දැනුම

හරිත ඔසු උයන

නේක නේක දසුනින් අලංකෘත වූ සැඟවුණු ඉසව්වන්හි නිම් වළලු සොයා යන්නටයි අදත් අපගේ සූදානම… දසතින්ම හමා එන මුහුදු සුළඟේ පහස විඳිමින්, මෙවර මුතු ධරණියේ සැඟවුණු සොබා ශ්‍රී සොයා යන Colombo Beacon රූ ධාරා 16 වන දිගහැරුමෙන් අපි ඔබව රැගෙන යන්නේ සුන්දර දකුණු පළාතේ රමණීය වූ අගනගරය ගාලු පුරවරය වෙතටයි. 

ගාල්ල නගරයට නුදුරින් ගාල්ල – මාතර මාර්ගයේ කිලෝමීටර 2 ක් පමණ දුරින් අලංකාර කඳුවැටියකින් හෙබි සුන්දර වනපෙතක් දැකගත හැකිය. තැනිතලා භූමියක් වූ ගාල්ලට මෙවන් කන්දක් පැවතීම ම සැබවින්ම අලංකාරය එක් කරන්නක් විය. සංචාරක ආකර්ෂණය නිතැතින්ම හිමි කරගත් මේ කඳුවැටිය අන් කවරක්වත් නොවේ, රූමස්සලයි. මෙහි තේරුම නම් රූ-මස්-සල නැමැති වචන තුන කෙටි කර “ලස්සන කන්ද” යන්න යැයි පැවසිය හැකිය. ඇතැමුන් විසින් මේ කන්දම බොනවිස්ටා කන්ද ලෙස ද හඳුන්වයි. එනම් කන්ද පාමුල වෙරළේ ඇති බොනවිස්ටා කොරල්පරය හේතුවෙනි. බොනවිස්ටා යන නමේ තේරුම නම් “ලස්සන භූමි භාගය” යන්නයි. මෙම කන්ද අසල ඇති වෙරළට ජංගල් බීච් යන නම සංචාරකයන් විසින් ලබා දී ඇත. එනම් පුංචි කැලෑවක් අද්දර ඇති වෙරළ යන නමයි. ඉතා දුර්ලභ ගණයේ ඖෂධ ගුලාවක් වන කුඩා කඳුවැටිය විද්වතුන් පවසන ආකාරයට 150 ක් පමණ ඖෂධ වර්ගවලින් සමන්විත වේ. එම නිසා රුහුණු ඔසු උයන ලෙස ද, රන් ඔසු උයන ලෙස ද හඳුන්වයි.

2003 දී රජය විසින් අභය භූමියක් ලෙස නම් කර ඇති රූමස්සල  මීටර් 120 ක් උස වන අතර හෙක්ටයාර 20 ක රක්ෂිත වනාන්තරකින් ද සමන්විත වන අලංකාර කන්දකි. ආග්නේය සහ අවසාදිත පාෂාණ සුවිශේෂ විපරිතකරණයකට ලක්ව විවිධ පාෂාණවලින් රූමස්සල නිර්මාණය වී ඇත. යකඩ මූලද්‍රව්‍ය අධි ප්‍රතිශතයෙන් සංඝටක වූ පාෂාණ ඵලක දක්නට ලැබීම විශේෂත්වයකි.  ගොඩබිම පරිසර පද්ධතියක් තුළ ලංකාවේ දක්නට ලැබෙන දර්ශන කිහිපයක් ම මෙහි දක්නට ලැබේ. ලංකාවේ දක්නට ලැබෙන සමුද්‍රයක් ආශ්‍රිත එකම නිවර්තන වැසි වනාන්තර, ගල්පර ආශ්‍රිත දිය ද දක්නට ලැබෙන රූමස්සල එළිමහන් කලාගාරයක් බඳුය.

වාල්මිකී රචනා කරන ලද රාමායණයේ මේ කඳුවැටිය ගැන මෙලෙස සඳහන් වේ. රාවණාගේ ලංකාපුරය දකුණු පළාත ආශ්‍රිතව පැවති බවත් එය තවත් සත්‍ය කරමින් කුඩා රාවණා හා මහා රාවණා කොටු හම්බන්තොට පිහිටා තිබීම හා සීතාව පැහැරගෙන පැමිණ රඳවා තබාගෙන සිටින්නට ඇත්තේ මෙම කොටු තුළ බවත්, රාමා හා හනුමාන් ඇතුළු පිරිස සීතා රැගෙන යාමට පැමිණි අවස්ථාවේ සීතාව පිටේ තබාගෙන එක පිම්මේ ම දඹදිවට පනින්නදැයි හනුමාන් ඇසූ කළ ඇය එයට අකමැති වී එය නිවට කාර්යයක් බව ප්‍රකාශ කර තම සැමියා වන රාමාගේත් සොයුරු ලක්ෂ්මණගේත් බලය පෙන්වා සතුරු රාවණා පරදවා මරා දමා පිටත්විය යුතු බව පවසා ඇත. එම වදන් නිසා ඇති වූ යුද්ධයේ දී රාවණාගේ ශක්තියමත් හමුදාව අතින් රාමාගේ යුද සෙබළුන් පරාජය වීම නිසා සෙන්පති මහාවීර විසින් හනුමාන් කැඳවා දඹදිව හිමාල වනයට ගොස් ඖෂධ රැගෙන එන ලෙස පවසා පිටත් කළාය. එහෙත් හනුමාන් හිමාලයට යනවිට එම ඖෂධවල නම් අමතකව තිබූ නිසා ඔහු හිමාල ඖෂධ උයනෙන් කොටසක්ම උදුරාගෙන ලංකාවට පැමිණ ඇත. එම ඖෂධ ආඝ්‍රහණය කළ විගසම නැවත ප්‍රාණය ලැබූ සෙබළුන් නිසා රාවණා පරදා යුද්ධය ජයගන්නට හැකියාව ලැබී ඇති බවට විශ්වාසයයි.

තවත් විශ්වාසයක් වන්නේ මෙහි පවතින ජාතවිශාල්‍ය, සාවර්ණපකරණී, යංජීවකරණී, සත්වාන යන ඖෂධ වර්ගවලින් ඖෂධයක් සකසා නහයට ළංකර ඇති බවයි. ඉන් ලක්ෂ්මනට ජීවය ලැබුන බවට ද ජනප්‍රවාදයේ එයි. ඉන් පසුව එම ඖෂධ උයනේ කොටස නැවත හිමාලයට රැගෙන යාමේ දී ඉන් කොටසක් කැඩී ගොස් පොළොවට පතිත වී ඇත. එම පතිත වූ කොටස ගාල්ල මුහුද ආසන්නයට වැටී ඇත. අද අප රූමස්සල ලෙස හඳුන්වන්නේ එම උයනේ කොටස බව ජනප්‍රවාදයේ මෙන්ම රාමායණයේ ද විශ්වාසය කරයි. එම ගෙන ගිය ඖෂධ උයනේ ඉතිරි කොටස උණවටුන බවද ජනප්‍රවාදයේ වේ. මෙම හනුමාන් කතා පුවත සපථ කරමින් ජපන් බුද්ධ විහාරයේ ඇති විශාල හනුමාන් ප්‍රතිමාවේ එක් අතක යගදාවක් ද අනෙක් අතේ කඳුවැටියක් ද වන ලෙස නිර්මාණය කර තිබේ.

එමෙන්ම තවත් ජනප්‍රවාදයක් වේ. එය ද සීතා රූමස්සල කන්දේ ගල් ලෙනක රාවණා රජු විසින් සිර කොට තබාගෙන තිබුණු බවත් එම ගල් ලෙන සොයාගෙන පැමිණි රාමා විසින් එම ලෙන් දොර හරස් කර තිබුණු මහා කළු ගල ඔසවා පසෙකින් තබා සීතාව නිදහස් කරගෙන ඇත. එම නිසා “රාම ඉස්සූ ගල” පසු කාලීනව රූමස්සල බවට පත්ව ඇත.

මෙම කන්දෙන් මුහුද දෙසට නෙරා ගිය තුඩු දෙකක් දක්නට හැකිය. එක් තුඩුවක් ගාලු වරාය ද, අනෙක වැල්ලේ දේවාලය ද වේ. උස්බිම් ශ්‍රේණියට අයත් පාෂාණ වර්ග ද මෙහි අපට දැකගැනීමට හැකි වේ. ලොව වැඩිම ගුරුත්වාකර්ෂණ බලය සහිත ස්ථානය ලෙස ද රූමස්සල වැදගත් වේ. ආතර් සී. ක්ලාක් පවසන්නේ මීට වසර කෝටි ගණනකට පෙර පෘථිවියට කඩා වැටුනු උල්කාපාතයකින් මෙය නිර්මාණය වී ඇති බවයි. ඇතැමුන් සූර්යයාගෙන් කඩා වැටුනු  උල්කාපාතයක් බවට ද ප්‍රකාශ කරයි. එමෙන්ම ඇල්ෆඩ් වෙග්නර්ගේ මහද්වීප ප්ලාවිත සංකල්පට අනුව මෙය ඉන්දියාව දෙසින් මුහුදේ පාවීගෙන ආ හිමාලයේ කොටසක් බව පවසයි. තවත් මතයක් නම් මෙම හනුමාන් විසින් ම සීතාව නිදහස් කරගෙන යාමේ දී  ගෙනා හිමාලය කඳු කොටස දමා ගිය ස්ථානය රූමස්සල බවයි.

මෙම කඳුවැටියේ සෘෂිවරු වාසය කර ඇති බව ජනප්‍රවාදයේ සඳහන් වේ. එම මතය සත්‍ය වන්නේ එහි පවතින ගල් ලෙන් මගින් ය. එහෙත් කණගාටුවට කරුණ නම් දැනට ගල්බෝරකරුවන් විසින් එම ලෙන් විනාශ කර තිබීම ය. මෙම සෘෂිවරු කන්දේ තිබූ ඖෂධ පැළෑටිවලට කරන ගරු කිරීමක් ලෙස ඒවා නො පාගා බිම දිගේ ඇදී ගොස් පැළෑටි උදුරා ගත් බව පැරැණ්නන් ප්‍රකාශ කරයි. රූමස්සල කළුනික තිබෙන බවට ද මතයක් වේ. බ්‍රාහ්මණයෙකු තමන්ට මෙහි වාසය කරන කාලයක අවැසි ආහාර කෑම බීම සකසා ගැනීම සඳහා වයෝවෘද්ධ අයෙකු කැඳවාගෙන පැමිණ ඇත. එම මිනිසා දිනක් බත් කූරු ගෑම සඳහා අසල ගසක අත්තක් කඩාගෙන ඇත. ඉන් පසු මේ පිසින ලද බත් අනුභව කළ මහල්ලා අබල දුබලකම් නැතිව ගොස් නව ජීවයක් ලද තරුණයෙකු මෙන් වූ බව ද සඳහන් වේ. වහාම බ්‍රාහ්මණයා විසින් බත කූරු ගෑ කෝටුව පරික්ෂා කර ඇත. එය කළුනික ලෙස හඳුනාගෙන ඇත. 

රූමස්සල කුළුණු කන්ද නමැති ස්ථානයේ අක්කපාන, පතොක්, නවහන්දි, දළුක්, පලු, ඊතන වියළි හා ශුෂ්ක කලාපීය ශාක හා වැල් වර්ග දැකගත හැක. කොට්ටම්බා, දන්කෙන්ඳ, වල් දෙල්, ගොඩපර, ආදී වැසි වනාන්තර ශාක ද උණවටුන රජයේ රෝහල පිහිටි ප්‍රදේශයේ දැකගත හැකිය. නිරිතදිග හා දකුණු දිග පෙදෙස් කඳු මුදුන්හි රත් මල්, මාදං, හිඹුටු වැනි ශුෂ්ක කලාපීය පඳුරු සහිත ශාක දැකගත හැකිය. මෙම කන්දේම කොන්තාලං කඩොලාන ශාකය ද ඇත. ඖෂධ පැළෑටි 141 කින් සමන්විත වේ. ලෙඩ රෝග 108 ක ට ඖෂධයක් වූ ගොපලු ගුළිය හදන්නේ ද මෙම ගස්වලින්ය. රූමස්සල පලතුරු උයනකි. හැකි තරම් පලතුරු අනුභව කළ හැකි බවද එහෙත් රැගෙන යාමට නොහැකි බවද සඳහන් වේ. එසේ රැගෙන යන්නන්ට මග වරදින බව මතයකි. මෙම භූමියේ වැඩෙන ශාකවල සාරය අනෙක් ස්ථානවලට වඩා වැඩි බව සඳහන් වේ. මෙම කන්දේ පක්ෂි විශේෂ 72 ක් පමණ ද, සමනල විශේෂ 84 ක් පමණ ද දැක ගත හැකි බව සඳහන් වේ. මුහුදු රාජාලීන් හා මුහුදු ලිහිණින් දැකගත හැකි වේ. එමෙන්ම කොටියන්, ලේන්නු, ඉත්තෑවන්, මීමින්නන්, මෙන්ම නයින්, පිඹුරන්, පොළඟුන්, තෙලිස්සන් ආදී සර්ප විශේෂ ද මෙම කන්දේ දැකගත හැකිය. 

රූමස්සලට දකුණින් දිග දළ බෑවුමේ කුඩා කරදිය මලක් හෙවත් හුම්මානයක් දැකගත හැකිය. වාරකන් කාලයේ රළ තරමක් උසට විහිදෙයි. මෙම කන්දේ බෑවුම් දෙකක් අතර පිරිසිදු ජලය ගලා හැලෙන බෙහෙත් දොළ පිහිටා ඇත. මෙයින් දිය නෑ විට දෙයියන්ගේ ලෙඩ සුවවන බව මතයකි. මේ වන විට කළුගල් කැඩීම හා වන විනාශය හමුවේ දොළ සිඳී ගොස් තිබේ. 1875 දී බ්‍රිතාන්‍යයන් විසින් ඉදිකරන ලද අඩි 50 ක් පමණ උසින් යුත් කුළුණක් ද දක්නට ලැබේ. එය රූමස්සල කුළුණ ලෙස හඳුන්වයි. තවද මෙය ලන්දේසින් විසින් බර්ටන් කණුව ලෙස හඳුන්වා ඇත. එනම් ඩබ්. බර්ටන් නැමැත්තකු විසින් ඉදිකරන ලද්දක් යැයි සිතූ නිසා ය. මෙයම මිනුම් කුළුණ ලෙස ද හඳුන්වයි. මෙලෙස හැඳින්වීමට හේතුව වන්නේ ගාල්ල සිට මාතර දක්වා දුම්රිය මාර්ගය තැනූ මිනින්දෝරු නිලධාරීන් සිහි කර නිර්මාණය වී තිබීමයි. බ්‍රිතාන්‍ය සමයේ සතුරු නැව් විනාශයට පත් කිරීම සඳහා ව්‍යාජ ප්‍රදීපාගාරයක් ලෙස මෙය යොදාගන ඇත. එනම් ප්‍රදීපාගාරවල විදුලි ආලෝක නිවා දමා මේ කුළුණේ පමණක් ආලෝකය දල්වා ඇත. ඉතින් එලෙස නැව් දුර සිටම දකින ආලෝකය හමුවේ පැමිණ රූමස්සල අසල මුහුදේ ඇති බොනවිස්ටා කොරල්පරයේ හැපී විනාශ වේ. මේ නිසා මුහුදුබත් වූ නැව් 21 පමණ බව ද සඳහන් වේ.

ඔස්ට්‍රේලියාවේ Great Barrier Reef එකට පමණක් දෙවන වන බොනවිස්ටා කොරල්පරය රූමස්සලට විශේෂ වේ. 1796 දී පෘතුගීසි ජාතික විලියම් කාර්මයිකල් ගිබ්සන් විසින් පෘතුගීසි බසින් තබන ලද බොනවිස්ටා යන්නෙහි සිංහල තේරුම “සොඳුරු දසුන” ය. 71% සජීවී කොරල්පරයක් වන මෙහි ඝණ අඩි 30 ක ට වැඩි කොරල්පර 35 ක් ඇත. දුර්ලභ ගණයේ මසුන් 320 ක් පමණ ද, ලොව වඳවීයාමේ අවදානම සහිත කැස්බෑවන් විශේෂ 7 න් විශේෂ 5 ක් ම මෙම කොරල්පරය ආශ්‍රිතව දැකගත හැකිය.

නැව්වලට ජලය ලබාදීමට රූමස්සල කන්ද පාමුල වෙරළ අද්දර ළිඳක් ද කපා ඇත. වසංගත රෝගවලින් පීඩා විඳින්නවුන්ට රෝහලක් ද ඉදි කර ඇත. වර්තමාන බොනවිස්ටා වැඩිහිටි නිවාසය මෙය වේ. බ්‍රිතාන්‍යයන් රාජ්‍ය පාලනය කරන සමයේ රූමස්සල ක්‍රිස්තියානි දේවස්ථානයක් ද පිහිටුවා පවත්වාගෙන යන ලදි. එහි ප්‍රධානියාගේ නැගණිය විසින් ඉංග්‍රීසි ඉගැන්වීම් සඳහා පාසලක් ද ආරම්භ කර ඇත. එය වර්තමානයේ බොනවිස්ටා විද්‍යාලය වේ. මේ රූමස්සල 1874 සුසාන භූමියක් ද ආරම්භ කර තිබුණි. මෙම කන්දේම ගාල්ල දෙසට විහිදී යන තුඩුවේ වදකාගාරයක් ද, පෝරකයක් ද, වෙඩි බෙහෙත් ගබඩාවක් ද ඉදිකර තිබී ඇති යැයි සිතීමට නටඹුන් හමුව ඇත. 

රාමා, රාවණා පුවත මෙන්ම නාවික මධ්‍යස්ථානයක් ලෙස කෝට්ටේ යුගයේ රචිත කොවුල්, මයුර, පරවි යන සන්දේශවල රූමස්සල පිළිබඳ සඳහන් වේ. එමෙන්ම කාබේල් කතුවරයාගේ වාර්තා ලිපිවල ද ගාලු ඉතිහාසය කෘතියේ රූමස්සල ගැන සඳහන් වේ. පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි නාවික භටයන්, මිෂනාරී පූජකවරු භූමදානය කළ භූමියක් ද, යටත්විජිත සමයේ ලංකාවේ මැණීම් කටයුතු සඳහා භාවිත කළ ත්‍රිකෝණමිතික ස්ථානයක් ලෙස ද සිතියම්ගත වී ඇත.

ගල්කොරි ආදී අනවසර ඉදිකිරීම්, මහා පරිමාණ වාහන ගමනාගමනය, කන්ද හරහා ඉදිකර තිබෙන අඩි 40 ක පමණ පාර නිසා රූමස්සලට හානි වී ඇති බව සඳහන් වේ. එමෙන්ම  මෙම කන්ද නරඹන්නට පැමිණි සංචාරකයන් රැගෙන ආ කෑම බීමවල ඉතිරිවන පොලිතින්, ප්ලාස්ටික් වැනි නොදිරන අපද්‍රව්‍ය තැන තැන ඉතිරි කර තිබෙනු දැකීම සැබවින්ම ඉවසාගත නොහැක. එලෙස නොසිතා සිදුකරන විනාශය මගින් අනාගත පරම්පරාවට රූමස්සල තවත් එක් නටඹුන් මතකයක් පමණක් වනු ඇත. එනිසා අපේ ජාතික සම්පත් රැකගැනීමට හදවතින් කැපවිය යුතුය.

ඉතින් එළඹෙන සතියේ ඉරිදාත්, තවත් මෙවැනිම වූ දෑස් මානයෙන් සැඟවුණු සුන්දරත්වයකට ඔබව කැන්දාගෙන යාමේ පොරොන්දුව ඇතිව, සමුගන්නට අවසරයි අදට ඔබේ ආලින්දයෙන්. මේ… මුතුධරණියේ සැඟවුණු සොබා ශ්‍රී සොයා යන රූ ධාරා Colombo Beacon අපේ රූ සැරිය.

 

Design by : Pathum Lakshan

References :

Images :

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

තුෂාරි සංජීවනී

ශාස්ත්‍ර පීඨය - පළමු වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment