සරසවි වරම් ලැබීම සමහර ප්‍රදේශවලට සාමාන්‍ය දෙයක් නොවූවද සමහර ප්‍රදේශවලට එය යම්තාක් දුරට දුර්ලභ දෙයකි. කෙසේ වෙතත් සියලු පාසල් ශිෂ්‍යයන්ගේ සිතේ කොනක තිබෙන සිහිනයකි, සරසවි වරම් ලබා ගැනීම. උසස් පෙළින් සරසවි වරම් අහිමි වූ මිතුරන් රැසක් මා හට සිටි නමුදු එම සිතිවිල්ල මාගේ සිත් කොනක තැන්පත්ව තිබිණි. ආචාර්ය සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මහතා සිටවූ ප්‍රතාපවත් සුවිසල් ගසක අධ්‍යාපන සෙවණේ හැදී වැඩුණු මා 2017ක් වූ දෙසැම්බර් මස 07 වන දින කිසිදාක නොදුටු අපූරු මිතුරන් 488ක් සමඟ තුන්මුල්ලේ පිහිටි අපගේ මීළඟ සොඳුරු නවාතැන එනම් කොළඹ විශ්ව විද්‍යාලයීය විද්‍යා පීඨය වෙත ඇතුළත් වුණෙමි.
මුල් දිනයේ (07 වන දින) අප “ආගන්තුක” යන මානසිකත්වයෙන් හෙම්බත්ව සිටි අතර පෙර දිනයක වෛද්‍ය සහතික ලබාගැනීමේදී හිතවත් වූ මිතුරන් කිහිප දෙනෙකු ඇරෙන්නට අන් කිසිදු මිතුරෙකු මා දැක හඳුනාගෙන නොසිටියෙමි. නමුදු මිතුරන් සමඟ කුළුපග වීමට නොඉවසිල්ලෙන් සිටි අපට දිනෙන් දින හමු වූ අපගේ සියලු මිතුරන් අපගේ ජීවිතයේ කොටස්කරුවන් කරගැනීමට අපට හැකිවිය. ඒ අතර මාගේ අදහස් වලට සමීප අදහස් ඇති චරිත, අමුතුම අදහස් ඇති චරිත, විප්ලවීය අදහස් ඇති චරිත ආදී නොයෙකුත් චරිත සිටියහ. බොහෝ සෙයින් විනෝදකාමී ඔවුන්ගේ මුහුණුවර නිතරම කියාපෑවේ ජීවිතයේ උදාවීමට නියමිත අද්විතීයම අවුරුදු තුන හතර උදාවීමට නියමිත බවයි.
පෙන්ටගනය අසලින් විශ්ව විද්‍යාලයට ඇතුල්වන අප, ඇරපු එකෙන් උදේ ආහරය ගෙන ඉන් අනතුරුව නිල් පැත්තේ වාඩි වී මිතුරන් හා කුළුපග වන අතරතුර දෙවන වසරේ අපේ අයියලා පැමිණ අපට විශ්ව විද්‍යාලයේ අප නොදත් තතු එකින් එක පහදා දෙයි. එහි ඇත්තේ තියුණු ආස්වාදයකි. එය වචනවලට පෙරලීමට මා සිංහල භාෂාවේ උගත් වචන ප්‍රමාණවත් නොවන බව මගේ සිත මා හට තර්ජනාත්මකව කියාපායි. එම ආස්වාදය වචනවලට පෙරලුවහොත් එයට සෘජු අසාධාරණයක් වන බව මම හොඳාකාරවම දනිමි.මේ ආකාරයේ නොයෙකුත් කරුණු නිසා අපට හැඟී යන්නේ විශ්ව විද්‍යාලය යනු බාහිර ලෝකය මත ඉන් වෙන්ව පවතින වෙනමම ලෝකයක් බවයි. එම සිතුවිල්ල මොහොතකට හෝ බිඳ දමන්නේ දෙපස තනි පැති මාර්ගවල ගමන් ගන්නා 120.138 ආදී බස් රථ කිහිපයක් මඟින් පමණි.
විශ්ව විද්‍යාලයේ සෑම තැනක්ම අප නිකමටවත් නොසිතන අපූර්ව වූ නම්වලින් නම් කර ඇත. ඒවා මෙහි හුවා දැක්වීම සුදුසු නොවේයැයි සිතමි. එපමණක් නොව මේ වනවිට අප හටද අන්වර්ථ නාම ලැබී ඇත. දැන් අපව අමතන්නේ ඒ නම්වලිනි. එම නාමවල සිංහලයේ අතිරහසිගත වචන ඉතා සූක්ෂ්මව සැඟව පවතී.මේ සෑම දෙයකින්ම අප අලුත්ම ලොවක ජීවත් වන බවට සාක්ෂි, සාධක ගෙනහැරපායි.එය පන්ති, කුල භේද නොමැති අමුතුම ලෝකයකි. දර ලිපේ, ගෑස් උඳුනේ, පීඩන උඳුනේ පිසෙන සෑම බත් ඇටයක්ම එකම මේසයක් උඩ දිග ඇරී කරගැට පිරුණු අතේ සිට සාමාන්‍ය සියුමැලි අත් දක්වා අත්වලින් ඇනී සියල්ලන්ගේම කුසවල් කරා ගමන් ගනී. තමන්ගේ පම්පෝරි බේගල් ඇද බාමින් සියල්ලෝම සිනහවෙන් තෙත බරිත කරවති. උදෑසන හතේ කනිසමේ සිට සැඳෑ වරුව දක්වා මෙලෙස උනුසුම් කාල වකවානුවක් ගෙවීයාමට ගතවන්නේ මිනිත්තු 5කටත් නොඅඩු කාලයක් යැයි විටෙක මට හැඟී ඇත. නිවාඩු දවස්වලදී පවා එකතුවන අප දැන් වෙනමම ජීවිකාවකට හුරු වී ඇත. ඔක්තෝබර, නොවැම්බර් කාලවලදී අප් හට පැවතියේ කවදා කැම්පස් පටන් ගනීද යන පිස්සුවයි. දැන් අපට ඇත්තේ freshers පිස්සුවයි. දැන් සැවොම කාලය ගත කරන්නේ එය මූලික කරගෙනයි. එම පිස්සුව ජයග්‍රහණය කිරීම ඒකාන්තයෙන්ම සිදුවන බව අප තරයේ විශ්වාස කරන කරුණකි. ඉදිරි වසර තුන හෝ හතර පුරාවට තුම්මුල්ලේ පිහිටි අපූර්ව ලෝකයේ සුවිසල් ගමනක් යාමට අප නොඉවසිල්ලෙන් බලා සිටිමු.
Leave a Comment