Interview දැනුම

සීතල මාතලේ සොඳුරු නවාතැන

දෙනෙතත් සිතත් එක්වර වසඟ කළ හැකි දෙයක් වේද ඒ සොබා සෞන්දර්යයම පමණි. පුංචි දූපතක් වන අපගේ හෙළ දේශයේ මෙතරම් විස්මයජනක සොබා රූ තිබෙනවා ද යන්න රූ ධාරා පාඨක ඔබට නම් තවදුරටත් පැනයක් නොවේ. මන්ද යත් අපගේ මුතු ධරණියේ සුන්දරත්වය දොරේ ගලා යන ස්ථාන රැසකම ඔබ දැනටමත් සංචාරය කර අවසන් වී ඇති නිසාවෙනි. මෙම පාරිසරික සුන්දරත්වයන් විඳින්නට වගේම ඒවා රැකගැනීමටත් ඔබට මඟ පෙන්වන්නට, අවසරයි රූ ධාරා අපට, අපගේ දස වන දිගහැරුම මෙසේ ඔබ වෙත ගෙන එන්නට…

මේ සතියේ අපි යන ස්ථානයේ නම් ත්‍රාසය ඇත්තෙම නෑ… පුංචි සත්වයෙක් නම් පුංචි ත්‍රාසයක් දුන්නා තමයි (ඒ ත්‍රාසජනක මිත්‍රයා ගැන ඉදිරියෙදි බලමුකෝ). නමුත් සම්පූර්ණයෙන් ම සිත නිවන ඇස පිනවන කය වෙහෙස නොවන විනෝදය ගෙනදෙන සොඳුරු දවසක් ගත කරන්නට ඔබ යා යුතුම තැනක් තමයි මේ… තුරුලතාවෙන් අඩුවක් නොමැති මේ වත්තේ, විනෝදකාමී තවත් අංග රැසක් ද අප වෙත දායාද කර දී ඇත. බාල මහලු කොයි කාටත් සුදුසු මේ, සීතල මාතලේ සොඳුරු නවාතැන, සෙම්බුවත්ත. 

ඉතින් මේ අපූරු සෙම්බුවත්තේ අසිරි නරඹන්නට ගිහින් තියෙන්නේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලබන සචින් ප්‍රසන්න සොහොයුරා හා එම පීඨයේම දෙවන වසරේ ඉගෙනුම ලබන සමිතා නේරංජනී සොහොයුරියයි. ඒ දෙදෙනා අද මාත් සමඟ  එකතු වුණා ඒ දෙදෙනා විඳින්නට වූ ඒ රසාස්වාදය අප සැම සමඟ බෙදාගන්නට.

ඔබ දෙදෙනාව රූ ධාරා සඳහා සාදරයෙන් පිළිගන්නවා. අපි මුලින්ම දැනගන්න ආසයි මේ ගමන සංවිධානය වුණේ කොහොමද කියලා. කොහොමද සෙම්බුවත්ත ගැන දැනගත්තේ? කලින් ගිහින් තියෙනවද නැත්නම් කවුරුහරි කිව්වද? 

සචින් අයියා: අපිට මේ ගමනට එකතු වෙන්න කියලා කතා කළේ සමිතාගේ යාලුවෙක්. ඒ යාලුවගේ අයියා වෘත්තියෙන් මෘදුකාංග ඉංජිනේරුවෙකු වන හර්ෂණ විජේතුංග අයියා. එයා මාතලේම ඉන්න කෙනෙක්. එයා සෙම්බුවත්තට කිහිපසැරයක් ම ගිහින් තිබුණු ඒ පැත්ත ගැන හොඳටම දන්න අයියා කෙනෙක්. ඒ දෙන්නා තමයි අපිට එකතු වෙන්න කියලා කිව්වේ. 

සමිතා: ඒ photos දැකලා සහ internet එකෙන් තවත් හොයලා බැලුවම මාර ලස්සන තැනක් කියලා දැක්කා. ඒ නිසා යන්න ආසම හිතුනා. ඉතින් අපි කොහොමහරි ඒ දෙන්නත් එක්ක යන්න plan කරගත්තා. අනික සචින් අයියත් සෙම්බුවත්තට කලින් ගිහින් තිබුණා. හර්ෂණ අයියත් ඒ පළාත ගැන හොඳටම දන්නවනේ. ඉතින් ඒ දෙන්නත් කියපු දේවල් එක්ක නොයා ඉන්නම බැරි වුණා…

ඒ කියන්නේ යන්නත් කලින් අහපු දැකපු දේවල් වලින් හිත වශී වෙන තැනක්. 
හරි, ඉතින් ඔයාලා කොහොමද ගියේ? බස් එකේ ද train එකේ ද? කොහෙ ඉඳන්ද ගමන පටන් ගත්තේ? 

සමිතා: අපි මේ ගමන දාගත්තේ මේ කොරෝනා වසංගතය චුට්ටක් අඩු වෙච්ච කාලේ. Train එකේ යන්න තමයි හිටියේ. ඒත් ඒ වෙනකොට දුරට train bookings තිබ්බේ නෑ. Station එකෙන් එහෙම තමයි කිව්වෙ. ඒ නිසා අපි bus එකේ ගියේ. Intercity එහෙක. කොළඹ ඉඳන්. 

සචින් අයියා: ඔව්, නුවරට වෙනකන් ගියේ බස් එකේ. එතන ඉඳන් හර්ෂණ අයියගේ කාර් එකේ තමයි සෙම්බුවත්තට ගියේ. 
එහෙනම් එච්ව්ර වෙහෙසකර ගමනක් නෙමෙයි. 

එතකොට train එකේ එනව නම් නුවරින් ද බහින්න ඕනි නැත්නම් වෙනත් station එකකින්ද?

සචින් අයියා: ඔව් හර්ෂණ අයියා කියපු විදියට ඒත් බහින්න ඕනි නුවරින්ම තමයි. නුවරින් බැහැලා බස් එකේ ඇල්කඩුවට යන්න ඕනි. ඇල්කඩුව ඉදන් සෙම්බුවත්තට බස් එක නිතරම නෑ. ත්‍රීවීල් එහෙක තමයි එතන ඉඳන් යන්න වෙන්නේ. 

හොඳයි. එතකොට මේ සෙම්බුවත්තට යන අතරතුර විඳපු හෝ දැකපු විශේෂ සිදුවීම් තියෙනවද? 

සචින් අයියා: දැකීමෙන් තමයි ගොඩක්ම වින්ඳෙ. ඇත්තටම වටපිට පරිසරය මාර ලස්සනයි. කඳු, තේ වතු, සම්පූර්ණයෙන් ම කොළ පාටින් කරපු නිර්මාණයක් වගේ… ගස් කොළන් වලින් හැදිලා තියෙන ඒ වටපිටාවෙ ලස්සන වචන වලින් විස්තර කරන්න බැරි තරම්. දොළ පාරවල් 10කට වඩා හම්බෙනවා.

සමිතා: ඇයි අර ත්‍රිවීල් case එක. දැන් අපි ගියේ කාර් එකේ නේ. සෙම්බුවත්තට හැරෙන තැන තියෙනවා ත්‍රීවීල් park එකක් එතනින් මිනිස්සුන්ව රවට්ටනවා. එතනින් කිව්වා, මහත්තයෝ මෙතනින් එහාට කාර් එකේ යන්න බෑ, buffer ගැලවිලා බිම තියෙයි කිව්වා. රුපියල් 1000ක් දීලා ත්‍රීවීල් එකේ තමයි යන්නේ කිව්වා. ඇත්තටම නොදන්න අය නම් රැවටිලා යනවා ඇති. හර්ෂණ අයියා, හරි කමක් නෑ කියලා කාර් එකේම ගියා. එයා දන්නවානේ ඉතින් හොඳ වෙලාවට. ඒ පාර ගොඩක් දුරට හදලා තියෙන්නේ. තැන් දෙකක් තුනක් විතර තිබ්බා ඒ තැන් වලින් හිමීට ගියා. Buffer එක වැදුනෙම නෑ. කිලෝමීටර් 3ක් වගේ තිබ්බේ එතන ඉඳන්. ඒ වගේ පුංචි දුරකට මිනිස්සුන්ව රවට්ටලා එච්චර ලොකු ගණන් ගන්න එක ගොඩක් වැරදියි. 

ඔව් ඇත්තටම ඒ වගේ අසාධාරණ විදියට හම්බ කරන අයත් ඕනෑතරම් හමුවෙනවා. අත්දැකීම් බහුල වෙනකොට අපි රැවටෙනවා අඩුයි. ඔන්න දැන් ඉතින් අපේ රූ ධාරා පාඨක පිරිස නම් එතනදී රැවටෙන්නේ නැතුව යාවි අනිවාරෙන්. 
හරි අපි කොහොමහරි අපේ ගමනාන්තයට ළඟා වුණා දැන්. එහෙම නේද? 

සචින් අයියා: ඔව්, අපේ ගමනාන්තයේදී මුලින්ම අපිට හම්බවෙන්නේ තේ කර්මාන්තශාලාවක්. ඊට පස්සේ සෙම්බුවත්ත වැව තියෙනවා. එහා පැත්තෙන් පයිනස් වනාන්තරයක් තියෙනවා. ස්වාභාවික පිහිනුම් තටාකයක් තියෙනවා. අනිත් පැති වල සම්පූර්ණයෙන්ම තියෙන්නේ තේ වතු. පුංචි hut වගේ ඒවා තියෙනවා සම්පුර්ණයෙන් ම ස්වාභාවික දේවල් වලින් හදපු. 

සමිතා: සීතලයි වතුර එහෙම. පාරාදීසෙකට ආවා වගේ. විවේක සුවයෙන් සොබාදහම විඳින්න කියාපු තැන.

ඔයාලා කියද්දි අපිටත් එ සිසිලස දැනෙනවා වගේ… 
එතකොට මේ සෙම්බුවත්ත හැදුනෙ කොහොමද? මොනා හරි නිදන් කතා ගැන එහෙම දැනගන්න ලැබුනද? 

සචින් අයියා: ඔව්, අනිවාරෙන්. හර්ෂණ අයියා තමයි මේ සේරම අපිට කියාදුන්නේ ඇත්තටම. සෙම්බුවත්තේ, මේ තියෙන කිසිම දෙයක් ස්වාභාවික දේවල් නෙමෙයි. එක මනුස්සයෙක් හදපු දේවල් තමයිලු මේ සේරම. ඒ සෙම්බුවත්ත වැව තිබුණු තැන කලින් තිබිලා තියෙන්නෙ පෝලෝ ක්‍රීඩාංගනයක්. ඒක වැවක් කරලා ඒ හැමදේම ලස්සනට හදලා තියෙන්නේ රැඩ්ලි දිසාගේ කියන මහත්මයා. ඔහු රජයේ සේවකයෙක්. දැන් ඒ අහල පහළ ගම් වලට ජලය සහ විදුලිය සැපයෙන්නේ ඒ වැවෙන්ලු. වැවට කලින් පුංචි දියඇල්ලක් එහෙමත් හම්බෙනවා. ඒක පවා හදපු එකක්ලු. 

සමිතා: මේ සෙම්බුවත්තේ මිනිරන් එක්ක වතුර මතුවෙන උල්පතක් තියෙනවලු. ඒක බලන්න යන්න නම් අමාරුයි කිව්වා. ඉස්සර කාලෙක එතනින් රත්තරන් සෙම්බුවක් මතුවෙලා තියෙනවලු. ඒ නිසා මෙතෙන්ට සෙම්බුවත්ත කියලා නම දැම්මා කියලා තමයි ලු මිනිස්සු විශ්වාස කරන්නේ.

තනි මිනිසෙක් විසින් තනන ලද පාරාදීසයක් තමයි එහෙනම් මේ සෙම්බුවත්ත කියන්නේ. අපේ පුංචි දේශයේ මහිමය ලොවටම පෙන්නන්න පුලුවන් විදියට ඒ තරම් ලස්සනට ඒ මහත්මයා මේ ස්ථානය නිර්මාණය කරලා තියෙනවා. ඉතින් රැඩ්ලි දිසාගේ මහත්මයාට අපි අනිවාරෙන් කෘතඥ විය යුතුයි. 

ඉතින් එදා සෙම්බුවත්තේ ඔයාලා දවස ගෙවපු විදිය ගැන අපිට චුට්ටක් විස්තර කරන්නකෝ…

සමිතා: මුලින්ම ටිකට් ගන්න ඕනි. එක්කෙනෙක්ට රුපියල් 250ක මුදලක් ගන්නවා. ඒ කොරෝනා අඩු වෙච්ච කාලේ නිසා NIC නොම්බර, ගෙදර ලිපිනය වගේ විස්තර එහෙමත් ගත්තා. සෙම්බුවත්තේ ජලයේ සීතල මුලින්ම දැනුනේ අත හෝදද්දි. සෞඛ්‍ය නීතිරීති වලට අනුව අත් සෝදලා යන්න ඕනි නේ. අම්මෝ… deep freezer එකෙන් වතුර අරන් අත් හේදුවා වගේ. ඒ සීතලට මට නම් ඇත්තටම නාන්න හිතුනා. ඒත් අපි එදා නාන්න සූදානම් වෙලා ගියෙ නැති නිසා ඒ බලාපොරොත්තුව අත්හැරගන්න වුණා. අපරාදෙ!

සචින් අයියා: අපි යද්දි දවල් 1.30 ට විතර ඇති. ඒ වෙලාවේ නම් මීදුම් ගතිය වැඩිය තිබ්බේ නෑ. ඒත් හර්ෂණ අයියා කීවා හුඟක් වෙලාවට මෙහෙ මීදුමෙන් වැහිලා තියෙන්නේ කියලා. සෙම්බුවත්ත වැව වටේට ඇවිදින්න තියෙනවා. අපි ඉතින් මදි නොකියන්න photo ගගහා ඇවිද්දා. ඇත්තටම අපිට කාලය මදි වුණා. හවස 3.00 විතර වෙද්දි වහින්න ගත්තා. අම්මෝ එතකොට තමයි නියම feeling එක ඇඟට දැනුනේ. අර ඉස්සෙල්ලා පැහැදිලිව පෙනුන වටපිටාව සම්පූර්ණයෙන් මීදුමෙන් වැහුනා. නිකන් වළාකුළක ඉන්නවා වගේ දැන්. වැස්සත් නැවතුනේ නෑ…  අපි වැව වටේටම අවිදගෙන ගියා. තේ වතු පැත්තේ නම් යන්න බැරි වුණා කාලය මදි නිසා. 

සමිතා: වැස්සයි සීතලයි එක්කම කූඩැල්ලො ටිකක් ක්‍රියාත්මක වුණා. එක්කෙනෙක් මගෙ ඇඟේ නැග්ගත් එක්ක. ඒත් වෙලාවට බරපතල තත්වයක් නම් ඇති වුණේ නෑ. ඒ නිසා යද්දි කූඩැල්ලන්ගෙන් ටිකක් පරිස්සම් වෙන්න ඕනි. 

ඔව් අර මං මුලින් සඳහන් කරපු සෙම්බුවත්තේ ඉන්න පුංචි ත්‍රාසයෙක් දෙන සත්වයා තමයි කූඩැල්ලා. 
හොඳයි. ඉස්සෙල්ලා ඔයාලා සඳහන් කළා ස්වාභාවික පිහිනුම් තටාකයක් ගැන. මොකද්ද ඒ? සාමාන්‍ය පිහිනුම් තටාකෙකට වඩා ඒකේ තියෙන වෙනස මොකක්ද? 

සචින් අයියා: ඔව්, දොළ පාරකින් තමයි මේ තටාකෙට වතුර පිරෙන්නේ. ඒ වගේම තටාකෙන් ආයේ වතුර ගලාගෙනත් යනවා. ඉතින් දොළ පාර අතරමැදින් තමයි මේ තටාකය නිර්මාණය කරලා තියෙන්නේ. ස්වාභාවිකවම මේක පිරිසිදු වෙන නිසා මේකට ස්වාභාවික පිහිනුම් තටාකයක් කියලා කියනවා. 

මං හිතන්නේ අපේ ලංකාව පුරාවටම ස්වාභාවික පිහිනුම් තටාක තියෙන්නේ මේ සෙම්බුවත්තේ විතරයි. 
එතකොට වෙනත් පහසුකම් මොනවද එහෙ තිබුණු?

සමිතා: පිහිනුම් තටාකය ළඟින්ම changing room කියල පොල් අතු වලින් ලස්සනට හදපු hut එකක් තියෙනවා. තව hut දෙක තුනක් ම තිබ්බා. ඒවා ඇතුළට වෙලා වටපිටාව බලන් ඉන්න එක කොච්චර වෙලා ගියත් එපා වෙන්නෙ නැති දෙයක්. හංස බෝට්ටු පදින්න තියෙනවා. එක්කෙනෙක්ට රුපියල් 250ක මුදලක් ගන්නවා. 

සචින් අයියා: එදා නම් සෙනඟ හුඟක්ම අඩු දවසක්. නැත්නම් හර්ෂණ අයියා කිව්වා පාසල් වලින් campus වලින් සහ තවත් අර නායකත්ව පුහුණු වැඩසටහන් වගේ දේවල් වලට නිතරම තෝරගන්න තැනක් කියලා. රාත්‍රිය ගතකරන්නත් පහසුකම් තියෙනවා. ආහාර හැමදේම සපයනවා. ඇත්තටම වරදක් ඇත්තෙම නැති තරම්. අපිට අවශ්‍ය හැම පහසුකමක් ම ලස්සනට සපයලා තියෙනවා.

සොබා දහමට හානියක් නොවන විදියට සොබාදහම විඳ ඉන් ප්‍රයෝජන ගත හැකි තැනකට හොඳම උදාහරණයක් තමයි මං හිතන විදියට සෙම්බුවත්ත කියන්නේ. 

අපේ සීතල කතා බහේ අවසානයටම වගේ ඇවිත් ඉන්නේ දැන් නම්. ඉතින් අවසාන වශයෙන් සෙම්බුවත්තට එන්න බලන් ඉන්න අපේ පාඨකයින්ට කියන්න දෙයක් තියෙනවද? 

සචින් අයියා: මං හිතන්නේ සෙම්බුවත්තට එනවා නම් දවසම ගත කරන්න පුලුවන් විදියට කාලය හදාගෙන එන්න ඕන. එතකොට තමයි සුන්දරත්වය හොඳින්ම විඳින්න පුලුවන්. වයස් භේදයක් නෑ. ඕනම කෙනෙක්ට ලේසියෙන්ම ඇවිත් විවේකී සුවයෙන් ඉන්න පුලුවන් තැනක්. පරිසරයට ආදරය කරන ඔබ නැරඹිය යුතුම තැනක්.

සමිතා: ඔව් ඇත්තටම හොඳට plan කරගෙන ඇවිත් අපි විඳපු ඒ අමතක නොවන අත්දැකීම් විඳින්න කියලා ඔයාලාටත් ආරාධනා කරනවා. 

හොඳයි බොහොම ස්තූතියි රූ ධාරා පාඨක පිරිස වෙනුවෙන් ඔබේ මතකයන් අපත් සමඟ බෙදාගත්තට. 

ඇත්තෙන්ම අප මුතු ධරණියේ සොබා ශ්‍රීය ගැන විස්තර කිරීම යනු නිමාවක් නොමැති කාර්‍යභාරයක්. එවන් සුන්දරත්වයකින් පොහොසත් වූ මේ පුංචි දිවයිනේ හිමිකරුවන් වීමට අප කෙතරම් නම් භාග්‍යවන්තද? සොබා මාතාවගේ නිර්මාණ කැටි කරගෙන එක් පුංචි මිනිසෙකු එතරම් අපූරු සෙම්බුවත්ත නිර්මාණය කළේ නම් අපට තවත් කෙතරම් දෑ කළ හැකිද? ඒ පිළිබඳව සිතන්න. තවත් සුන්දර මතක ගඟුලක දොරගුළු හරින්නට පෙර ඇති සතියක විරාමය අතරතුර. 

මේ… 
මුතු ධරණියේ සැඟවුණු සොබා ශ්‍රී සොයා යන 
Colombo Beacon අපේ…  
රූ ධාරා…

 

විශේෂ ස්තූතිය:

  • සචින් ප්‍රසන්න
  • සමිතා නේරංජනී

සේයා රූ:

  • හර්ෂණ විජේතුංග 
Photo editting by : Dilanga Harshani
 
Design by : Nisal Vimukthi

 

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

අමෝධා සචිකො

විද්‍යා පීඨය - දෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment