ආගමික ඉතිහාසය විශේෂ දිනයන්

හඬවා නිසලව ඇති කිරි මුහුද හෙවත් රාජසිංහ රජු තැනූ බෝගම්බරය…

මහා ඉතිහාසයක් දරා ගෙන ලොවක් හැඬ වූ සිද්ධීන් බලාගෙන නොහඬා, නොසැලී සිටි බෝගම්බරය අදටත් එලෙසම එතැන ද? ඇත්තටම මේ බෝගම්බර වැව එදා මෙන් අදටත් මුළු නුවරම හැඩ කරනව ද?

ඔව්, සත්‍යවශයෙන්ම. නමුත් ඒ සුන්දර වූ දිය තලයෙන් නම් නෙවෙයි. බෝගම්බරය මත බිහි වූ නානාප්‍රකාර ගොඩනැගිලි, මංමාවත් තුළිනි. එන්න අපි ඒ පිළිබඳව මෙතැන් සිට විමසමු.

 ඇත්තටම එදා ඇහැලේපොල කුමාරිහාමි දියේ ගිල්වා මරා දැමූ ඒ බෝගම්බර වැව අද වනවිට දකින්නවත් නොමැත. මේ වනවිට මහා පවුරක් සේ දළදා මාලිගාව අසල තිබෙන වැව ඉදිකර ඇත්තේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ය. ඒ 1810-1812 අතර කාලය තුළ ය.

 පැරණි බෝගම්බර වැව, දළදා මාලිගාව මහනුවර ඉදි කරනු ලැබූ පළමු විමලධර්මසූරිය රජතුමා විසින් 1592-1604 අතර කාලයේදී ඉදි කර වූවක් බව සඳහන් වේ. එපමණක් නොව, මේ වැව දෙවැනි රාජසිංහ රජු සමයේ ඉදි වූවක් බවත් කියැවේ.

 මේ බෝගම්බර වැවට ජලය එක්‍ රැස් කර ලබා ගෙන ඇත්තේ දුනුමඩලා ඔය හරස් කිරීමෙනි. එපමණක් නොව, දුනුමඩලා කන්ද, හන්තාන කන්ද, බහිරව කන්ද, උඩවත්ත කැලේ හා අම්පිටිය දෙසින් ගලා ආ අතු ගංගාවල ජලය ද මේ බෝගම්බර වැවට එකතු වී ඇත. මේ තුළින් පහත් බිම් රාශියක් ද පෝෂණය වී ඇති බවක් සඳහන් වේ.

 විශාල වපසරියක් තුළ විසිරී පැතිරී තිබූ බෝගම්බරය වර්තමානය වනවිට නම් ඒ තරම් වපසරියක් දක්නට නොලැබේ. මක්නිසාදයත් පැරණි වැව ගොඩකොට සාදන ලද ගොඩනැගිලි ඒ මත පවතින නිසාවෙනි.

මහනුවර බස් නැවතුම්පොළ, ඔරලෝසු කණුව, පොදු වෙළඳපොළ, බෝගම්බර ක්‍රීඩා පිටිය, දුම්රිය ස්ථානය, ප්‍රධාන තැපැල් කාර්යාලය, ගණදෙවි කෝවිල යන මෙම ගොඩනැගිලි පැරණි වැව් තලය යටපත් කරමින් නිර්මාණය වූ ඒවා වේ.

දිනක මල්වතු විහාරයේ වැඩසිටි අලුත්ගම ධම්මානන්ද නායක හාමුදුරුවන් වහන්සේ පුවත්පතක් සමඟ කළ සාකච්ඡාවකදී පවසා සිටින්නේ තවමත් බෝගම්බර වැවේ එක් මායිමක් වර්තමානයේ කැප්පැටිපොල ශාලාව අසල දක්නට ලැබෙන බවයි.

එකල මිනිස්සු බිළිගත් මෙම වැව තුළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් කිඹුලන් ඇති කළ බව ද රොබට් නෝක්ස්ගේ “ලංකා ගමන” විස්‍තරයේ සඳහන් වේ.

 නිහඬ  නිසල දෑ ඇත්තටම බියකරුය. මේ බෝගම්බරයත් එවැනිය. මක් නිසාද කිවහොත් අදටත් පසක් වූ විට අනේ…! අපොයි…! යැයි කියැවෙන මද්දුමබණ්ඩාරගේ සපරාධී මරණය, ඇහැලේපොල කුමාරිහාමිගේ විලාපය, වංගෙඩිය මතින් මිරිකී ආ කිරි සුවඳ යන සියලු සිත් කම්පිත් දෑ වැව් පතුල මත නිධන් කොට අදටත් දරා සිටින නිසාවෙනි.

 මහනුවර නම ඇසු පමණින් වැව් රවුම අපිට අමතක කළ නොහැකිය. ඉතින් කෙසේ හෝ අවසානයේ අපි මේ ඇවිද යන්නේ මහා ඉතිහාසයක් දරා සිටින බෝගම්බර වැව මතිනි.

Design : Janani Kithmini

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

රවීෂා ශෙහානි

ශාස්ත්‍ර පීඨය - පළමු වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment