කලා ලොවට පෑයූ පහන් තරුවක් නිවී ගොස් අහවර ය. හැත්තෑ එක් වසරක ආයු මත්තෙන් ලාංකීය සිනමාවත්, වේදිකාවත්, පුංචි තිරයත් සිය සහජ රංගන කෞශල්‍යයෙන් සියතට ගෙන, ප්‍රේක්ෂක හදවත් සිය ඔප ගැන්වූ සහජ දක්ෂතාවන්ගෙන් වර්ණ ගැන් වූ ජයලත් මනෝරත්නයන් 1948 වසරේ දී සිය පවුලේ බාලයා ලෙස උපත ලැබීය. පවුලේ බඩපිස්සා වූ එතුමාණන්නට නම් පවුලේ අනෙකුත් සාමාජිකයින්ගේ ආදරයෙන් නම් අඩුවක් නො වූ තරම් ය.
‘කෙසෙල් ගස්පේ මනතුංග ජයලත් මනෝරත්න’ හෙවත් අප සියල්ලන් ම ඉතා හොඳින් දන්නා ජයලත් මනෝරත්න මහතා කලා ලෝකයේ බොහෝ ගෞරවාදරයට පාත්‍ර වූ අත්දැකීම්වලින් බහුල එමෙන් ම ප්‍රවීණ රංගධරයන් අතුරින් රංගන විෂය පිළිබඳ දැනුමින් පරිපූර්ණ වූ, ශක්තිමත්, අග්රගන්යයේ යුග පුරුෂයෙකි.
ඔහුට අයුරින් ඔහුගේ ළමා කාලය ඉතාමත් සතුටින්, දෙමාපිය පමණක් නොව පමණක් නොව සිය සොයුරු සොයුරියන්ගේ ද අසීමිත ආදරයට මෙන්ම අවධානට ද ලක් ව ගෙවුනා වූ සුන්දර කාල පරිච්ඡේදයකි.
රමණීය කඳුවැටි අතර පිහිටි නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් දෙහිපේ නම් සුන්දර ග්‍රාමයේ උපන් මෙතුමා, වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ගැමියෙකි. එකල ඔවුන්ගේ ජීවනෝපාය වූයේ ගොවිතැන යි.
සිය විනෝදාංශයක් වශයෙන් එකල ගමට පැමිණ වේදිකා ගත වන්නා වූ සොකරි, කිඳුරු නාට්‍යයන් සිය මිතුරු පිරිවර ද සමඟින් රස විඳිනුයේ පසු දින එහි කොටස් නිවසේ දී අනුකරණ රංගනයක යෙදෙමිනි. එලෙස අඩිතාලම ලත් ඔහුගේ නාට්‍ය කලාව ලාංකීය රිදී තිරය මෙන්ම පුංචි තිරය ද වේදකාව ද ජය ගනිමින් කුසලාන රැසකට මං සලකුණු දමනු ඇතැයි කුඩා මනෝරත්නයන්ගේ එදා කුසලතා රස විඳි නිවැසියන් ද නොසිතන්නට ඇත.
දෙහිපේ ප්‍රාථමික විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය හදාරා ශිෂ්‍යත්ව විභාගය සමත්ව පොරමඩුල්ල මධ්‍යමහා විද්‍යාලයෙන් සිය ද්විතීය අධ්‍යාපනයට ඇතුළත් වූ එතුමා පාසල් නේවාසිකාගාරය සිය නිවහන කොට ගන්නා ලදී.
පොරමඩුල්ල මධ්‍ය මහාවිද්‍යාලයේ උගත් සමයේ දී එතුමා සිය ජීවිතේ ලද වටිනාම අත්දැකීම්වලට අමතරව හෙන්රි ජයසේන මහතාගේ මුණ ගැසුම ඔස්සේ සිය සිහිනයන් උදෙසා මං නෙත් එළි පෙහෙළි කර ගන්නා ලද්දේ ය.
අ.පො.ස සාමාන්‍ය පෙළ තෙක් මළල ක්‍රීඩා අංශයෙන් ඉදිරියට ගිය මෙතුමා සිය පාසල් දිවියේ එක් වසරක, වසරේ ජ්‍යෙෂ්ඨ, විශිෂ්ටම ක්‍රීඩකයා බවට ද පත්විය.
ප්‍රථම වරට පාසල් වේදිකාවේ නාට්‍යයකට එතුමා සම්බන්ධ වනුයේ පාසලේ නාට්‍යයක් වූ සිය ගුරුතුමා වූ සුනිල් ශ්රියානන්දයන්ගේ ‘අස්ප ගුඩුන්’ නම් පාසල් වේදිකා නාට්‍යයෙනි. පළාත් මට්ටමින් පැවැත්වුණු නාට්‍යය තරගාවලියේ දී එය මධ්‍යම පළාතේ ප්‍රථම ස්ථානය දිනීය. අවසන් තරගය කොළඹ ලුම්බිනියේ පැවතුණි.
සාර්ථක පාසල් දිවියකින් පසු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සරසවි වරම් හිමි කර ගත් මෙතුමා සිය ජීවිතයේ හැරවුම් ලක්ෂය එය බවට පත්කර ගත්තේ ය. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මුණගැසුමත් සමඟින් එතුමාගේ දිවියේ ස්වර්ණමය අවධිය එළඹුණි. එවකට පේරාදෙණියේ රඟදැක් වූ සෑම නාට්‍ය නිර්මාණයක් ම නැරඹූ මෙතුමා ඒවා සිය නිර්මාණ ශක්තිය ඔප් නංවා ගැනුමට ආධාර කර ගත්තේ ය.
සරසවියේ දෙවන වසරේ දී සරච්චන්ද්‍රයන්ගේ ‘ප්‍රේමතෝ ජායතී සෝකෝ’ නාට්‍යයට නවක නළුනිළියන් තෝරා ගන්නා බව දැනගැන්මෙන් පසු, එහි සම්මුඛ පරීක්ෂණයන්ට සහභාගී වූ මෙතුමා සිය සහජ ගායන කෞෂල්‍යය නිසාවෙන්ම ප්‍රථම ම වටයෙන් ම අදාල චරිතයකට තේරී පත් වුණි. එතැන් පටන් ඔහුගේ වෙස්සන්තර, මහාසාර, කදාවළලූ, එලොව ගිහින් මෙලොව ආවා වැනි නාට්‍යය කිහිපයක රඟපැමට මෙතුමාට අවස්ථාව උදා විය.
සරසවි දිවිය අවසන් කළ මෙතුමා හඟුරන්කෙත පිරිවෙනක ආචාර්යවරයකු ලෙස කටයුතු කළ අතර කෙටි කලකින් රජයේ ලිපිකරු පත්වීමක් ලැබ නුවරඑළියේ සේවයට වාර්තා කරන ලදී. එහි සේවය කරන අතරතුර නිශ්ශංක දිද්දෙණිය මහතා හෙවත් සරසවියේ ඔහුගේ ළඟම මිතුරා නැවතත් මුණ ගැසුණු අතර ඔහු ඒ වනවිට සිංහබාහු නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟ දක්වමින් බොහෝ ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලද චරිතයක් බවට පත්වී සිටින්නෙකු විය.
මනෝරත්න මහතාගේ රංගන හැකියාවන් ගැන හොඳින් දන්නා නිශ්ශංක දිද්දෙණිය මහතා රැකියාවේ ස්ථාන මාරුවීමක් ගෙන කොළඹට’විත් හෙන්රි ජයසේනයන්ගේ චිත්‍රසේන කලායතනයට සම්බන්ධ වන ලෙස ඔහුට ආරාධනා කරන්නට වූයෙන් ඒ අනුසාරයෙන් ඔහු ද රැකියාවේ ස්ථාන මාරුවීමක් ලබාගත්තේ ය. ඉන්පසු හෙන්රි ජයසේනයන්ගේ සති අන්ත පාඨමාලාවලට සම්බන්ධ වෙමින් සිය අධ්‍යයන කටයුතුත් රැකියාවත් යන ද්විත්වයම සාර්ථකව සිදු කරලීය.
පසුකාලීනව සුගතපාල සිල්වා, දයානන්ද ගුණවර්ධන, ගුණසේන ගලප්පත්ති වැනි ප්‍රවීණයන් යටතේ නිර්මාණවලට දායක වෙමින් විෂය පිළිබඳ මනා දැනුමක් ලැබූ මෙතුමා ඒ සිද්ධීන් අතරේම ‘ප්‍රේමතෝ ජායතී සෝකෝ’ නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑ නිළිය වුණ තමරා ජයන්ති සිල්වා සමග දීර්ඝ කාලයක් තිබුණු පෙම් සබඳතාව ජයගනිමින් 1979 දී විවාහ දිවියට ඇතුළත් විය. ඔවුනට දියණියක හා පුතණුවකු ලැබිණි.
ලිපිකරුවෙක් ලෙස ප්‍රථම පත්වීම ලැබූ මහවැලි අධිකාරියේ ම ඉහළ තනතුරක් දක්වා උසස්වීම ලැබ පසුකාලීනව වසර දහසයක් එහි සේවා සිදු කරමින් ඉන් අනතුරුව රැකියාවෙන් ඉවත්ව පූර්ණ කාලීනව රංගනය ම සිය වෘත්තීය වශයෙන් තෝරාගත් මෙතුමා වර්තමානයේ වේදිකාවේ, සිනමාවේ මෙන් ම පුංචි තිරයේ ද රංගනයේ යෙදෙන අතරතුරම එතුමා ම රචනා කරමින් නිෂ්පාදනය කළ නාට්‍ය කිහිපයක් වේදිකාවට නැංවී ය.
වසර හැත්තෑ එකක දිවියේ පියෙක්, ගුරුවරයෙක් මෙන්ම අති සාර්ථක රංග වේදියකු වූ මෙතුමා දෙදහස් විස්සක් වූ දුරුතු මස දොළොස්වන දින සිය දිවි සැරියට සමු දුන්නේ ය.
සිය ප්‍රතිභාපූර්ණ රංගනයෙන් දහසකුත් ප්‍රේක්ෂක ජනාදරය දිනා ගනිමින්, ලාංකීය සිනමාවේ අමරණීය නාමයන් අතරට එක්ව, සිය සංසාර මං පෙතේ තාවකාලික නැවතුමකට සමු දුන් ජනාකර්ෂණීය රංගන ශිල්පී ජයලත් මනෝරත්නයනි, ලාංකීය සිනමාවේ ඔබේ කර්තව්‍යයෙන් වැසී පැවති ඒ පරිමාව පිරවීමට නම් තවත් බොහෝ කාලයක් අවැසි වනු ඇත. Colombo Beacon වෙනුවෙන් අපි ඔබට නිවන් සුව පතන්නෙමු.
Leave a Comment