“අසංග: අර පේනවද? ඒ හන්තාන. අතන කැම්පස් එක. නුවර වැව අතන. එතකොට අර කන්දෙන් එහා පැත්තේ රිවස්ටන්. ඒ තමයි අපේ ජිවිත දරා ගෙන ඉන්න ලෝකය.
ජෙරම්: ඔයාගෙයි චාරුගෙයි ද?
අසංග: අපි දෙන්න විතරක් වුණා නම් කොච්චර හොඳ ද…”
ඔව්. සැබවින්ම මෙය නුවර කතාවක්. විරහවේ අන්තයටම ලියවුණු කතාවක්. කෙසේ වුව ද ටෙලිය පුරාවටම ප්‍රේමයෙහි සියුම් තැන ස්පර්ශ කරමින්, ප්‍රේමය නිර්වචන කළ කතාවකි. ප්‍රේමය නුවරක් ලෙස දුටු අයෙකුට උපරිම රසවිඳිය හැකි නිර්මාණයක් ලෙස නිර්වචනය කිරීම වඩාත් සුදුසු ය.
කොළඹ පාසලක ඉගෙන උසස් පෙළ නිමා කර නුවරට පැමිණෙන ඇය නමින් චාරුලතා ඇල්ලේපොල විය. ඇයගේ පියා විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙක් වන අතර මව ලේඛිකාවකි. ජිවිතයේ ඒ මොහොත උපරිමයෙන්ම විඳිමින්, තම සගයින් සමඟ රගර් ක්‍රීඩාවෙහි නිරත වෙමින් කාලය ගත කරන ඔහු, අසංග ය.
කොළඹ සිට තම පියා සමඟ ගම බලා පැමිණෙන චරු ට අසංගව හමුවන්නේ අහම්බෙනි. අහම්බයකින් නෙත ගැටෙන චාරු කෙරෙහි අසංගගේ හිත බැඳෙන්නේ කාලාන්තරයක් දන්නා හඳුනන අයෙකු ලෙසය. චාරු පිලිබඳ තොරතුරු සොයා දීමට මුලික අඩිතාලම දමන්නේ තම මිතුරන්ය. දෙවන වර උසස් පෙළ විභාගය සඳහා ටියුෂන් යන අතරතුර නුවර වැව රවුම අසල දී ඔවුන් දෙදෙනා මුල්වතාවට හමු වී කතා බහ කරයි. ටියුෂන් මගහරිමින් තම පියා දැඩිව බැඳ තිබු රැහැන් වලින් මිදෙමින් ඔවුන් වැව රවුම ළඟ දී හමු වී තම මිතුරන් සිටින රගර් පිටියට යයි.
“චාරු: උඩ බලන්න.
අසංග: මොනවා ද?
චාරු: අහස. ලස්සනයි නේද?
අසංග: හැමදාම දකින අහස.
චාරු: අද වෙනස් මට නම්.”
සැබවින්ම ආදරය කිරීමට පටන් ගන්නා අවධිය තුළ තම පෙම්වතිය හෝ පෙම්වතා ළඟ සිටින විට තම සිටින්නේ කුමන මට්ටමක ස්ථානයක වුව ද සියල්ල සුන්දරය, සියල්ල මනස්කාන්ත ය. හැමදාම දකින පෙනෙන දේවල් වුව ද වෙනස් අයුරින්, වෙනදා නොමැති අලංකාරයකින් දිස් වනු ඇත. එබැවින් නිතැතින්ම ලස්සන නුවර අහස නව යොවුන් පෙම්වතුන්ට කෙතරම් මනස්කාන්ත දසුනක් විය යුතු ද?
“අසංග: ඔයාව ඉස්සෙල්ලම දැක්ක දවසේ හිතිච්ච දේ දන්නවද? ඒක මට තවම වචන වලින් කියන්න බෑ.”
කියාගන්න බැරි වූ හැඟීම් තුළ ආදරණිය මතක ආවර්ජනය, ප්‍රේමයෙහි සුන්දරම කොටසකි. තම පියාගේ දෑස් වලට වහන් වෙමින් මේ සම්බන්ධය ඉදිරියට රැගෙන යන්නේ, චාරු නිවසට කිව යුතු විශාලම බොරු රැසක් ගොතමිනි. අවසානයේ තම පියාගේ අතටම හසු වීමත් සමඟම තම මව පියා ද, නැතිනම් අසංගව ද යන්න තීරණයක් ගැනීමේ දී වඩාත් ඉහළ මට්ටමකින් ඇය තම මව පියා සමඟ ඇති බැඳීමට ඉඩක් ලැබෙනු ඇත. එය එසේ වීමට මව්පියන්ගේ බලපෑම මෙන්ම ප්‍රභල ලෙස තම වැඩිමහල් සහෝදරිය දෙමවුපියන්ට අකීකරු වී හිතුවක්කාර විවාහයක් කරගැනීම හේතු වෙයි.
චාරුගේ මව තව පියාට වඩා හාත්පස වෙනස් චරිතයකි. ඇය තම දරුවන්ගේ හිත හොඳින් හඳුනා ගත් අයෙකි. ඇය තම ශරීරය රෝද පුටුවකට සීමා කළ ද ඇය දරුවන්ගේ ආත්මය පුරා සැරිසැරිය හැකි මවකි. ඇය චාරුගේ හිත පෙර කියවීමක් සිදු කළා සේ සැමවිටම චාරුට තම අක්කා සිදු කළ ක්‍රියාව නොකරන ලෙස මතක් කර දෙයි.
“මට බයයි මම ආයේ තනි වෙයි කියලා. ඉස්සර මම ලියන ඒවා කියෙව්වේ අක්ක ඉස්සරහ.”
මව තම සාහිත්‍ය ඇසුරෙන් පවා චාරු හට උපදෙස් ලබා දෙන්නේ හිතුවක්කාරකම් නොකරන ලෙසත්, ජීවිතය ඇය සතු වුවත් දරුවන්ගේ හෙට දවස උදෙසා නිවැරදි තීරණ ගැනීමට දෙමවුපියන්ට අයිතිය ඇති බවත් පවසමිනි.
“ඔබේ දරුවෝ ඔබේ දරුවෝ නොවෙති.
ඔවුහු ඔබ මතින් එති.
එහෙත් ඔබගෙන් එන්නෝ නොවෙති.
ඔවුහු ඔබ සමඟ වෙසෙති.
එහෙත් ඔවුන් ඔබට අයිති නැත.
ඔබට ඔබේ අදහස් නොව, ඔබේ ආදරය ඔවුන්ට දිය හැක.
මක්නිසාදයත්,
ඔවුන්ගේම අදහස් ඔවුන්ට ඇති හෙයිනි.
ඔවුන්ගේ ආත්ම නොව, ඔවුන්ගේ ශරීර ඔබගේ ගෙයි රඳවා ගන්න.”
මේ අයුරින් දරුවන් සහ දෙමවුපියන් අතර තිබිය යුතු සම්බන්ධය හා සිමාවන් චාරුලතාට පහදා දෙන ඇය නිහඬ චරිතයකි. තම දරුවන් දෙමවුපියන්ට ගෙයක සිරකර තැබීමට අවසර නැති බවත්, ඔවුන්ගේ ආත්මය තුළට තමාගේ අදහස් මුසු කිරීමට අයිතියක් නැති බවත් හඟවන මව නැවතත් පවසන්නේ එනමුත් දරුවන්ගේ හෙට දවසේ සුබසිද්ධිය උදෙසා ඔවුනට නීති රැහැන් දැමීමට දෙමවුපියන්ට අයිතිය ඇති බවයි.
සෑම ආදර කතාවක මෙන්ම අසංග චාරු ආදර කතාවට ද විරහවේ පළමු පියවර තැබෙන්නේ චාරුගේ පියා අසංගගේ පවුලේ තොරතුරු සොයාගැනීමත් සමඟම ය. පවුල් වාදය, උඩරට වලව් පැලැන්තිය, කුලය ආදී කරුණු මතින් ගමන් කරන චාරුගේ පියා විශ්ව විද්‍යාල මහාචාර්ය වරයෙකු වූව ද යල් පැන ගිය අදහස් මත තවමත් ජිවත් වන්නෙකි. කලකට ඉහතදී ඔහුගේ සහ අමන්දාගේ පාසල් වියෙහි තිබු ආදර සම්බන්ධය නැවතීමට ද හේතු වූ ඒ කරුණම අද අසංග චාරු ගේ ප්‍රේමයෙහි විසකටුව වී හමාරය.
“උගේ තාත්තා පහත රටින් ආව සීටීබී බස් ඩ්‍රයිවර් කෙනෙක්. අම්මගේ පවුල් පරිසරයෙත් එහෙම එකක් නෑ.”
සැබවින්ම මේ වන විට නැගී ඇති විශාලම ප්‍රශ්නය ආදරයේ දී අසංග හා චාරුගේ සිතුවිලි ගැළපෙනවා ද වත් ඔවුන් ආදරය කරනවා ද වත් යන්න පිළිබඳ නොව, පන්ති ගැටලුවයි.
මේ සියලු ප්‍රශ්න අතරමැද තාවකාලික විසඳුම් සොයනු ලබන්නේ අමන්දා තුලිනි. ඇය සංගීතවේදිනියකි. මහාචාර්ය ඇල්ලේපොලගේ පාසල් ප්‍රේමය යි. ඇය පිලික රෝගයකින් පෙළෙන අතරත්, තමාට හැකි උපරිමයටත් වඩා අසංග චාරු වෙනුවෙන් උදවු කරන්නේ තම ලද ඒ අත්දැකීම් ඔවුන්ට ලබා නොදීමට ය.
මා පෙර කියූ පරිදි අසංග යනු, ඒ මොහොතේ ජීවිතය විඳින අයෙකි. ඔහුට පැහැදිලි අනාගත සැලසුමක් චාරු සමඟ සම්බන්ධය පටන් ගත් පසුවවත් තිබුණේ නැත. ඔහු දන්නා එකම කරුණ නම් ඔහු චාරුට බොහෝ සෙයින් ආදරය කරන බවම පමණි. අවස්ථා කීපයකදී ම චාරු ඔහුට රැකියාවක් සොයා ගන්න ලෙස පැවසුවා ද ඔහු එයට උත්සහ කිරීමක් සිදු නොකරයි. මව පියා සියල්ල අමතක කොට “අපි බඳිමු ද?” යයි චාරු කීප වරක්ම අසංගගෙන් විමසුවත් ඇයටම අසංග තවමත් එයට සුදානමින් නොමැති බව පෙනී යයි. අසංග වෙනුවෙන් තම එකම හීනය වූ කැම්පස් යාම පවා නතර කිරීමට වරක් පෙළඹෙන්නේ තමා අසංගගේ මට්ටමට ගළපා ගැනීමටය.
“අසංග: ආදරේ පටන් ගත්ත ගමන් නීති ද?
චාරු: නීති නැතුව ආදරේ කරන බෑ.
අසංග: දන්නවද, ආදරේට නීති නෑ.”
චාරු මුළු ආත්මයෙන්ම උත්සහ කරන්නේ අසංග කෙසේ හෝ විවාහ වීමට තමාට සුදුසු මට්ටමකට පරිවර්තනය කර ගැනීමට ය. එහිදී ඇය ඉල්ලන්නේ ඔහුගෙන් රැකියාවක් සොයාගැනීම පමණි. නමුත් ඔහු එයට උනන්දුවක් දක්වන්නේ නැත.
රජරට විශ්ව විද්‍යාලයට තේරී පත්වන චාරු අතුල නම් තම පියාගේ ගෝලයෙකු හට භාර දී ඔහුගේ විවාහ යෝජනාවට ද චාරුගේ නිවසින් කැමැත්ත පල කර සිටියි. රජරට විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් වන ඔහු චාරුගේ පියාට අවැසි අයුරින්ම වලව් පැලැන්තියේ අයෙකි. බුද්ධිමත් අයෙකි. තම පියාට වසන් වී අසංග හමු වූ ඇයට දැන් අතුලට ද හොරෙන් හමු වීමට සිදු වී ඇත.
අතුලගේ නොමනා කලකිරියව මුල සිටම හොඳින්ම දන්නා චාරු ඔහුට බිඳක්වත් කැමැත්තක් දක්වන්නේ නැත. නමුත් ඔහුට ස්ත්‍රීන්ගේ සිත් ආකර්ෂණය කරගෙන මනා පළපුරුද්දක් ඇති හෙයින් චාරුගේ හිත ගැනීමට විවිධ වූ තෑගි බෝග ඇයට ලබා දෙයි.
අසංග චාරුගෙන් අපි බඳිමු යයි පැවසු විට ඇය දැන් පවසන්නේ “ප්‍රමාධ වැඩියි කියල හිතෙන්නේ නැද්ද?”ලෙසයි.
රජරට විශ්ව විද්‍යාලයේ ඒ පරිසරය, කැම්පස් ජීවිතය, ඊටත් වඩා චාරුට තිබු ලොකුම හීනය මේ සියල්ල ඇයගේ සිතුවිලි වෙනස් වීමට යම් බලපෑමක් කළා විය යුතුය. නමුත් අතුල එයට හේතුවක් නොවේ. මන්දයත් ඇය ආදරය කළේ අසංගටම පමණි.
කෙසේ නමුත් තම මවුපියන්ට ඉතිරි දුවවත් අහිමි නොවිය යුතුය යන මතය ඇගේ සිත තුළ ඉහළින්ම තිබුවක් නිසා අතුල සමඟ විවාහ වී අසංගට දුන් වේදනාව තමාම විඳවීම යහපත් බව ඇගේ අවසාන තීරණය විය.
“අසංග: කැම්පස් ගියාම ගමේ කොල්ලව අමතක කරනවලු.
චාරු: හැමෝම?
අසංග: නෑ හුඟ දෙනෙක්.
චාරු: මම එහෙම නොකරන ටික දෙනාගෙන් කෙනෙක්.”
“අසංග: අමතක වෙයිද කැම්පස් ආවම?
චාරු: පිස්සුද? මගේ නම චාරුලතා.”
සරසවියට යාමට පෙර මෙලෙස ඔවුන් දෙදෙනා කියූ කතා අසංගට නැවත නැවත රැව්පිළිරැව් දෙන්නට ඇත. නුවර නගරයෙහි නිස්කලංක සුන්දරම තැන එකක්වත් මග නොහැර ඔවුන් යන්නට ඇත. මේ සියල්ල දර ගැනීමට නොහැකි වූ කළ අසංග චාරුව මැරීම සඳහා ඇයව සොයා රජරටට යයි.
එහි දී ද බොළඳ පෙම්වතෙකු සේ චාරු ඉදිරියේ හඬා වැටෙන ඔහු අවසන් වරටත් ඔහු සමඟ පැමිණෙන ලෙස පැවසුව ද ඇය ඊට එකඟ නොවෙයි. දැන් ඇය තම දෙමවුපියන්ගේ කීමට පිටින් යාමට සුදානමක් ඇත්තේම නැත. අවසන් තීරණය ඇය ගෙන අවසන්ය. එහි දී අසංග පිහියකින් ඇණ චාරුව මරා දැමීමට උත්සහ කළත් ඔහුට එය කිරීමට ශක්තියක් නැත. ඊට වඩා ආදරය ප්‍රභලය.
ආදරය සහ වෛරය අතර පරතරය කෙස් ගසක් යන යෙදුමෙහි තර්කය බිඳ දැමු කතාවක් ලෙස මා මෙම අවස්ථාව හැඳින්වීමට කැමතිය. මන්දයත් සැබෑ ආදරයක් ළඟ පිහි ඇනුමකින් හෝ වෙනයම් ආකාරයකින් හැර ගිය ප්‍රේමය මරා දැමීමට හැකියාවක් තිබිය නොහැකිය. මන්දයත් ප්‍රේමය උපදින නමුත් ප්‍රේමයට මිය යාමක් නොමැත. කලකට ඉහතදී ඇති වූ ප්‍රේමයක් කල් යාමත් සමඟ මියැදීමට කෙලෙසවත් ඉඩක් නැත. මියැදෙන්නේ අයිති කරගැනීමට තිබු ආශාවක් පමණි.
“ප්‍රේමය කාවවත් අයිති කරගන්නේ නැහැ මහත්තයා. ඇයි දන්නවද? ප්‍රේමය කාටවත් අයිති කරගන්න බැරි හන්දා. ප්‍රේමය අයිති ප්‍රේමයටම විතරයි. ප්‍රේම කරන්න ඕනේ බාධාවක් නොවෙන විදිහට. මෙතන ඉඳලා වැවට පනින්න හිතන්න එපා. අඬලා දුක තුනී කරගෙන ගෙදර යන්න.”
ආදරයෙහි සියුම් තැන ස්පර්ශ කරමින් විරහව කතාව පුරාවටම විසිරුවමින් අසංග චාරු මෙම කතාවට පුර්ණ වශයෙන් සාධාරණයක් සිදු කරයි.
අසංගට චාරුවවත්, අසංගවත් මැරිය නොහැකි බව තේරුම් ගෙන ඔහු මේ වේදනාවෙන් පලා යාමට තීරණය කරයි. තම ජීවිතය නැති කර නොගැනීමට, වැටෙන සෑම තැනක දී ම ඔහුට ශක්තියක් වන්නේ අමන්දා සහ සිරිලාල් යන දෙපලයි.
“අමන්දා: කෝ ඔය මට පෙන්නුවේ නැනේ.
අසංග: ඒක විසි කළා.
අමන්දා: ගඟට විසි කළේ පිහිය විතරද?
අසංග: නෑ. අතීතයම.”
අතීතයෙහි චාරු සමඟ තිබු සුන්දර මතක, වේදනා සියල්ල රජරට විශ්ව විද්‍යාලයේ සිට එන අතරතුර ගඟට විසි කරනේ ඒ සියලු බර හිත තුළ තවත් තබා ගත නොහැකි තරම් වේදනාකාරී වූ බැවිනි. අසංග නුවර නගරය අතහැර, රට අතහැර යාමට තීරණය කරන්නේ මේ නගරය සතු සුළං රැල්ලේ පවා ඔහුට චාරුගේ මතකයන් රැඳී ඇති බැවිනි.
මේ අතරතුර w. ජයසිරි පද රචනයෙන් කසුන් කල්හාරගේම සංගීත අධ්‍යක්ෂණයෙන්, ඔහුගේම හඬින් වැයෙන සුළඟ මත මොහොතක් ටෙලිවෘතාන්තයේ ගීතය පිළිබඳව කතා නොකරම බැරිය.
“හාංකවිසියක
රැලි නගයි සුසුම
ගහ කොළ මල වැල
දවටා දොම්නස
සුළඟට සැරසී…
යලිදු පණ වෙවූලූවයි…”
සැබවින්ම සුළඟ ආදරණීයයන් වගෙයි. සුළඟ මත ඇති ඕනෑම දෙයක් ඕනෑම මොහොතක කොහේ හෝ පාවී යා හැකිය. නිදහස අප්‍රමානයි. ඇතැම්විට අනපේක්ෂිත ලෙස ඈතට යාමට සිදු විය හැකියි. ඒ ගමන අතරතුර ඇති වූ ආදරයක් යම් ස්ථානයක දී නැති වේ යැයි සිතීම අපහසුය. එබැවින් හිමි වූව ද අහිමි වුවද ආදරයට මියදීමක් නොමැත.
මෙලෙස වෙන්වෙන ඔවුන් වසර ගණනාවකට පසුත් ආපසු හමුවන්නේ නුවර දී ම ය. ඒ පෙර කලක බොළඳ පෙම්වතුන් ලෙස නම් නොවේ. වගකීම් සහගත දෙමවුපියන් ලෙසය. චාරුගේ විවාහ ජිවිතයම අවුල් ජාලයක් වී ඇති අතර, අසංගව නැවත හමු වන දවසේ ඇය ද පිළිකා රෝගයෙන් පෙළෙන බව මුල් වරට දැන ගනියි. අසංගද දරුවන් සහිත පියෙකි.
අමන්දාගේ සොහොන් කොතට මල් තැබීමෙන් ආරම්භය ගන්න කතාවෙහි මුල මැද අග ගළපන්නේ මෙම කොටස තුළය.
“ආදර ගමන අපිට ඕන විදිහට පාලනය කරන්න බෑ. අපි ආදරේට සුදුසු නම් ආදරේ තමයි අපිව පාලනය කරන්නේ. අපි අපේ හදවත් ප්‍රේම කරන කෙනාට දෙන්න ඕනේ. හැබැයි අයිති කරගන්න නෙවෙයි.”
ඉතින් පැතූ ආදරය අයිති කරගත් සියල්ල ප්‍රේමයෙහි ජයග්‍රහකයින්ද? තරඟයක දී හැර හැඟීමක් තුළ ජය පරාජයක් තිබිය හැකිද? එදා අසංග චාරු එකතු වූවා යැයි කතාව අවසන් කළා නම් අද මෙලෙස විචාරණය කිරීමට තරම් හැඟීමක් රසික හදවත් තුළ ඇති වේවිද?
මෙවැනි නිර්වචන රාශියක් ඔස්සේ ප්‍රේමයෙහි විරහව, සතුට අර්ථ නිරූපනය කරන මෙම ටෙලිනාට්‍යය සැබවින්ම කවියක් වන් ටෙලියක් ලෙස හැඳින්වීම වඩාත් සුදුසු ය.
“අපි හරියට මීදුම වගේ.
සුළඟ වගේ.
මතකයේ අරුණාලෝකය තුළින් අපි නැවත එක්වෙමු.
එක් වී කතා කරමු.”
වසර ගණනකට පෙර නුවර වැව රවුම අසලදී හමු වී බැඳී ආදරය කළ දෙදෙනෙක් ජිවිතයේ වේදනාවන්, විප්‍රයෝගයන්ට මුහුණ දී වසර ගණනාවකට පසුව වේදනාවක් යයි පලා ගිය ඒ මහනුවර දී ම නැවතත් හමු වීම තරම් සුන්දර වේදනාව මුසු හැඟීමක් වෙන් වූවන්ට තිබිය හැකි ද?
ප්‍රේමයේ නගරය ලෙස හඳුන්වන නුවර පාදක කොට ගෙන ඉදිරිපත් කරන මෙම ටෙලි නාට්‍යය රුක්මල් නිරෝෂ්ගේ අධ්‍යක්ෂණයෙන් ද ප්‍රියංකර රත්නායකගේ රුපවාහිනී රචනයෙන් ද, වසන්ත බණ්ඩාරගේ නිෂ්පාදනයක් ලෙස වසර ගණනාවකටත් පෙර දිගහැරුණු මෙම ටෙලි නාට්‍යය අසංගගේ චරිතයට සාරංග දිසාසේකර ද චාරුලතාගේ චරිතයට තිසුරි යුවනිකා අතිසාර්ථක රංගනයක යෙදෙති. ඊට අමතරව අමන්දාගේ චරිතයට චාන්දනී සෙනවිරත්නත්, අතුලගේ චරිතයට බිමල් ජයකොඩි, චාරුගේ පියාගේ චරිතයට මහේන්ද්‍ර පෙරේරා ආදී තවත් චරිත කීපයක්ම අතුරු චරිත ලෙස නිර්මාණයේ සාර්ථකත්වයට උපරිම සාධාරණත්වයක් සිදු කරයි.
සැබවින්ම පසු කලෙක අපි වේදනාවන් ලෙස අර්ථ දක්වනු ලබන්නේ පෙර කාලයකට ඉහතදී අප විසින්ම සතුට යයි තෝරාගත් මාර්ගයන් නොවේ ද?
ඇතැම්විට ඔබත් මෙම කතාංගයේ එක්තරා චරිතයක් විය හැකියි. අසංගලා, චාරුලතාලා අපි වෙසෙන සමාජය තුළ අප්‍රමාණව සිටිය හැකිය. මහාචාර්ය ඇල්ලේපොල වැනි පවුල් වාදයෙන්, පන්ති වාදයෙන්, වල්ව් කාරකමින් යල්පැන ගිය අදහස් මගින් හිස පුරවා ගත් පුද්ගලයින් අදටත් බහුලය. සැබවින්ම චාරුගේ මව වැනි මවක් දියණියකට සිටීම වාසනාවකි. අදටත් අමන්දා සිරිලාල් වැනි නව අදහස් සමඟ ලෝකයාට ඕන විදිහට නොව, තමන්ගේ නිදහසේ ජිවත් වන පිරිස් දුලභය. සියලු බැඳීම් දෙස ඉතාම උපේක්ෂාවෙන් බලන ජෙරම් වැනි චරිත ඔබ මා අසල අදටත් සිටිය හැකි ය.
කතාංගය පුරාවටම ආරම්භක සංගීතයේ පටන්ම පරිසරයේ පවා හිත නිවනසුළු ස්වභාවය මෙම කතාවේ සියුම් තැන ස්පර්ශයට පිටුවහලක් වී ඇත. “සුළඟ මත මොහොතක්” සැබවින්ම කවියක් වන ටෙලියකි.
ප්‍රේමය යනු නිවීමකි. ඇවිලීමට හෝ අවුලවිමට ප්‍රේමය යයි නොකියමි. සැබවින්ම සුළඟ මත ඇති වස්තුවක් සේ ප්‍රේමය තුළ නිදහස තිබිය යුතුය. එය අවැසි තැනක සැරිසැරූව ද ප්‍රේමයේ නමට කිසිදු හානියක් නොවිය යුතුය. කොතැන, කෙසේ, කවුරුන් ළඟ සිටිය ද ප්‍රේමයට ඉපදීමක් හැර මිය යාමක් නොමැත.
Image Source –
Leave a Comment