ශාකයක ඖෂධීය ගුණය තීරණය වීමට එය ගසක් ද, වැලක් ද, පඳුරක් ද, පැළෑටියක්ද යන්න බලපෑමක් ඇති නොකරයි. Colombo Beacon ‘සුව ධරණි’ විශේෂාංගය ඔස්සේ ගස්, වැල්, පඳුරු, පැළෑටි යන සියලු වර්ගවලට අයත් ශාකයන්ගේ ගුණ ආවර්ජනයට අපි සමත් වීමු..
ඖෂධීය වැල් වර්ගයන් ගැන පතපොතෙහි සඳහන් තොරතුරු අවම වුවත්, මෙවර අප රැගෙන එන්නේ ඖෂධීය වැල් වර්ගයක් පිළිබඳවයි.
හාතාවාරිය
උද්භිද නාමය :- Asparagus racemosus
ඉංග්‍රීසි නාමය :- Satawari
වෙනත් නම් :- ශතාවරී
බොහෝ අතු බෙදුණු, විහිදී වැඩෙන ආරෝහකයක් හෙවත් වැලකි. පත්‍ර ඉතා තද කඳ කොළ පැහැති ය. හීනී පත්‍ර සහ කටු සහිත ය. මුල් නාලාකාර ලෙස වර්ධනය වේ. අල සුදු පැහැති ය. කුඩා ය. සුවඳවත් ය.
සුදු පැහැති කුඩා මල් වර්ගයක් හට ගන්නා අතර ඒවා ඉමිහිරි සුවඳැති ය. කුඩා ඵල ගෝලාකාරයි. එහි බීජ එකක් හෝ දෙකක් දැකිය හැකි ය. හාතාවරිය බීජවලින් පැළ ලබාගත හැකි ය.
හාතාවාරිය ශ්‍රී ලංකාවේ පහත රට වියළි කලාපයේ විශේෂයෙන් දක්නට ලැබේ. තව ද, මැද රට හා කඳු ආශ්‍රිතව දක්නට ඇත. ගෙවතු වල අලංකරණය සඳහා ද හාතාවාරිය වගා කරනු ලබයි.
හාතාවාරිය පත්‍ර කොළකැඳ සෑදීමේ දී ප්‍රධාන වශයෙන් යොදා ගනී. පත්‍ර සහ අල ඖෂධ සෑදීම සඳහා ප්‍රධාන වශයෙන් යොදා ගනී.
හාතාවරියහි විශේෂත්වයක් වන්නේ උත්සව අවස්ථාවල දී අලංකරණ කටයුතු සඳහා ද යොදා ගැනීමයි.
හාතාවාරිය වර්ග තුනකි. ඒවා නම්,
👉හීන් හාතාවාරිය
👉මහා හාතාවාරිය
👉කටු රහිත හාතාවරිය
යන ප්‍රභේදයන් ය.
හාතාවාරිය වල මධුර සහ සීතල ගුණ ඇත. ශීතකාරක, මුත්‍රකාරක, බලකාරක, වාජිකරණ, කුෂ්ට නසන ආදි බොහෝ ගුණවලින් හාතවාරිය යුක්ත වේ.
මවුවරුන්ගේ කිරි වර්ධනය වීම සඳහා හාතාවාරිය ඉතා ගුණ ය.
හාතාවාරිය පානයෙන් ශක්තිය හෙවත් වීර්යය වැඩේ. ශුක්‍රාණු වර්ධනයට ද හාතාවාරිය වල ගුණ ඇත. ප්‍රජනක පද්ධතියේ දුර්වලතා වලට ද හාතාවාරිය පානයෙන් සුවය සැලසේ.
කෙට්ටු ශරීරයක් ඇති බොහෝ දෙනාගේ නොමද ආශාවක් වන්නේ ශරීරය තරකර ගැනීම ය. ඒ සඳහා හාතාවාරිය වල ගුණ පවතී.
ලේ පිට වන අර්ශස්, ආහාර මාර්ගයේ තුවාල, බඩේ දැවිල්ල ආදියට ප්‍රතිකාර කිරීම සඳහා හාතාවාරිය භාවිතා කරයි.
නේත්‍ර රෝග සඳහා ද හාතාවාරිය වල ගුණ පවතී.
තව ද හාතාවාරිය කොළ කැඳ බීමෙන් රුධිරය වර්ධනය කරන අතර සම පැහැපත් කරයි. සමෙහි ලප කැළැල් ඉවත්කර ශරීරය සිසිල් කරයි.
කකුල් පැලීම්, අත් පා දැවිල්ල ආදී උෂ්ණ රෝග සඳහා හාතවාරිය පානය සුදුසු ය.
කෙස් වර්ධනය කරන අතර හිසකෙස් සුදු වීම වළක්වා කෙස් වර්ණවත් කිරීමට හාතවාරිය සමත් වේ.
තව ද, පණු රෝග සහ හිසේ රුදා ආදියට හාතවාරිය ගුණ ලබා දේ. අධිකව දහඩිය දහනය වීම වැළැක්වීමට සහ කාන්තාවන්ගේ ඔසප් වේදනා සමනයට ද හාතාවාරිය පානය කිරීමෙන් ගුණ ලබා දේ .
හාතාවාරිය අල ඖෂධ සඳහා ගැනීමේ දී පිට පොත්ත සහ මැද නාරටිය ඉවත්කර භාවිතා කළ යුත්තේ එහි යම් විෂ සහිත බවක් අඩංගු වන බැවින් බව පොත පතෙහි සඳහන් ය.
මූලාශ්‍ර :-
- https://bit.ly/318SgTe
- දේශීය වෛද්‍යතනයේ ප්‍රකාශනයක් ඇසුරින් සහ ඖෂධීය ශාක සංග්‍රහය ඇසුරිනි
Leave a Comment