දැනුම

සොබාදම් දෙව්දුවගේ විලාපය…

කඳු ශිඛර මුදුනින් ඇද හැලෙන – ශේතවන් දිය දහරා
ගෙනෙයි දස අතටම සොබාදම් – සිරි අසිරි ධාරා
ගල් පතර හැපි හැපී මවයි – පෙණ පිඬුවලින් ලීලා
බලා සිට ඇති නොවේ කාටත් – සොබාදම් දෙව් දූගෙ මායා

දුටුවන් නෙත් වශීකරණ සොබාදම් දෙව්දුවගේ නේකවිද මායාවෙන් සුන්දර නිමැවුමෙන් අනූන වූ මිහිතලය මත ජන්මය ලබන්නට ලැබීම සොබාදමෙන්ම ලද මහඟු ආශිර්වාදයකි. එහෙත් ඒ මහඟු ආශිර්වාදය දායාදය හිසමත දරා ගත් මනුසතුත් වර්තමානය වන විට විවිධ කටයුතු මගින් සොබාදම විනාශ කරමින් තමන්ගේ මඩිය තර කර ගැනීමට උත්සුක වෙමින් සිටී. මිනිසුන්, සතුන් වගේම ගහකොළට ද ජීවත් වීමට ඔක්සිජන් අත්‍යවශම ය. එහෙත් සමහර පුද්ගලයන්ගේ ප්‍රකාශවලින් කුඩා දරුවන් පවා දන්නා කරුණුවත් නොදන්නා බව පසක් වේ.
ජෛව විවිධත්වයෙන් අනූන හරිත ශාක ප්‍රභාසංස්ලේෂණය (ආහාර නිපදවීම) මගින් අතුරු ඵල ලෙස පරිසරයට මුදා හරින ඔක්සිජන් ජීවයේ පැවැත්ම රඳවා තබා ගැනීමට මහඟු වෙහෙසක් දරයි.

          “ඔක්සිජන් කන්න ද?”
                               (උපුටා ගැනීමකි.)

යැයි අසන, ජෛව විවිධත්වයෙන් අනූන ජාත්‍යන්තරව පවා නම් දරා ඇති රැම්සා තෙත් බිමක් වන ආනවිලුන්දව වැනි වන භූමි විනාශ කරමින් ඉස්සන් කොටු හදන්නට භාවිතා කිරීම වැනි දේවල් ඇසෙන විට මිල මුදල් හොයන්නට හැල්මේ දුවන මනුසතා තාක්ෂණික අතින් කෙතරම් දියුණු යැයි පැවසුව ද බුද්ධිය අතින් මෙන් ම මනුෂ්‍ය ගුණධර්ම අතින් වර්තමානය වන විට කෙතරම් පිරිහී ඇද්දයන්න මනාව අවබෝධ කරගත හැක.
මෙලෙස ශීඝ්‍රයෙන් වන විනාශ කිරීම, සතුන්ගේ වාසස්ථාන විනාශ කිරීම, ප්ලාස්ටික් පොලිතින් වැනි කෘතිම ද්‍රව්‍ය පරිසරයට නිදහස් කිරීම, කර්මාන්තශාලා වලින් පිටකරන අහිතකර දුම්, රසායනික ද්‍රව්‍ය, රසායනික කෘෂිකර්මාන්තය ආදී ක්‍රියාවන් නිසා දැනටමත් ඇති වී තිබෙන උණුසුම ඉහළ යාම, දේශගුණික විපර්යාස නිසා ඇති වී තිබෙන වර්ෂාපතන රටා වෙනස් වීම් ආදී විශාල ගැටලු රැසක ඇති වීමට ඉඩකඩ සැලසී හමාර ය.
තම වාසස්ථානවලට මිනිසුන් විසින් පැමිණ ගෙවල් සාදා ගැනීම, ආහාර වල හිඟතාවය, වන විනාශය වැනි කරුණු නිසා වන සතුන් ගම් වැදීම් වර්තමානයේ බහුලව අත්විඳීමට සිදුවන සිදුවීමක් බවට පත්ව ඇත. එහෙත් හැමදාමත් වන සතුන්ට චෝදනා කරමින් ඔවුන්ට වෙඩි තබමින්, උගුල් අටවමින් ඔවුන්ගේ ගම් වැදීම් නිසා සිදුවන අලාභ හානි ගැන ඔබගේ දුක කියමින් සිටී. එහෙත් සතුන්ගේ වාසස්ථාන අයිති කරගනිමින් ඔවුන්ටම චෝදනා කරන ඔබ ඔවුන්ගේ වේදනාව ගැන මදක්වත් කල්පනා කලේ නැහැ නේ ද?
තමන්ගේ කැළි කසළ වන ලැහැබවල් අයින්වල, පාරවල් දෙපස දමා ගොස් සියල්ල අවසාන යැයි සිතුව ද බොහෝ ගැටලු ඇරඹෙන්නේ ඉන් පසුව ය. දමා යන ප්ලාස්ටික්, තැඹිලි කෝම්බවල වතුර එකතු වී ඩෙංගු වැනි විවිධ ලෙඩ රෝග පැතිරීම, සතුන් ඒවා ආහාරයට ගැනීමට පැමිණීම, ප්ලාස්ටික් පොලිතින් වැනි දේ ජීරණ අපහසුතා ඇති වී සතුන් මිය යාම වර්තමානයේ සුලබ දර්ශනයක් වී ඇත.
දෙරණ මත මෙන්ම මහා සාගරය මත ද මිනිසාගේ ක්‍රියා බලපෑම් කරමින් පවතී. සයුරු පත්ල තුල මනබඳින අලංකාරයෙන් යුත් කොරල් පර වල ජීවය නැති වීම, කැස්බෑ ගහණය අඩු වීම, අයිස් කඳු දියවීම ආදී ප්‍රබල තර්ජන රැසකට සොබාදම් දෙව් දුවට මුහුණ දීමට සිදුව පවතී.
තව ද බහුල වශයෙන් භාවිතා කරන රසායනික ද්‍රව්‍ය නිසා සොබාදමේ සමතුලිතතාවයට ප්‍රබල බලපෑමක් සිදුවන බව මදකටවත් සිතුවා ද?
එම රසායනික ද්‍රව්‍ය නිසා දහස් ගණන් කෘමි සතුන්, රොන් ගන්නට පැමිණෙන ප්‍රභාසංස්ලේෂණය ක්‍රියාවලියට තම රාජකාරිය නිසි ලෙස ඉටු කරන මී මැස්සන්, පස සාරවත් කරන පාංශු ජීවීන් මිය යන බව නොරහසකි. තව ද ඒවා ජලාශ වලට එකතු වීම නිසා සුපෝෂණ තත්ත්ව හට ගැනීම නිසා ජලයේ ගුණාත්මකභාවය අඩු වීම, සතුන් හා මිනිසුන් එම ජලය බීමට ආදී විවිධ අවශ්‍යතා සපුරා ගැනීමට යොදා ගැනීම නිසා දිගු කාලීනව කැඩ්මියම් (Cd), ආසනික් (As), රසදිය (Hg) වැනි බැර ලෝහ සිරුරෙහි තැන්පත් වීම නිසා විවිධ ලෙඩ රෝග (වකුගඩු, පිළිකා) වලට වර්තමානය වනවිටත් මුහුණ දෙමින් පවතී. මත්ස්‍යන්ට ජීවත් වීමට ප්‍රශස්ත තත්ත්ව අහිමිවීම නිසා ඒක දේශීය මත්ස්‍ය ගහණයට විශාල තර්ජනයක් එල්ල වී ඇත.
මෙලෙස ගත් කල මිනිසුන් සොබාදහමට කරන්නේ කුමක් ද? මේ මිහිතලය මනුසතුන් වන ඔබට පමණක් ලිය දී තිබේ ද ?
ඔබට මෙන් ම ගහකොළ සෑම සතා සිවුපාවෙක්ටම නිදහසේ ජීවත් වීමට අයිතියක් ඇත. මනුෂ්‍යයා යනු ද එක් සත්ව කොට්ඨාශයකි. තීරණ ගෙන යහපත්ව කටයුතු කිරීමට මනසින් උසස් ගුණාංගවලින් පිරිපුන් සොබාදහම විසින් දායාද ලද්දෝ ය. එහෙත් වර්තමානය වනවිට මිනිස් වර්ගයා විසින් සිදුකරන ක්‍රියා නිසා සොබාදම් දෙව්දුව වැලපෙනවා කියා ඔබට සිතෙන්නේ නැති ද?
මනුසතුන් කරන විනාශය ඔබට සේ ම මතු පරම්පරාවේ ද ගෙල වැළලීමක් බවට පත්වනු ඇත. එදිනට වර්තමානයේ ඔබ විඳින නිදහස මතක් කොට විඳවන්නට පසුතැවිලි වන්නට සිදු වේ. හුස්ම ගන්නට ඔක්සිජන් දෙන්නට ගසක් කොළක් නැති වේවි.


“කතා ඇති මනුසතා වනසයි තුරුලතා
කතා නැති තුරුලතා සනසයි මනුසතා”
(උපුටා ගැනීමකි)


මදක් සොබා දහම කියනා දේට කන් යොමා බලන්න ඔබටත් ඇසේවි ඇයගේ විලාපය.
ඔබේ ගෙල ඔබම සිර කර ගන්නවා සේම ඉදිරි පරපුරේ ද ගෙල සිර කිරීමට ක්‍රියා කරනවා දැ යි මදක් සිත් යොමා බලන්න. එවිට පසක් වේවි අප විසින් සොබාදහමට කරන අවැඩේ බරපතලකම.
ටොෆිය කා කොළය බිම දමා යනු වෙනුවට එය නිසි ලෙස බැහැර කරන අයෙකු බවට පත්වන්න… අරඹන්න එම පුංචි පියවරින්… පිසින්න ඇගේ කඳුළු බිඳු… දිනක් පැමිණෙවි සොබාදම් දෙව්දුව සොම්නසින් සැනසෙන…

Image source:

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

ජයාත්‍රි උදිශ්‍යා

තාක්ෂණ පීඨය - අවසන් වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment