නිසදැස්

සිහි කැඳවීමයි

පුරාතන බටහිර නාවිකයෙකුගේ නාවික සටහන් පොතක මෙසේ සටහන් වී ඇත. ” බියජනක අඳුරු වනාන්තරය පසු කර දින කිහිපයකින් පසු ඔබට සුරඟන දිවයිනක් හමු වනු ඇත.එහි මේ ලොව පැවතිය හැකි සියලු සැපසම්පත් ඇත.”
එය වසර 125000 ක අඛණ්ඩ ඉතිහාසයකට උරුමකම් කියන්නාවූ රටකි. ලොව පැරනිතම යකඩ ඇත්තේ එම රටේය.එනම් ලොව මූලිකම ශිෂ්ටාචාර කිහිපයට ඔවුන් අයිති වන්නේය. කාලය ගත වී ඇත. එම රට සක්වල ආක්‍රමනයකට ලක් විය. දැන් එහි ඇත්තේ කනේ සිට පහල පපු පෙදෙස දක්වා වයර් කෑලි එතූ , එක්තරා මිනිසෙකු විසින් ගොඩ නැගූ ස්මාර්ට් ලෝකයකට යටත් වූ මිනිසුන්ය. මත්කුඩු ගංජා බොන සුලගටත් වැනෙන කෙසගයන්ය. රටක මූලික අවශ්‍යතා පවා නොදන්නා දේශපාලකයන්ය. අපි කව්ද..

ඉන්දීය සාගරයේ මුතු ඇටයකට සම
මෙම පොඩි දිවයිනෙහි ජනිතව වැඩුනු මම
ශ්‍රී ලංකාව යනුවෙන් මිහිරි නම
සිහිකර පිසගනිමි මිනිකැට හැදෙන බිම

පලබර හරිත පැහැයෙන් වූ ගස් වැල්ය
ඉමිහිරි සුවඳ විහිදන සුපිපුන මල්ය
නිරතුරු සිසිල් දියපිරු ඇල දොලවල්ය
අහසට නැගී ඇති මනහර කඳු හෙල්ය

වික්ටොරියා රන්දෙනිවල කොත් මලය
මින්නේරි කලා පැරකුම් යන වැව් ජලය
වියලෙන්නට නොදී තෙත් කර බිම් තලය
සරුකර වඩා දෙනු ඇත ගහ වැල් පැලය

මින්නේරිය පොළොන්නරු කල්මුණ වෙල් යායයි
කලුවර බුරුත තද වානේ වැනි ලීයයි
වලුබර නෙරළු කොස් දෙල් අසිරිය මේයයි
පෙන්වීමට අපට මෙහි ඉරහඳ පායයි

සීගිරි දඹුලු ගල්ලෙන්වල තිබෙන ඇඳ
සිතුවම් කුරු‍ටු ගී වැල් පන නොවන ලද
අවුකන වැනි මහා කලු ගල් පවුරු බිඳ
නෙළු බුදුපිළිම ලොව විස්මිත කරති අද

අහසට නැගී ඇති රන්වැලි මහ සෑයයි
ගල් කනු දහස් ගණනැති ලෝවා පායයි
සෙල් ලිපි වල කෙටූ අපි කල වැඩ මේයයි
පෙන්වීම්ට අපට මෙහි පුරහඳ පායයි

මගෙ මේ කුඩා දිවයින මහ පොළොව මත
සැතපුම් දෙසාළිස් දහසක් පමණ ඇත
මෙහි නිවසන අපට සැමදා ගෙනෙන සෙත
ලොව ඇති සියලු සම්පත් මෙම බිමෙහි ඇත

කෙලි බඩු නිපදවේ මැටියෙන් කැලණි පුරේ
මහගස් මොර‍ටුවේදී ඇඳපු‍ටු බවට හැරේ
වැලිමඩ ගමෙන් එළවළු ලොරි වලට පිරේ
උපදී මැණික් කැට පොළොවෙන් රත්න පුරේ

මිනුවන්ගොඩ වළං හුරුබුහුටිය තදය
රුහුණෙන් ගෙනෙන මී කිරි කෑමට හොඳය
ඔසුපැළ බිං කොහොඹ සීගිරි වන මැදය
කට දිව පිනයි බටලීයේ කජු මදය

නිපදවේ සීනි කන්තලේ පිහිටි මෝලෙන්
බත්කති මරඳගහමුල විකුණන හාලෙන්
ටින් කිරි එයි අඹේවෙල ඇති ගව ගාලෙන්
රෙදිපිලි නිපදවෙති පූගොඩ කපු නූලෙන්

ගම්පොළ ගම්මිරිස් ඇදදෙයි රන්කාසී
හම්බන්තොට දමති ලුණුමළු වෙන්දේසී
වාලච්චේනේ නිපදෙනවා කඩදාසී
ගම්පහ තිබේ පැණි වැගිරෙන අන්නාසී

කඩුගන්නාවේ සාදික්කා සුවඳ හැමේ
උපදී මැණික් කැට ඇලහැර පෙදෙස බිමේ
රටදෙල් වේලෙනවා හක්මන නැමති ගමේ
බිබිලේ දොඩම් අතු බරවී බිමට නැමේ

එළබ‍ටු වැවේ සරුසාරෙට දඹුලු වනේ
තක්කලි අම්බලන්ගොඩ සිට කොළඹ ගෙනේ
පුත්තලමින් ලැබෙන ලුණු රස දිවට දැනේ
මල්වෙඩි කිඹුලාපිටි ගමෙනුයි ජනිත උනේ

මුලු රට දොඩම්දූව ජඩියේ රසය දනී
හම්බන්තොටින් රජයට කපු පුළුන් ගනී
මීමු අලුවා රට දස දෙස පතල වුනී
තණමල්විලින් රටකජු ලොරි වලට පනී

පේරාදෙණිය උඩවැඩියා පිනති නෙතූ
බලංගොඩ නෙල්ලි අත බරවෙමින් අතූ
කොස්ගොඩ ලනු පැදුරු කොහු ලනු වලින් ගෙතූ
උපදී හලාවත මුහුදෙන් අනගි මුතූ

ගන්නෝරුවේ ඇත එළවළු ඇට මේරූ
දුම්මල විකිණෙනවා ගොඩ කුඹුරෙන් හෑරූ
මහවැව ගමෙන් ගෙන එයි කොහුරෙදි පීරූ
ළුගම හැදෙනවා පිත්තල සර නේරූ

මොනරාගලින් කොළඹට එයි ඉදුනු දෙහී
වැලිමඩ පොළොවෙ අර්තාපල් ජයට බහී
කොත්මලයේ හදති හොඳ කැති උදලු පිහී
පල්ලෙකැලේ පැණිමොර ඉදෙනවා පැහී

මැංගුස් ඉදෙනවා කලුතර ගස් ගානේ
ලාබයි කෙසෙල්කැන් රඹුකන ගම් මානේ
ඉදුරුවේ වියනක පැදුරු නිවසක් ගානේ
පැණි රඹුටන් පොකුරු ඉදෙනවා මල් වානේ

රටටම දඹුල්ලෙන් බෙදනවා ලොකු ළූණූ
ඉඳිකොළ තොප්පි වියනවා කළුතර ගෑණූ
දසදෙස සුවඳ දෙති හග්ගල මල් රේණූ
මී අඹ දම් පලාරස බලනවා ලේණූ

මිනිරන් කඩනවා බෝගල පතල් වලේ
ගොවි දෑතට හුරුය යක්කල උදලු තලේ
පිටරට යැවෙද්දී ගම්පහ බුලත් කොලේ
ගල් ඔය අරළු ගෙඩි වියළී බිමට හැලේ

ඇල්පිටියෙන් කුරුඳු පිටරට වලට යැවේ
උක්ගස් හපුතලේ ගල්කුළු අතර වැවේ
අකුරල ගමේ බෙලික‍ටු හුණුවලට දැවේ
මිදිගස් යාපනයෙ තල්ගස් අතර වැවේ

හම්බන්තොටින් කවුරුත් කළු දොදොල් ගනී
මිනිරන් දොඩම්ගස් ලන්දේ පතල් කනී
මුළුරට වාද්දූවේ කොහු ඉදල් ගනී
රටවටකර යැවේ ක‍ටුවන කිතුල් පැනී

යාපනේ ගලේ වෙල දුංකොල ගස පැලවේ
උඩරට කිතුල් හකුරට කටදිව නැලවේ
ලග්ගල පළාතේ එනසල් න‍ටු ගැලවේ
උක්ගස් වැවේ සරුසාරෙට උඩවලවේ

උලු නිපදවති මුළු රටටම දංකො‍ටුව
දුරලයි වෙහෙස යාපනෙ තල් රා ගො‍ටුව
සවිසක්තියට ඇත මොර‍ටුවෙ හැදු පු‍ටුව
නරඹමු අම්බලන්ගොඩ රූකඩ නැ‍ටුව

ගෙන එයි වවුනියාවේ සිට රතු බී ළූණූ
වියනවා හැඹිලි මලු හික්කඩුවේ ගෑණූ
යාපනෙන් ගෙනෙයි අඹ රස අඩු නූනූ
මුළු ලොව පරසිදුයි උඩරට වෙස් මූණූ

හුන්නස්ගිරියේ මී වද පැණි වලින් පිරී
ගෙන එයි වාද්දූවෙන් පොල් විනා කිරී
ගල් ඔය අරක්කුයි උක් පැණි වලින් පිරී
රට යයි ගලේවෙල සිට එන පැපොල් කිරී

මීගමු කලපුවෙන් කකුළුවො ගොඩට අදී
කල්පිටි වෙරළ කරවල තෙප්පමට බදී
ගම්පොල කොකෝ ඉදෙනවා කහ පැහැය දිදී
හිරියාලේදී දුංකොල මිටි වලට බඳී

අරංදර කපති කැටයම් හරක් අඟේ
කරවල හදයි මන්නාරම් වෙරළ දිගේ
කජුවතු කල්මුනේ හැම පෙදෙසකම වගේ
රුහුණේ හබලපෙති කවුරුත් කරති අගේ

ගම්පොළ කෝපි වතුවල අතු ඉති බරය
ලනු ඇඹරුමට කොස්ගොඩ අත් කඩි සරය
පිළියන්දල පිඟන් ජාතික සුර තුරය
යාපනෙන් ගෙනෙන කළු දුංකොල සැරය

වේවැල් වලින් විසිතුරු බඩු නිපද වන
රදාවඩුන්නට හිමිවෙයි පළමු තැන
ඔරුවල යකඩ පුත්තලමින් රටට දෙන
මලු පිරවූ සිමෙන්තිය ගැන සිතනු මැන

දුන්හිඳ ඇල්ල දු‍ටුවම හද කැවුතු නටයි
හිනිදුම ඇල්ල ලස්සන ඇද හැලෙන කොටයි
දියලුම ලක්ෂපානෙට මුළු ලොවම යටයි
බඹ‍රැල්ලෙන් සුදෝසුදු පෙන බුබුළු නටයි

මුළු රට සිටියදී රෑ තුන්යම නින්දේ
දුරුකරගෙන අඳුර ගම රට සහ ලන්දේ
තෙල්පිරි පහදුවේ ඇති සපුගස් කන්දේ
නොනිමෙන ගිනි සිලෙනි මෙහි ගනදුර බින්දේ

උපුටා ගැනීමකි.

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

ඉසුරු ජයලත්

විද්‍යා පීඨය - අවසන් වසර
කොළඹ විශ්වවිද්‍යාලය

Leave a Comment