කොරෝනා වසංගතය හමුවේ ආහාර අර්බුදයකට මුලු ලොවම මුහුණපාන බවට දැනටමත් අනාවැකි පල වී අවසානයි. නමුත් අපේ රටේ බහුල ගුණැති බොහෝ ආහාර, නොදැනුවත්භාවය නිසා අද පරිභෝජනයෙන් ඉවත් වී ගොසිනි. ඒවා නැවත පරිභෝජනයට ගන්නේ නම් ආහාර හිගතාවයෙන් අපේ රට ගලවාගැනීම ආයාසයෙන් තොරව කරගත හැකි කාර්‍යයකි. Colombo Beacon ‘සුව ධරණී’ ලිපි මාලාව ඔස්සේ මෙවර ඉදිරිපත් කරන්නේ ග්‍රාමීය පරිසරයේ පමණක් නොව, නාගරික පරිසරයේ ද බහුලව දක්නට ලැබෙන “හබරල” ශාකය පිළිබඳවයි.
හබරල
ඉංග්‍රීසි නාමය – Giant Taro
උද්භිද නාමය – Alocasia macrorrhiza
වෙනත් නම් – හස්ති කර්ණ, පෙරියම් සම්බු, ගජ කර්ණ, පත්‍රාලුක, දීර්ඝ නාල, අලුක, තීක්ෂණ කන්ද, සුගන්දක
ජලාශ්‍රිත සහ තෙතමනය සහිත තැන්වල බහුල වශයෙන් දක්නට ලැබෙන හබරල ගහනයේ ප්‍රභේද දෙකකි.
▪️හබරල
▪️වල් හබරල
වල් හබරල ශාකය, හබරල ශාකයට වඩා ප්‍රමාණයෙන් බොහෝ විශාල වේ. ගම්බද ජනයා වැස්සක දී ආවරණයක් ලෙස භාවිත කරන්නේ මෙම දැවැන්ත වල් හබරල කොළය යි. ‘සුව ධරණි’ ලිපි මාලාව ඔස්සේ අද විග්‍රහ කරන්නේ වල් හබරල පිළිබඳ නොව, හබරල විශේෂය පිළිබඳවයි.
සබර නමින් හැඳින් වූ මෙම පැළෑටියම පසුව හබරල නමින් භාවිතා විය. සබර යනු වැදි ගෝත්‍රිකයන්ට භාවිතා කරන වචනයකි. වැදි ගෝත්‍රිකයන් විසින් මේවා ආහාරයට ගත් බැවින් සබරුන්ගේ අල සබරල පසුව හබරල බවට පත් විය. විශාල කොළ සහ දිග පිති වලින් යුක්තයි. අල සහිත මෙම ශාකය දිය සීරාව බැසයන ස්ථානවල හොඳින් වැඩී තිබුණු දක්නට දැකිය හැකිය.
තෙතමනය සහිත බුරුල් පසෙහි මනාවර්ධනයක් ඇති හබරල ශාකයෙහි මාංසල ස්වභාවය ඇති දිගට වැඩෙන මූල මණ්ඩලයක් පිහිටා තිබේ. සෘජු කෙටි කඳක් සහිත ය. හබරල ශාකයේ උස අඩි දෙකහමාරේ සිට හතර විතර දක්වා උසට වැවේ. ශාකයේ උසට බෙහෙවින් හිමිකම් කියන්නේ හබරල පිත්ත ය.
දිගට විහිදෙන මුල් මගින් ශාක ස්ථාවරව තබා ගනී. විශාලව සෑදෙන ශාක පත්‍ර නිසා සහ සංස්කෘත භාෂාවේදී හස්ති කර්ණ යන නමින් හඳුන්වයි. එයට හේතු වී ඇත්තේ හබරල ශාකයේ පත්‍ර හස්තියකුගේ කනට බොහෝ සෙයින් සමානතාවයක් තිබෙන බැවිනි.
පුරාණ ගැමි ජනයා අතර අල සහ පිති ප්‍රචලිත ආහාරයකි. මේවයේ තරමක් කහන ගතියක් ඇති නමුත් ඇඹුල් යොදා එය අඩු කර ගැනීමට ගැමි ගෙවිලිය දස්කම් දක්වයි.
හබරල ශාකයෙහි ඖෂධ ගුණ සැලකීමේ දී බොහෝ ප්‍රතිකාර වල දී අයුර්වේදයේ යොදා ගනු දක්නට ලැබේ. සෙම නැසීමට වෙනත් ඖෂධ සමග යොදා ගනී. පණු රෝග, බඩ පිපුම, උදර රෝග සුව කරයි. අර්ශස් රෝගයට ප්‍රත්‍යක්ෂ විසඳුමකි. ඉදිමුම සඳහා ද වෙනත් ඖෂධ සමග හබරල භාවිතා කරයි.
පාණ්ඩුව රෝග තත්ත්ව සඳහා හබරල ප්‍රත්‍යක්ෂ ඔසුවකි. මෙවැනි ප්‍රධාන ගුණ ඇති හබරල රසයෙන් සහ විපාකයෙන් මධුර ය. හස්ති කර්ණ තෛල නිපදවීමේදී ප්‍රධාන අමුද්‍රව්‍යය ලෙසින් යොදා ගන්නේ හබරල ශාකයයි. දමිළ බසින් පෙරියම් සම්බු යනුවෙන් හඳුන්වන හබරණ ශාකය araceaye කුලයට අයත් වේ.
භාවිතයෙන් බැහැරව ගොස් ඇති හබරල ව්‍යංජන ආහාරයට ගන්නේ නම් ශරීරයට ගුණ දායක වනවා සේම ආහාර අර්බුදය සඳහා ද විසඳුමකි. තව ද දිය සීරාව ඇති ඕනෑම තැනක වැවෙන නිසා අපගේ සාක්කුවට ද පහසුවක් දැනේ.
Leave a Comment