සියළු දොස් දුරුවී, එකතැන පල්වෙන එදිනෙදා ජීවිත නව මාවතකට ගෙනියන්නට බොහෝදෙනා අළුත් මුට්ටියක කිරි ඉතිරෙව්වේ, සිහින මත ගොඩනැංවූ සිහින මාලිගය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වීමට නව දශකයට ආවඩමිනි.
“අවාසනාවක තරම, අහෝ! දෙවියනි, හරස්වුයේ… කාලයද? එසේත් නැතිනම් කරුමයද? එසේත් නැතිනම් වෙන කුමක් හරිද? ”
සියල්ලෝම නිරුත්තර වුනි.
ලෝක බලවතුන් බොහෝදෙනකු ඒ වනවිටත් යටත් වී හමාරය. ඒ සමඟ සටන් කල බොහෝදෙනකු මරු තුරලට ගියේ ගැලවීමක් නොමැති තැනය. දසන් දක්වා පෑ සිනහව, දෙනෙත් දක්වා සීමා විය. අවුරුදු කෑම මේසය නිවස්නයටම කොටුවිනි. ඔන්චිල්ලාව තනිවිය. රබාන නිහඬ විය. වෙසක්, පොසොන් ඇතුළු සියළු උත්සව, අධ්‍යාපනය ඇතුළු අනෙකුත් සියලුම කර්තව්‍යයන් විද්‍යුත් මාධ්‍යයටම කාවැදිනි. එදාවේල හම්බකරන් කෑ බොහෝදෙනා කබලෙන් ලිපට වැටුනේ සාක්කුව අවසන් තුට්ටුවටම හිස් කරමිනි. වෙනසට බියවූ බොහෝදෙනා ආරම්භයේදී ඉන් පලාගියත් පසුව වෙනසට අවනත විය.
කාලය ගතවිනි… ලෝක බලවතාටත් අභියෝගක් වූ, ඒ අභියෝගකරුවා දණගැස්සවීමට යක්ඛ දේශය සමත්වූයේ එකතැන නතරවුනු සිහින මාලිගාවලට නැවත කොළ එළියක් ගෙන එමිනි.
“කෝ මාස්ක් එක”
“මන් කෝරෝනා පෲෆ්”
දසන් දක්වා සීනාසීමට කාලය එළඹිනි. මාස්ක් එක අමතක විය. සැනිටයිසරය නොසලකා හැරිණි. මීටරය සෙන්ටිමීටරයටම ළංවිය. ගතවුනේ මසකටත් වඩා අඩු කාලයකි. දසන් දැක්වූ සිනාවට අභියෝගකරුවා නැවතත් හරස්විය.
අමතක වූ මාස් එක, කබඩ් ගත කෙරූ සැනිටයිසරය නැවත සොයන්නට විණි. දැලි පිහියෙන් කිරි කෑ සියල්ලන් නිසාවෙන්, කිරි නොකෑ ඇත්තන්ද අනතුරේය. තැනූ සිහින මාලිගා හිටපු තැනටම සමතලා විනි.
අහෝ… කිම ද…
අභියෝගකරුවා නැවතත් රතු එළි දල්වන්නට පටන් ගෙන ය…
Image Resources :
Leave a Comment