දැනුම

සොළොස් වසරකට පෙර රටම හැඬ වූ සුනාමිය

අපේ බත් පිඟාන මූද ඇවිත් අරන් ගිහින්
අපි ඇන්ඳ ඇඳුම් මූද ඇවිත් අරන් ගිහින්
අපේ පාඩම් පොත් මූද ඇවිත් අරන් ගිහින්
නිදාගත් පැදුරත් මූද ඇවිත් අරන් ගිහින්

දවස පුරා වෙරළ දිගේ බෝල ගහපු
රැල්ල පාග පාග සිප්පි කටු ඇහිඳපු
යහලු යෙහෙලියන් සේරම අපට හිටපු
අරන් ගිහින් මුහුදු වතුර ගොඩට ගලපු…………..

(සුනාමි ගීතයෙන් කොටසක් – ගායනය:- සුනිල් එදිරිසිංහ ශූරීන් – ගුවන්විදුලි, රූපවාහිනී වල එදාමෙන්ම අදත් සවනට ඇසෙන කඳුලු කතාවේ හදවතේ ගිගුම් දෙන පද මාලාව…. ) 

2004 දෙසැම්බර් 26…..

උඳුවප් මාසයේ සීතල සමඟින් නත්තලේ අසිරිය ද පහව ගොස්ව නොතිබුණු , එලෙසින්ම බුද්ධාලම්භන ප්‍රීතිය දනවන උඳුවප් පුර පසොළොස්වක පෝය දිනයක්ද වූ එදවස මුළුමහත් ලාංකික ජනයාගේ මතක පොතේ අමිහිරි සටහනක් තැබූ ශෝක ජනක දිනයක් බවට පත්වී හමාරය.

කැළණිතිස්ස රජ දවස මුහුදට බිලිවූ විහාරමහා දේවිය ගැන කතා අසා තිබූ, ලෝකයේ අනෙක් රටවල සුනාමි යන වචනය පුවත්පත්, රූපවහිනී වලින් දැනගෙන සිටියද අත්දැකීමක් නොවූ ලාංකික ජනයාට සුනාමි නම් වචනය තවදුරටත් ලාංකිකයන්ට අලුත් දෙයක් නොවන බවට පත්කරමින් පෙර අත්නොවිඳි ශෝකජනක අත්දැකීම් රැසකට එදින මුහුණ දීමට සිදුවිය.

වෙනදාමෙන් සිසිල් සුළං සමඟ එන හෝ හෝ නාදය වෙනස් වී රළ ප්‍රචණ්ඩ වෙමින් තද කළු රළ පහර වෙරළ වෙතට සේන්දු වී ගොඩබිමක සේයාවක් දිස්වමින් අඩි ගණනක් ආපස්සට ගසා ගෙන ගියේ අනතුරු අඟවා පරිස්සම්වන්න යැයි කියන්නාක් මෙනි.

මුහුද ගිලගත් ඒ ප්‍රචණ්ඩ රළ පෙරට වඩා වේගයෙන් ගොඩබිම වෙතට කඩා වැදුනේ “මුහුද පස්සට ගිහින්” යැයි පැතිරුනු කතාව සියැසින් දැක ගැනීමට පැමිණි ජනයාගේ ජීවිත මෙන්ම වෙරළාශ්‍රිත ගම්, නගර වල සිටි දස දහස් ගණනකගේ ජීවිත මෙන්ම සුවිසල් දේපළ හානියක් සිදුකරමිනි.

 පෙ.ව. 6.58 පමණ ඉන්දුනීසියාවේ සුමාත්‍රා මුහුදේ ඇතිවූ භූමිකම්පාවක් නිසා  ඇරඹී සුනාමි රළ  රිච්ටර් මාපක 9.1-9.3 සටහන් කරමින් උතුරු නැගෙනහිර දෙසින් ලංකාවට ඇතුලු වූ සුනාමි රළ දකුණු දෙසින් ද ඇතුලු වීමට ගත වූයේ ඉතා ම කෙටි කාලයකි.

කොළඹ දුම්රිය නැවතුම්පළින් පිටත් වූ දුම්රිය, තෙල්වත්ත අසල, පෑරලිය ග්‍රාමය ඔස්සේ ධාවනය වෙමින් පැවැති අවස්ථාව වන විට ගලා ආ පළමු සුනාමි රළ, වෙරළ තීරය යටකරමින් ගොඩ බිම දෙසට ගලා වුත් දුම්රියේ ගැටුනද ගැටලුවක් මතු නොවුනද ඊළඟ මොහොතේ පැමිණි විශාල සුනාමි රළ පහර හේතුවෙන් ජලයෙන් පිරී ගොස් තිබූ දුම්රිය මැදිරි අටක සිටි පිරිස ඒ තුළම ගිලී මිය ගිය අතර, සමහරක් දෙනා ජල පහරේ ගසා ගෙන ආ සුන්බුන් වල ගැටීම නිසා මිය ගියහ. දැඩි රළ පහර නිසා ගැලවී ගිය සමහර දුම්රිය පෙට්ටි උඩුයටිකුරු වෙමින් ජල පහර සමග රට තුළට ගසා ගෙන ගිය අතර, දුම්රිය මාර්ගයටද රළ පහර නිසා දැඩි ලෙස හානි සිදුවිණි.

මෙම දුම්රිය ව්‍යසනය 2004 ශ්‍රී ලංකා සුනාමි-දුම්රිය ව්‍යසනය ලෙස හැඳින්වේ. එය ඉතිහාසයේ දුම්රියක් හා සම්බන්ධව සිදුවූ වැඩිම මරණ සංඛ්‍යාව සහිත සිදුවීම ලෙසද හැඳින්වෙයි. සුනාමි ව්‍යසනය හතළිස් දහසකට ආසන්න ප්‍රමාණයක් ජීවිත ලංකා මාතාවට අහිමි කිරීමට සමත් විය.

මෙම සුනාමිය ස්වාභාවික විපත්වලින් දරුණුතම විපතක් වූ අතර වාර්තා වී ඇති දරුණුතම විපතකි. රටවල් 14කට විනාශකාරී බලපෑම් එල්ල කරන ලදී. වැඩි ම හානියක් සිදු වූයේ ඉන්දුනීසියාවට හා ඉන් පසු ශ්‍රී ලංකාවට, ඉන්දියාවට හා තායිලන්තය යන රටවලටය.

දෙමාපියන්ට දරුවන් අහිමි කළ දරුවන්ට දෙමාපියන් අහිමි කළ, බිරිඳට ස්වාමියාද ස්වාමියාට බිරිඳ අහිමි කළ, යහලු යෙහෙලියන් අහිමි කළ නෑදෑ හිතවතුන් අහිමි කළ කඳුලු කතා රැසක් සුනාමි ඛේදවාචකය තුළ සැඟව ඇත.

සුනාමි ව්‍යසනය වඩාත් බිහිසුණු ආර්ථික, සාමාජයීය වශයෙන් දුශ්කරතා ‍රැසක් මතු වීමට පටන් ගැනීමත් සමඟය. ජනයා ජාති ආගම් බේදයකින් තොරව සිදුවූ හානි වලට හැකි උපරිමයෙන් උපකාර කිරීම නිසා වේදනාකාරී මතකයන් සිතේ පමණක් රඳවා ගෙන අනාගතයට මුහුණ දීමට ඔවුන්ගේ ලෙන්ගතුකම ශක්තියක් විය.

සුනාමි ව්‍යසනයෙන් මියගිය ජනතාව උදෙසා දෙසැම්බර් 26 දිනය, ජාතික සුරක්ෂිතතා දිනය ලෙස නම් කෙරුණි. එහෙයින් සුනාමි ඛේදවාචකයෙන් දිවි අහිමි වූ සහ ආපදාවට ලක්වූ ජනතාව අද දිනයේදී විනාඩි 2ක (පෙ.ව. 9.25 – පෙ.ව. 9.27) නිශ්ශබ්දතාවයකින් යුතුව සිහි කිරීම වාර්ෂිකව සිදු කරනු ලබයි.

 අදත් එවැනිම දවසක්…… අද 2020 දෙසැම්බර් 26 වෙනිදා………

ඉතින් ඔබ මොකද හිතන්නේ ………… ඔබ නැවතත් සුනාමියක් ආවොත් එකට මුහුණ දෙන්න සූදානම්ද?

ලංකාව පිහිටීම අතින් ගත්කළ ස්වාභාවික ව්‍යසන වලට ලක් වීම අඩු රටක් ලෙස සැලකිය හැකියි. ඉන්දුනීසියාව හෝ ජපානය වැනි  වැනි රටක් ගැන සළකා බැලීමේදී භූමිකම්පා හා සුනාමිවලට බහුල ව මුහුණ පෑමට සිදු වන භූ තල පිහිටුමක එම රටවල් පිහිටා තියෙනවා.

එහෙත් ලංකාව එම රටවලට ආසන්නව පිහිටීම නිසා ඇතිවන සුනාමි, භූකම්පන වල බලපෑම් ඇති වීමේ ඉඩකඩ තියෙනවා. භූ තල මායිම්වල ඇති වන සුනාමි සම්බන්ධයෙන් ගත් කල අපට ඒ රටවලට වඩා වැඩි කාලයක් සුනාමි අනතුරු හැඟවීමක දී ඒ සඳහා ක්‍රියාත්මක වීමට කාලය තියෙනවා

එහෙත් සමහර අවස්ථාවලදී භූ චලන සිදුවන ප්‍රදේශවල වෙනස්කම් නිසා අනතුරු ඇඟවීම් අදාළ සිදු වීමෙන් පසු වාර්තා වන අවස්ථාද නැතුවාම නොවේ.

2004 ඉන්දුනීසියාවේ සිදු වූ සුනාමියට අදාළ භූමිකම්පාව සිදු වූයේ එවැන්නක් ඇති වනු ඇතැයි බලාපොරොත්තු නො වූ භූ තල මායිමට ඔබ්බෙන් වූ තැනකින්. පොළෝ තලයේ හැසිරීම ගැන සමහර අවස්ථාවල 100% නිවැරැදි අනාවැකි පළ කළ නොහැකි වේ. එනිසා සුනාමි සම්බන්ධයෙන් ගත් කල ඕනෑ ම මොහොතක වහා ක්‍රියාත්මක විය හැකි පරිදි සූදානමකින් සිටීම අතිශය වැදගත්.

සුනාමි වැනි අවස්ථාවලදී නියමිත කාර්යභාරය අප නොකළහොත් කෙතරම් සුනාමි අනතුරු හැඟවීම් සිදුකළද ඇතිවන විනාශය වළක්වාලිය නොහැකිවනු ඇත.

සුනාමි අනතුරක් ඇති විය හැක්කේ කෙලෙසක ද? එවැනි අවස්ථාවක දී හැසිරිය යුත්තේ කෙසේද? ‍රැගෙන යායුත්තේ මොනවද? අවට අය දැනුවත් කළයුත්තේ කෙසේද? යන්න අප සියලු දෙනා දැනුවත් ව සිටීම අපට පැවරී ඇති කාර්යභාරයයි.

සුනාමි අවදානම් සහිත වෙරළබඩ දිස්ත්‍රික්කයක් වුවද නොවුවද, ඔබ යම්විටෙක විනෝද චාරිකාවක අතරතුර වෙරළබඩ සංචාරයක නිරතවන අවස්ථාවක වුවද සුනාමි තත්ත්වයකට ඔබට මුහුණ දීමට සිදුවිය හැක.

සුනාමි ව්‍යසනයේ කඳුලු කතාවලට අද දිනට සොළොස් (16) වසරක්…..

මීළඟ සුනාමි ඛේදවාචකයේ කඳුළු අතරින් කියවෙන කතාවකට ඔබේ කතාවත් එක් කරන්නට ඉඩ දෙනවාද? තීරණය ඇත්තේ ඔබ අතේය.

වසර දහසයක් සපිරෙන් අද දිනයේ Colombo Becon අපේ ඉල්ලීම මෙවන් ඛේදවාචකයක් නැවතත් ඇති නොවන්නේයයි සිතන්න….. සූදානම් වන්න……. දැනුවත් වන්න…….

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

ජයාත්‍රි උදිශ්‍යා

තාක්ෂණ පීඨය - අවසන් වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment