සොඳුරු රංගවේදියාණන්, දිවංගත විජය කුමාරතුංග මැතිඳුනි, Colombo Beacon වෙනුවෙන් පතන්නෙමු ඔබට සුභ උපන්දිනයක්! 

රඟ වෙස් නොපෑ ඒ අසහාය විමුක්තිධාරියාගේ අහිංසක පැතුමක් මෙලෙසින් ඔබට ගෙන එමින් මම අදට සමුගන්නෙමි. 

 

Design by : Shanaka Vishwantha

References :

Images :

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

දිල්ශි නෙත්මිණි

විද්‍යා පීඨය - දෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment