ඒ 96 අවුරුද්දේ අප්‍රේල් මාසේ. දැන් කාලේ වගේ නෙවෙයි ඒ දවස් වල උසස් පෙළ තිබ්බේ අප්‍රේල් මාසේ. මට අවුරුදු 18ක් වෙලා ගෙවිලා තිබ්බෙත් මාස දෙකයි.
උසස් පෙළට වාඩි උනාට මොකද මම අම්මටත් හොරාට, හමුදාවට බැදෙන්න ඉල්ලුම්පතක් දැම්මේ මට හරියටම18ක් උන දවසේ.
ඒ වෙනකොට අපේ තාත්තයි ලොකු අයියයි නැති වෙලා අවුරුදු 5ක් විතර වෙනවා. ඒ දෙන්නා නැති උනා උනාම තමයි. අදටත් මොනවා උනාද දන්නේ නෑ. මාලු අල්ලන්න මුහුදට බෝට්ටුවෙන් ගියපු එයාලා ආපහු ආවේ නෑ. ඒ නිසා අල්ලපු ගමේ ගල් කොරියේ ගල් කූඩ කරගහන්න අම්මට යන්න උනා. අඟහිඟ කම් අහස උසට තිබ්බත් අපේ ජීවීත කොහොම හරි ගැටගහන්න අම්මට පුලුවන් උනා.
උසස් පෙළට ජීව විද්‍යා විශයන් කරපු නිසා අපේ අම්මගේ එකම බලාපොරොත්තුව වෙලා තිබුනෙ මම දොස්තර කෙනෙක් වෙන එක. ආ කියන්න අමතක උනානේ කොල්ලොම 6ක් හිටපු පවුලේ මම 2වෙනියා. රෑ දෙගොඩ ජාමයක් වෙනකම්, කුප්පි ලාම්පු එලියෙන් පාඩම් කරන දවස් වලට අම්මා තේ කහට හදන් ඇවිත් මගේ ඔලුව අතාගාලා කියන්නේ,
“චූටියෝ, උඹ දොස්තර කෙනෙක් වෙලා මල්ලිලාගේ අනාගතේට පාර හදපන් කියලා”
අම්මා එහෙම කිව්වට මට ඕන උනේ හමුදාවට බැදෙන්න. ඒ දවස් වල උතුරේ සැරටම යුද්ධය. හැමදාම රෑට කෑලී 4 රේඩීයෝ එක කරකවන්නෙ යුද්දේ අලුත්ම විස්තර දැනගන්න. ඒ තරමට මගේ ලේ අපේ රට බේරගන්න කකියනවා.
අම්මට නොකීවට මගේ එකම අරමුණ උනේ හමුදාවට බැදිලා කොටින්ට විරුද්ධව සටන් කරලා අපේ මේ රට බේරගන්න. ගෙදරින් එලියට ගියාම එනකම් විශ්වාසයක් නැතිව තිබුන ජීවත් වලට ජීවීතේ ගැන අලුත් බලාපොරොත්තු එක්කරන්න. නිකරුණේ ජීවීතේ නැති වෙන පුංචි මල් කැකුලු වල අනාගතේ සුරක්ෂිත කරන්න.
පොදු පරීක්ෂණේ ලියල ගෙදර එනකොටම,
“අන්න උඹට ලියුමක් ආවා” කියලා අම්මා නෝක්කාඩු මූණකින් කිව්වා.
අම්මගේ මූණ දකිනකොටම මට තේරුණා ඇවිත් තියෙන්නේ හමුදාවෙන් ලියුමක් කියලා. ලබන සතියේ පුහුණුවීම් වලට වාර්තා කරන්න කියලා ඒකේ තිබුනා. එදා අම්මා නොසෑහෙන්න ඇඩුවා.
අම්මට ටිකක් විස්තර කියලා තේරුම් කරාම ටිකක් කැමති උනත් එයාට හිත යට මන් ගැන බයක් තිබ්බා. ඒත් මගේ හිතේ ගැඹුරෙම අම්මගේ ආශිර්වාදය තියෙනවා නම් කිසිදේකට මම බය නෑ කියලත් අම්මා දන්නවා.
අනුරාධපුරයේ තිබ්බ මාස තුනක පුහුණුවීම් වලට පස්සේ අපිව කෙලින්ම දැම්මේ “ජයසිකුරු මෙහෙයුමේ” ඉදිරි ආරක්ෂක පවුරට. කිලිනොච්චිය කොටීන්ගෙන් බේරගන්න තමයි මේ මෙහුයම කරේ. පිටි පස්සෙන් එන පාබල හමුදාවට පාර පැහැදිලි කරලා දෙන එක තමයි අපි කරේ. ඇඟේ තිබුන තරුණ ජවයෙන් අපිට පුලුවන් උපරිමෙන් අපි පැවරිලා තිබුණ රාජකාරිය කරා. ඒ දවස් වල දරුණුවටම සටන් ඇවිලිලා. නින්දක් කියලා දෙයක් අපි දන්නේ නෑ. අපි නින්දකට වැටෙන විනාඩියට අපි ඔක්කොගෙම ජීවීත නැති වෙන්න පුලුවන්. කොටින්ගේ කඳවුරු බිඳගෙන අපි ඉස්සරහටම ගියා.
කිලිනොච්චිය ටව්න් එක පේන මානේට ගියාම තමයි තත්වය ගොඩාක් දරුණු උනේ. කොහොම උනත් අපිට ගෙදරින් එවන ලියුම් එහෙම ගුවනින් අපිට ලැබෙන්න කටයුතු යොදලා තිබුනා.
“සා.සේ පුශ්පකුමාරට ගෙදරින් ලියුමක්. ඉක්මනට ගිහින් අරන් එන්න.” අපේ මේජර් සර් කෑගහලා කිව්වා.
ගෙදරින් ලියුමක් එනවා කියන්නේ දිව්‍යලෝකයටත් වඩා දෙයක් ඒ දවස් වල. මම ගෙදරට ලියුම් ලීවේ බොහොම කලාතුරකින්.
වෙව්ලන අත් දෙකෙන් ලියුම අරන් කඩලා මුල් පේලි 3ක් කිවන්න උනා කියලා මට මතකයි.
“රත්තරං චූටීට,
පුතේ උඹට D4 යි, උඹ වෛද්‍ය විද්‍යාලෙට තේරිලා කියලා ඉස්කෝලේ මහත්තයා කීවා……………….”
ඉස්සරහ පැත්තෙන් වෙඩි සද්දෙත් එක්කම මහා ගින්දරක් පත්තු උනා.
ලියුම සාක්කුවේ දාගත්තු මම තුවක්කුව ගන්න මගේ මුරකුටිය පැත්තට දිව්වා.
ඒ වෙනකොටත් අපේ අයට ගොඩාක් ඩැමේජ්. ඉතුරු උන අයත් එක්ක අපිට පුලුවන් විදියට උන්ව නවත්තන්න බැලුවා. ඒත් ඒ උන්ගෙ මහා සේනාව නවත්තන්න අපිට පුලුවන් උනේ නෑ. ඇස් නිලංකාර වෙලා යන එලියක් එක්ක මහා සද්දයක් ආවා. මගෙ කලවා හරියෙන් පන නැතුව හිරි වැටිලා වගේ තිබුනා.
එච්චරයි මට මතක.
සිහිය එනකොට මන් හිටියේ අනුරාධපුර හමුදා රෝහලේ.
“මෙයා විතරයි ඉතුරු. ඔව් කෑම්ප් ටික බිමටම සමතලා වෙලා. බොඩීස් වල ගන්න දෙයක් නෑ. ඉතුරුවෙලා හිටිය අයගේ බොඩීස් කලම්බු යැව්වා සර්.”
ඒ සංවාදේ මට ලාවට ඇහුණා. මාව ප්ලේන් එකේ ජයවර්ධනපුර ඉස්පිරිතාලෙට යවනවා කියලා ඇහුනා.
කකුල් දෙකම දණහිසෙන් පල්ලෙහා කපන්න වෙනවා කියලා ඩොක්ට කෙනෙක් ලඟට ඇවිත් කිව්වා. ඒ කිව්ව දේ මට වැඩිය ගානක් නැති උනත් අඩන්න තරම් මගේ හිත සියුමැලි උනේ නෑ.
ජයවර්ධනපුර ඉස්පිරිතාලෙදි සිහිය එනකොට මගේ කකුල් දෙකම කපලා.
එක ඇහක් පේන්නෙත් නෑ. අම්මයි පොඩි මල්ලියි මන් ගාවට වෙලා හොදටම අඩනවා. මන් කිව්ව දේවල් එයාලට ඇහෙන්නෙ නෑ. මගේ කටින් වචන පිට වෙන්නෙත් නෑ. එයාලා අඩනවා දැකලා මට ඇඩෙන්න ආවත් අමාරුවෙන් මන් ඒක යටපත් කරගත්තා.
“මෙහෙම ගේන අයට බෙහෙත් කරන්න හිටපු උඹ නේද අද ඔහොම ඉන්නේ” කිය කිය අම්මා අඩනවා.
මාස 6කින් වගේ ගෙදර යන්න මට පුලුවන් උනා. ඒ රෝද පුටුවෙන්. ගෙදරින් කකුල් දෙකෙන් හිටගෙන ආව මම අද ගෙදරට යන්නේ කකුල් දෙකයි එක ඇහැකුයි නැතුව.
99 අවුරුද්දේ අන්තිම හරියෙදි අපි ජයසිකුරු මෙහෙයුම දින්න කියලා රේඩියෝ එකෙන් දැනගත්තා. කිලිනොච්චිය සම්පූර්ණයෙන්ම කොටින්ගෙන් බේරගත්තා කියලා ප්‍රවෘත්ති වලට කිව්වා. එදා මට මන් ගැනම ආඩම්බරයක් ජීවිතේ පලවෙනි වතාවට දැනුනා. මේ මහ පොලොවට මම තවත් ණය නෑ කියලා හිතුනා. ඒ නිදහසේ මමත් කොටස්කාරයෙක් නේද කියලා හිතුනා.
මෙහෙම රෝද පුටුව උඩට වෙලා ඉන්නකොට හරිම කම්මැලි. අපේ පාසිං අවුට් එකේදී අම්මත් එක්ක ගහපු පෝටෝ එක අතගාන එක තමයි මන් දවසෙම කරන්නේ. මගෙ මල්ලිලා ටික මාව හොදට බලාගන්නවා. අම්මටත් දැන් ගොඩාක් වයසයි. එයාලා තනියට මාත් එක්ක ඉන්නවා ඒක ලොකු හයියක් මට.
එදා අම්මා කියපු දේ කරා නම් මම අද දොස්තර කෙනෙක්. ඒත් මට මන් ගැන මෙච්චර ආඩම්බර වෙන්න පුලුවන් වෙන එකක් නෑ.
ඔව් මට දැන් නිදහසේ මැරෙන්න පුලුවන්. ඒ අඩ අඩ නෙවෙයි හිනාවෙලා.
අබ්බගාතයෙක් විදියටත් නෙවෙයි රටට අලුත් පනක් දුන්න වීර සෙබලෙක් විදියට….!
Leave a Comment