දැනුම

හාවාගල මත්තේ ගෙවුනු හිරි ගඬු පිපෙන රාත්‍රිය…

සුන්දරත්වයේ පාරාදීසය අභිබවාලන දෙව්ලොවක් මිහිපිට වේ ද, එය සොබාදම් මාතාවගේ විශ්මයජනක නිර්මාණයක් වනු බව නම් නිසැකය.

එවන් සුන්දරත්වයේ මං සලකුණු සොයා යමින්, Colombo Beacon අපේ ‘රූ ධාරා…’ ඔස්සේ ඔබව, ඔබ නුදුටු, ඔබ නොසිතන, නමුත් ඔබ දැකිය යුතුම තරම්ම සුන්දරත්වයකට උරුමකම් කියන, මේ පුංචි මුතු ධරණිය සිසාරා සැඟවුනු සුන්දරත්වයන් කරා කැන්දන් යන්නයි මේ සූදානම…

පවතින තත්ත්වය හමුවේ නෙත්කළු දසුන් සොයා ලක්දිව සිසාරා පියෑඹීමට තරම් නිදහසක් අහිමි වුව ද, දුටූ සුන්දරත්වය මතකාවර්ජනය කිරීමත්, ලැබූ අත්දැකීම් බෙදා හදා ගැනීමත් මගින් ඔබටත්, අපටත් තවමත් ඒ සුන්දරත්වය විඳීමට වරම් හිමිව පවතී. මේ වෑයම අපේ අත්දැකීම් ඔබ හා බෙදා ගනිමින් ඒ අමරණීය මතකයන් තුල යලිත් වරක් අතරමං වීමට යි.

එන්න…
අපත් සමඟින් ඒ විඳි නොවිඳි අසිරිය විඳගන්න…
හාවාගල මත්තේ ගෙවුනු හිරි ගඬු පිපුනු රාත්‍රියක සුන්දරම සුන්දර අත්දැකීම් සමගින් ගෙන එන මේ ‘රූ ධාරා’ අපේ පළමු ගමනාන්තය…

*******************************************************************

වේලාව පාන්දර 3 පසුවී මිනිත්තු 45 පසු වූවා පමණි. මම කඩිමුඩියේම අවශ්‍ය බඩු බාහිරාදිය ද සකස් කොට ගත්තේ යමක් අමතක වූවා දැයි යන්නවත් දෙවරක් සිහිකිරීමට තරම්වත් කාලයක් ඉතිරිව නොතිබුනු නිසාවෙනි. මන්ද, පාන්දර පහයි පහළොවේ කණිසමට පානදුර සිට බලංගොඩ දක්වා පිටත් වන බස් රථය අපගේ පළමු ඉලක්කය වීමයි. වාසනාවට මෙන් අපට සැලසුම් කර ගත් අයුරින් එයට ගොඩ වීමට හැකි විණි.

ගමනාන්තය වෙනුවෙන් සැලසුම් වූ අපේ කඳවුරු චාරිකාවේ මා හා තවත් සගයන් තිදෙනෙකි. කඳවුරු ගැසීම මා හට එතරම් නුහුරු නුපුරුදු වූව ද, අනෙක් තිදෙනාට නම් එය අළුත් අත් දැකීමක් නොවී ය. සති තුන හතරක් පුරා කළ සැලසුම් මතින් අපගේ ගමනාන්තය වන හාවාගලට ළඟා වීමට තවත් ඉතිරිව ඇත්තේ හෝරා කිහිපයක් පමණි.

මුහුදු මට්ටමේ සිට මීටර් 1330 ක් පමණ උසින් පිහිටි හාවාගල මුදුනත අංශක 360 ක දර්ශන පථය තුළ එක් පසෙකින් සමනළ වැව, සබරගමු විශ්ව විද්‍යාලය හා බදුල්ල මහා මාර්ගය ද, අනෙක් පසින් බලංගොඩ නගරය සහ සප්ත කන්‍යා කඳු වැටිය ද, තවත් පසෙකින් හෝර්ටන් තැන්න සහ ලෝකාන්තය ද මනාවට දිස්වේ. හෝර්ටන් තැන්නෙන් ආරම්භ වී සමනළ වැව දක්වා ගලා බසිනා බෙලිහුල් ඔය මගින් මෙම පරිසර පද්ධතිය පෝෂණය වෙමින් පවතී.

හාවාගල යන නම ලැබීම සම්බන්ධයෙන් ගෙතුනු ජනප්‍රවාදයන් රැසක් පවතී. එයින් එකක් නම්, රාවණා රජු දඩ කෙළියේ යන අතරතුරේ දී “පටුපාවකහින්න” කන්දේ සිට හීයක් විද්ද බවත්, එම හීය ඊට යාබද කන්ද විදගෙන ගමන් කළ නිසා එම කන්ද “හා ගල” ලෙස හැදින් වූ බවටත් ගැමියන් අතර පවතින මතය යි. පසුව මෙම “හා ගල” යන්න “හාවාගල” ලෙසට පරිවර්තනය වූ බව ජනප්‍රවාදයේ කියැවේ.

පෙ.ව 9.00 පමණ වන විට අපට බලංගොඩ නගරයට අප ළඟා වීමට හැකි විය. හාවාගල වෙත බලංගොඩ සිට ගමන් කිරීමට ඇත්තේ ළඳුයාය බස්රථයෙනි. ළඳුයාය බසය පෙ.ව 10.15 ට පමණ බලංගොඩින් පිටත් වන අතර නැවත ළඳුයාය දක්වා බස් රථයක් පවතිනුයේ ප.ව 2.00 ට ය. බස් රථයට නැගි අප, අපේ ගමන ඇරඹීමු. බෙලිහුල් ඔය ප්‍රදේශය පසු කොට බස් රථය පිවිසියේ දුෂ්කර මාර්ගයක් වෙත ය. මාර්ගය ඉතා පටු ය. එමෙන්ම ග්‍රීෂ්ම පරිසරයෙන් මිදීමත් සමඟින් ගතට ද ක්‍රමක්‍රමයෙන් සීතල දැනෙන්නට විය. ඒ දැනෙන සීතල සුළං ගත දවටා ගනුයේ සිතට මෙන්ම ගතටත් ගමන ආරම්භ වන බව එන්නත් කිරීමටය.

බස්රථය පෙ.ව 11.30 ට පමණ අපේ ගමනාන්තයට ළඟාවිණි. බස්රථයේ ගමනාන්තයත් හාවාගල තරණය ආරම්භයත් එකම ස්ථානය වීම ්ඵට අතිශය පහසුවක් විණි.

ගමනාරම්භය වැටී ඇත්තේ කඩ මණ්ඩියක් ඔස්සේ පහලට වැටුණු කුඩා අඩි පාරකිනි. ගමනාරම්භයේ දී ම තවත් මිතුරන් දෙදෙනෙකු ද අප සිව් දෙනා සමඟින් එක් වූයෙන් අපේ නඩය හය දෙනෙකු දක්වා වැඩි වුණි. නමුත් ඔවුන් මිනිස් යහළුවන් නම් නොව, මිනිසාගේ විශ්වාසනීයම මිතුරෙකු වූ බලු යහළුවන් දෙදෙනෙකි.

නමුත් පුදුමයක මහත නම් එම බල්ලන් දෙදෙනා කඳු මුදුනටම යන තෙක් මග පෙන්වමින් අපත් සමඟ පැමිණීම ය.

ටික දුරක් යත්ම පාලමක් සහිත දිය පහරක් හමු වූ අතර, පසුව තරමක් දුෂ්කර බෑවුම් සහිත ප්‍රදේශයක් තරණය කිරීමෙන් අනතුරුව අපි ඉමක් කොනක් නොපෙනෙන තේ වත්තකට පිවිසීමු. තේ වත්ත මධ්‍යයෙන් ඉතා කුඩා අඩිපාරකි. එය කෙතරම් පටුද යත්, ඇතැම් ස්ථාන වලදී අපට තේ ගස් පීරා ඉදිරියට යාමට සිදුවිණි.

තේ වත්ත පසු කළ විගසම හමු වූයේ කුඩා දියසීරාවකි. ඒ මැදින් යාමට මාර්ගයක් වැටී තිබුණු අතර එම දියසීරාව ගැන වැඩි යමක් සඳහන් කළ යුතුමය. මන්ද යත්, මේ දක්වා පැමිණි ගමනේ විඩාව ක්ෂණයෙන් නිවා ලීමට ඒ කුඩා දිය සිරාව සමත් වීමයි. කඳු මුදුනෙන් ආරම්භ වන නිසාවෙන් වතුර ඉතා පිරිසිදු මෙන්ම පැහැදිලි මට්ටමේ පැවතී ය.  සියලු දෙනා ඇති පදම් සීතල නැවුම් වතුරින් බඩ කට පුරවාගෙන කඳු මුදුනට රැගෙන යාමට ද බෝතල් කිහිපයකට වතුර පුරවා ගත්තෙමු. කඳු මුදුනෙහි පිරිසිදු ජල පොකුණක් ඇති බවට පෙර අසා තිබූ හෙයින් වැඩිමනක් ජලය පුරවා නොගෙන අපි එතනින් නික්මී ඉදිරියට ඇදී ගියෙමු. 

වෛවර්ණ වූ පරිසර පද්ධතීන්, නෙක විධ සත්ත්ව විශේෂයන්, ත්‍රාසය දනවන කඳු බෑවුම් සහිත තරමක් දුෂ්කර වූ ගමන් මාර්ගයෙහි හෝරා දෙකක් තිස්සේ ඉදිරියට තරණය කළ පසු අප සිව් දෙනා ඇතුලු වූයේ වංකගිරියකට ය. එය ෆයිනස් ගස් වලින් ගහන වූ වනාන්තරයක් විය. බැලු බැලු සෑම තැනම දැක ගත හැකි වූයේ ෆයිනස් ගස් ය. අඩිපාරක් වත් සොයාගැනීමට අපහසු වූ හෙයින් සිතට යම් චකිතයක් ද දැනුණි.  නමුදු අප හා මග දී එකතු වූ මිතුරන් දෙදෙනා අප සිව්දෙනා නතර වී කල්පනා කරමින් සිටිය දී පවා ඉදිරියට ඇදුණි. ‘කුමක් හෝ වන්නට’ යැයි සිතා අපි උන් දෙදෙනා පසුපස යාමට තීරණය කළෙමු. මන්ද යත් ඔවුන් මෙම සේවාවෙහි පලපුරුදුකරුවන් බව අප සිතූ හෙයිනි. අපේ මිතුරන් දෙදෙනාගේ ඉව නිවැරදි ය. අතරමං ව සිටි වනාන්තරයේ අඩිපාරකට අපව වැටුණි.

කෑලෑව අවසානයත් සමඟම තැනිතලා භූමියකට අපි පිවිසියෙමු. එය අන් කිසිවක් නොව අපගේ ගමනාන්තය වූ හාවාගල කඳු මුදුන යි. වේලාව පස්වරු 4.30 පමණ වී ඇත. ඉර අවරට යාමට සූදානම්ව තිබුණි. සීතල සුළං රැළි ගමනේ විඩාව නිවාලීය. කඳු මුදුන මීදුම් වලාවකින් වසා ගැන්මට මාන බලමින් පැවතිනි. සිතට දැනෙන හැඟීම් වදන් ගත පෙරළීමට මා හමුවේ ඇති වචන අප්‍රමාණ ය. එය එතරම්ම චමත්කාරජනක අත්විඳිය යුතුම හැඟීමකි. දසත සිසාරා පැවති සුන්දරත්වයේ අසිරිය විඳිමින් අපි මොහොතක් නිහඬව පරිසරය සුන්දරත්වය තුල කිමිදීමු.     

පරිසර සුන්දරත්වය විඳීම මොහොතකට පසෙකලා අපි ඒ මේ අත පිරික්සූයේ අප පෙර අසා තිබූ ජල පොකුණ සොයා ගැනීමට ය. මද වෑයමකින් අප එම කුඩා දිය පොකුණ සොයා ගතිමු. නමුත් අවාසනාවක මහත නම් එයින් දිය දෝතක් ගත් විට එහි මදුරු පනුවන් රොත්තක් සිටීම ය. එහෙයින් අපි පහළින් පුරවා ගත් වතුර ස්වල්පය ඉතා අරපිරිමැස්මෙන් භාවිතා කළ යුතු බවට අදිටන් කරගෙන ආපසු හැරී එන්නට විය. 

අපගේ ඊළඟ කර්තව්‍යය වූයේ අපි රැගෙන ආ කුඩාරම ගැසීම යි. කූඩාරම සවි කරන ස්ථානයට ඝනකම ඉටි කොළයක් බිමට යොදා  කූඩාරම ඉහළා එහි හතර කොන  කොකු මගින් පොළොවට සවි කළෙමු. වැඩි හොඳටත් කියා අපි කූඩාරමේ කොන් හතර විශාල කළු ගල් වල ලණු ආධාරයෙන් ගැට ගැසූයේ සුළඟට හසුව කූඩාරම ගසා ගෙන යාම වැළැක්වීමට යි.   

ක්‍රමක්‍රමයෙන් සීතල වැඩි වෙත්ම ගිනි මැලයක අවශ්‍යතාවය දැනෙන්නට විය. එහෙයින් අපි ගිනි ගොඩක් ගැසීම සඳහා වියළි තණකොළ, ෆයිනස් ගස් වලින් වේලී බිම වැටුණු අතු රිකිළි  ආදිය සොයා ඇවිද්දෙමු. මේ අතරතුර දී මා නෙත් දුටු යම් දෙයකින් මා තරමක් දුරට තිගැස්මකට ලක් වුණි. එනම් ගෝනෙකුගේ යැයි සැක කළ හැකි සතෙකුගේ ඇට කටු ගොඩක් තැනෙක තිබී හමු වීම යි. එය පැහැය අතින් අතිශය පිරිසිඳුය. දැලි ස්වල්පයක් හෝ බැඳී නොතිබිණි. එහි අර්ථය නම් මෙය මිනිසකු විසින් පුලුස්සා ආහරයට ගත්තක් යැයි සැක කල නොහැකි බවයි. එසේ නම් මෙය, මෙම සත්වයා මාංශ භක්ෂක සතෙකු විසින් ගොදුරු කර ගැනුමක ප්‍රතිඵලයක් විය යුතු ය. එසේ නම් මෙවන් ස්ථානයක රැයක් ගතකිරීම කෙතරම් ආරක්ෂිත ද? එය අතිශය භයානක රාත්‍රියක් වීමට ද ඉඩ ඇත. නමුත් කෙතරම් පිරික්සුවත් හාවන් සහ වෙනත් කුඩා සතුන් සිටින බවට ඇති තරම් සාක්ෂි හමු වුව ද, විශාල සතුන් සිටිනවා යැයි සැක කිරීමට තරම් කිසිඳු සාක්ෂියක් අප නෙත නොගැටුනි. අද වෙන තුරුත් මෙය මට, මා දුටු විසඳා ගත නොහැකි ගුප්ත දෙයකි.

ඝන අන්ධකාරයත්, දැඩි සීතලත් ක්‍රමක්‍රමයෙන් අපව වෙලා ගන්නට විය. අපි කූඩාරම තුළට වීමු. කෑමට ගෙනා මුරුක්කු කිලෝවක් පමණ මාගේ බෑගය තුළ ඇති බව මතක් වූයෙන් එය රැගෙන මැද්දෙන් තබා අපි හතර දෙනා වටේට වාඩිවී සැනසීමට ඇති පදම් මුරුක්කු කෑවෙමු. අතරින් පතර කෑමට බාධා කරමින් විහිළුවක් දෙකකුත් මතුවන්නේ කමින් සිටි මුරුක්කු ද ඉස්මොල්ලේ යවමිනි. මෙසේ හෝරාවක් පමණ ගතවත්ම සුළඟේ වේගය අනපේක්ෂිත ලෙස වැඩිවන්නට වූයෙන් කූඩාරම සෙලවීම ආරම්භ විය. කූඩාරමේ වසා තිබූ දොර විවර කළ විට දක්නට ලැබුණේ කූඩාරමේ වැඩි ආරක්ෂාවට යැයි ගැට ගසා තිබූ කළු ගල් ද සුළං පහරට තල්ලු වී ගොස් ඇති බවයි. තව සුළු මොහොතකින් කූඩාරම පොළොවට සවිකර තිබූ කොකු හතරත් ගැලවී යනු නිසැක ය. කොක්හඬලමින් මෙතෙක් වේලා සිටි ආතල් එක කුඩු පට්ටම් වුණි.

තරමක් හැඩිදැඩි සිරුරකින් හෙබි මට කූඩාරම තුළට වී සිටින ලෙසට දන්වා මාගේ සගයන් තිදෙනා කූඩාරමේ කොන් නැවත ගල් වල ගැට ගැසීමට ගියහ. නැතහොත් හතර දෙනාම එක වර කූඩාරමෙන් ඉවතට පැමිණියා නම් එය නිසැකවම සුළං පාරේ ගසා ගෙන යනු නිසැකය. සුළං පහරේ වේගය තවතවත් වැඩි වෙමින් පැවතිණි. කූඩාරම තුළ සිටින මා හට දැනෙන්නේ එය හැකිළී යාමට ඔන්න මෙන්න ඇති බවයි. මා සගයන් කූඩාරම කොපමණ වැරෙන් බැඳ තැබීමට උත්සාහ කළද එය නිශ්ඵල කර්තව්‍යයක් වීය. අවසන අපි හතර දෙනා එක්ව කූඩාරම එම ස්ථානයෙන් ඉවත් කොට වෙනත් ස්ථානයකට රැගෙන යාමට තීරණය කළෙමු.

කූඩරමත් ගලවාගෙන, කුඩා විදුලි ආලෝකයෙන්, මහා කන්දක් මුදුනේ, දැඩි සුළඟක් මැද, සුළං සැර අඩු ස්ථානයක් සෙවීම පිදුරු ගොඩක ඉඳිකට්ටක් සොයනවා මෙන් විය. වෙනත් තැනක් බැලූ විට එහි පෙරටත් වඩා සුළං සැර වැඩිය. කර කියා ගැනීමට දෙයක් සිතාගත නොහැකිව වුන් අපට, පෙර පිනකට මෙන් වනය තුළට මුහුණලා ඇති, කලින් පිරිසක් කූඩාරම් ගැසූ තැනක් සොයා ගත හැකි විය. ඇඟට ලේ ටිකක් ඉනුවේ එය දුටු විට ය. එම ස්ථානයට සුළං සැර දැනෙනුයේ ද ඉතා අඩුවෙනි. සුළඟේ ශබ්දය පමණක් ගැඹුරින් ඇසුණි.

අපි කූඩාරම එම ස්ථානයේ සවි කොට රාත්‍රී ආහාරය පිළියෙල කළෙමු. හැමදේම නූලට සිදුවීගෙන එද්දි “බර බරාස්” ශබ්දයක් ඇසුණි. ඒ අපේ නඩයෙන් එක් මිතුරෙකු පසක තිබූ කුඩා ගෑස් ලිප දමන පෙට්ටිය පපඩමක් ලෙස තැලීමෙන් ඇති වූ හඬයි. පපඩමක් වන තරමටම එය තලා අප දෙස අහිංසක බැල්මෙන් ඔහු බලා සිටින්නට විය. කුමක් නම් කියන්න ද? එය අත්වැරැද්දක් නිසාවෙන් අපි කර බා ගෙන සිටියෙමු. නමුත් එය කුළියට ගත් එකක් වීම නිසාවෙන් සියල්ලන්ගේම සිත් වල වූයේ දෙගිඩියාවකි.

රාත්‍රී ආහාර ගැනීමෙන් පසු අපි ගිනිමැලය දැල්වීමට දර එකතු කළ ස්ථානයට ගියෙමු. තවමත් සුළං පහර දැඩි ය. අපව ගසාගෙන යාමට තරම් ම එය ප්‍රබල ය. අතින් කුමක් හෝ ගිලිහුණොත් එය නිසැකවම ගසා ගෙන ගොස් නවතිනුයේ සමනළ වැවෙන් ය. නමුත් පුදුමයට කරුණ නම් බිම තබා ඇති ඉතා සැහැල්ලු දෙයක් පවා ස්ථායිව පැවතීමයි. අප ගිනිමැලයට ගෙනා වියළි තණකොළ පවා තබා තිබූ තැනම නොසෙල්වී තිබූයේ පුදුම සහගත ලෙසිනි. මෙයද ප්‍රෙහෙලිකාවක් ලෙස සිතෙහි ඉතිරි වූ තවත් දෙයකි. සුළං පහර හේතුවෙන් ගිනිමැලය ගැසීම එතරම් සාර්ථක නොවී ය. කෙසේ වීමුත් රාත්‍රී 11 හෝරාවට පමණ දහසකුත් එකක් අත්දැකීම් ද සමඟින් අපි නින්දට යාමට තීරණය කළෙමු. දැඩි සුළඟ නිසාවෙන් කැළෑවේ ගස් එකිනෙක ඇඹරෙන ශබ්දය කාන්තාවක් විලාප තියන්නාක් මෙන් තියුණු බියකරු හඬක් ඉපැදවීමට සමත් විය.

පාන්දර 5.30ට පමණ අවදි වූ අපට ඉර උදාවේ චමත්කාරය ද අත් විඳීමට හැකි විණි. උදෑසන කෝපි කෝප්පයක් බී පාන් පෙති කිහිපයක් කා අනතුරුව උදෑසන 9.00 පමණ වන තුරු කඳු මුදුන වටේම ඇවිද අපි දසත සිරි නැරඹුවෙමු. කඳු මුදුනට සමු දීමට වෙලාව පැමිණ ඇත. කූඩාරම හකුලා, වට පිටාවේ කඩදාසි කොළයක තරම්වත් යමක් ඉතිරි නොවන පරිදි ගෙන ආ සියල්ල අපි අපේ ගමන් මලු වලට ඔබාගත්තෙමු. අප නික්මීමට හදනවාත් සමඟම තවත් 40 ක පමණ නඩයක් කඳු මුදුනට පැමිණියහ . අප හා ගමන ආරම්භයේ සිට මෙතෙක් වේලාවක් සිටි බලු යාලුවන් ද ඔවුන් හා එක් වීය.

නැවතත් අපි පහළට බැසීම ආරම්භ කළෙමු. ගමන් අවසන් වන විට, ආරම්භයේ දී හමුවූ පාලම නෙතට හමු වීම හිතට මහත් අස්වැසිල්ලක් විය. අපි විඩාව නිවෙන්නට එම දිය සීරාවට බැස සිත් සේ නා ගත්තෙමු. එය දිය නෑමට සුදුසු ස්ථානයක් සහ පහළට වැටෙන සේ ජල පීල්ලක් ද සකස් කොට ඇති රමණීය ඉසව්වකි. අනතුරුව දහවල් 2.00ට පමණ ලඳුයායෙන් බලංගොඩ දක්වා දිවෙන බස් රථය අල්ලා ගැනීමට අපි සමත් වූ අපි ගොම්මන් කළුවරත් සමඟින් යලිත් අපේ නිවෙස් වෙත පිය මැන්නෙමු.

කඳු තරණයට සේම සොබා දම් අසිරිය විඳ ගැනීමට බාල, මහලු, තරුණ ඕනෑම අයෙක් කැමතිය. නමුත් එසේ පිය මනින්නන්ට කීමට ද එක් කුඩා නමුත් මතකයේ තබා ගත යුතුම යමක් තිබේ. එනම්,

ඔබ ද ගොස් පරිසරයේ රසය විඳින්න. නමුත් ඔබ රැගෙන ගිය දේවල් වලින් පා සටහන් පමණක් ඉතිරි කොට පැමිණීමට අමතක නොකරන්න. පරිසරයෙන් ලබා ගත් දැනුම, වින්දනය, ත්‍රාසය ,කුතුහලය සහ අත්දැකීම් පමණක් නැවත ඔබ සමඟ පරිසරයෙන් ආපසු රැගෙන එන්න.

තවත් සුන්දර සොබා ශ්‍රී සොයා යන ගමනාන්තයක් වෙනුවෙන් විරාමයක් තබා අපි හාවාගලින් සතියකට සමු දෙමු. 

Design by Samith Kanshadha

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

පැතුම් සඳරුවන්

විද්‍යා පීඨය - දෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment