රක්ත දිනයුරු ගිලෙන අඹරක
බිඳෙන රළ ගෙඩි අතර සැඟවුණ
මියෙන ඉපදෙන පෙණ කැටිති මත
සොයමි අදටත් මං
රැඳුණු නුඹෙ හුස්මන්…
බිඳුනු පෙණ කැටි අතර දුව පැන
ඈත දියඹට දෑස යොමු කර
දියඹෙ දිවි රැඳි ඔහුගෙ සුව සෙත
පැතූ සැටි සිත් මං
එදා නුඹෙ දෙනුවන්…
කන්දෙ පන්සලෙ දහම් මැදුරේ
මග නොහැර බණ මඩුව කිසි දින
සතර පෝයට සිල් සුවඳ දී
පැතූ මොක් සුවයන්
නුඹේ ඒ පැතුමන්…
සඵල කරමින් නොසිතු විලසක
සමුදුරේ රළු රළ පෙරළි නැග
රැගෙන ගිය මුත් සදෙව් ලොව වෙත
කෙලෙස් විඳ ගමි මං
නැගණියත් සමඟින්…
ත්‍රිත්ව පංචම වසක් ගෙවුණ ද
පතමි උණුසුම අදත් නුඹෙ මම
දෙමස් විය වූ එකල ඈ නෙතු
සොයයි නුඹ අදටත්
අසයි නුඹ කවුරුන්…
කෙලෙස පවසන් මෑණියනි මම
නුඹේ දෝණිට සයුරු රළ පෙළ
රුදුරු ලෙස නුඹ රැගෙන ගිය වග
නොනගින්න කඳුළැල්
කෙළිලොල්නෙ තවමත්…
සමාවුව මැන මෑණියනි මට
නොහැක රිදවන්ට ඈ සිත
ඇයව රඳවා හනික විගසට
ආමි මම මෙලෙසින්
දල්වන්න පහනක්…
නුඹෙ නමින් දැල්වෙන පහන් සිළු
දෙනෙත් කඳුලින් බොඳව ගිය මුත්
ඉඩ දෙන්න සඟවන්න සෝ දුක්
නුඹේ ඒ මතකෙන්
විඳ ගන්න දිරියෙන්…
යන්ට අවසර මෑණියනි මට
නැගණියන් පමණයි නිවසෙ අද
දියඹෙ ගිය ඔහු නො ආ දිනයට
දස මසක් විය දැන්
ඔහුට කෙලෙස ද දැන්…
නොදැනෙන්න තනියක් කිසි දින
රැක ගත්ත ලෙස දෙදෙන අප පෙර
රැක ගන්න මෑණියනි ඔහුවත්
විමසමින් සුව දුක්
පියාණන් ළඟ නම්…
Leave a Comment