සාමාන්‍ය

හීන කොහෙද..

මහ සද්දෙත් එක්ක රුහුණු කුමාරි දෙකට පටන් ගත්තු ගමන තාමත් එක හුස්මට යනව.කෝච්චියේ රෝද රේල්පීලි වල ගැටෙන හඬ මට ඇහෙන්නෙ හරියට කවුරුහරි වේදනාවෙන් කෑ ගහනව වගේ.. චූටි කාලෙ කෝච්චියෙ හුලං ගිහින් කියල යාලුවොත් එක්ක ගත්තු ආතල් මතක් වෙලා තනියම හිනාගියා..මහ සෙනග මැද්දෙ මං තනියම හිනාවෙලා.. ලැජ්ජාවටම වටපිට බැලුනෙ ඊටත් පස්සෙ..මිනිස්සු දැක්කනම් හිතයි තනියම හිනාවෙන්න පිස්සු කියල.. මමනෙ දන්නෙ මං පිස්සු කෝච්චියක් කියල..????
ඒ අස්සෙ අරමුණක් නැති මගේ හිතත් දහ අතේ දුවනව.. එහෙන් උතුරන්න දාඩිය පිට දිගේ බේරෙනව.ඇඟිල්ලක් ගහන්න බැරි තරමටම සෙනග.සිකුරාද කියන්නෙ කෝමත් බස් කෝච්චි වල සෙනග උතුරන දවස.ඒකෙත් සිකුරද හවස කියන්නෙ ඉතින් සතියෙ දවස් පහේම හිතේ නිවනක් නැතිව දරු පැටවු වෙනුවෙන් හම්බකරන තාත්තල, ජීවිතේ ලස්සන කරගන්න කීයක් හරි හොයාගන්න රස්සාවක් හොයන් කොළඹ ආපු අක්කල අයියල වගේම අවුරුදු ගානක් කන්න අඳින්න දීල උස් මහත් කරපු අම්මල තාත්තලගෙ ලොකුම හීනෙ හැබෑ කරන්න දුර කැම්පස් ආපු අපි වගේ අය කවුරුත් ගෙවල් වල යන වෙලාව..

කල්පනා ලෝකෙ තනිවෙන්න කියාපු තැනක් තමයි ජනේලෙ අයින…හුලං පාර ඇවිත් මූණෙ වැදෙන කොට දැනෙන ආතල් එක ඊට වැඩිය වැඩියි.. මාත් මාව කපාගෙන යන හුලං පාරට ඇල්ලුව මූණ.. කල්පනා කරන්න නම් කොච්චර දේවල්ද..ඒ අස්සෙ හොරෙන්ම ගිහින් ඇස් දෙක නැවතුනේ එහා පැත්තට වෙන්න වාඩිවෙලා හිටපු කපල් එක ගාව.. අත් අල්ලගෙන උන් වෙනම ලෝකෙක..දැන්නම් කපල් දැකලම ගානක් නෑ.. සූටි කාලෙ අම්මත් එක්ක බස් එකේ යද්දි කපල් එකක් අත් අල්ලන් හිටියොත් ඇස් ලොකු කරගෙන හොරෙන් බලපු කාලෙ මතක් වුනා.. ??? ආයිමත් මට තනියම හිනා..උන් හරි හරියට උන්ගෙ අනාගතේ ප්ලෑන් කරනව වෙන්න ඕනි..කෙල්ලගෙ ඇස් දෙකට එබිල කොල්ලෙක් උගේ අනාගතය හොයනව.අත් දෙකෙන්ම කොල්ලගෙ අල්ල හිර කරගෙන කෙල්ල අනාගතය වෙනුවෙන් රැකවරණයක් හොයනව..ඕනම කෙනෙක්ගෙ ජීවිතේට ලැබෙන ආදරේ දෙවනි ඉනිම උන් දෙන්න මට මවල පෙන්නුව.. තව බලන් හිටියොත් ගුටි කන්න වෙන නිසා මං ජනේලෙන් ආයිමත් එලිය බැලුව..

ජීවිතේට ලැබෙන ආදරේ පලවෙනි ඉනිමෙ අපිත් එක්ක ඉන්නෙ අම්මයි තාත්තයි..දෙන්නගෙම මූණු පිලිවෙලට මතක් කරගත්තෙ මං ඇස් වහගන්න ගමන්.. ඇස් ඇරල බලනකොට එක වගේ පෙට්ටි ගෙවල් ටිකක් එක දිගට පාස් වෙනව.. බෝඩ් එකක් බලන්නෙ නැතුවම මං ප්ලේස් එක අඳුරගත්ත. මුහුද එක පැත්තකින් තියන් ඊට ඉස්සරහින් කෝච්චි පාරෙන් මේ පැත්තට වෙන්න හදපු මේ පැල්පත් ටික හැමදාම මට නොකිය කිව්වෙ මේ උඹ ඉන්නෙ මොරටුවෙ කියල.
කෝච්චි පාරෙ කෙලවරට වෙලා ඔහේ බිම ඉඳගෙන දුප්පත් අම්ම කෙනෙක් කෙල්ලව උකුලට හාන්සි කරන් ඔලුව බලනව..හෙලුවැල්ලෙන් ඉඳන් කෝච්චිය පස්සෙන් දුවගෙන අපිට හූ කිය කිය අත වනපු පොඩි කොලු පැටිය ඒ අම්මගෙම වෙන්න ඇති කියල මට නිකමට හිතුන.එදාවේල යන්තම් හොයන් දරු පැටවුන්ගෙ බඩගින්න නිවන්න උන් විඳින දුක උන්ගෙ මුඩුක්කුව දැක්ක ගමන්ම මගේ හිතේ අවුලවල ගියා..

චෙක්කො පනී කියල අතේ ගුලි කරගෙන හිටපු ටිකට් එක දිහා මට නිකමෙට බැලුන.තුන්වෙනි පන්තියෙ ටිකට් එක දැකල මගෙ පපුව හෝස් ගෑව..ඒක දාඩියෙන් පෙඟිල දියවෙලා යන්න ඔන්න මෙන්න..උන්ගෙ ජීවිතත් දියවෙලා ගියපු ටිකට් එක වගේ.. අඩුවක් නැතිව මගේ කුසගින්න නිවන්න මගෙ අම්මලට පුලුවන් ඇති..මට ඕනි ඕනි විදියට අඳින්න දෙන්න මගෙ අම්මලට සල්ලි ඇති..ගෙදර හදපු කෑම රස නැත්නම් කඩේට දුවල ගිහින් කඩචෝරු කන්න මට සල්ලි ඇති..ඒත්… උනුත් මාත් තාම එකම පන්තියේ නේද කියල අන්තිමට මං මගෙන්ම ඇහුව…නිර්ධන පංතිය කියන වචනෙ හිතේ මොකක්දෝ හැඟීමක් එක පාරටම ලියල ආයිමත් නැතිවෙලා ගියා..රට කන දේශපාලුවො, උන්ව කරට ගත්තු ලොකු සල්ලි කාරයො ඔක්කොම ධනපති පංතියෙ ලේබල් ගහන් ඉන්න අතරෙ උන් ඇරෙන්න මන් උඹ අපි තාම මේ නිර්ධන පංතියෙ…

කෝච්චියේ එක කෙලවරක ඉඳන් මේ කෙලවරේ පෙට්ටිය වෙනකන් උගුර කඩන් වඩේ විකුණන ඇන්ටිත්, කූල් වතුර එකක් ගන්න කියල කෑ ගහන අන්කලුත්, අබ්බගාත වෙලා රස්සාවක් කරගන්න බැරිව කීයක් හරි ඉල්ලන් හිඟාකන මනුස්සයත් සමහරවෙලාවට කීයක් හරි හොයන්නෙ උන්ගෙ ලමයින්ට පොතක් පැන්සලක් අරන් දෙන්න..සපත්තු දෙකක් දාල ඉස්කෝලෙ යවන්න වෙන්න පුලුවන්..උන්ගෙ ඇස් වලත් හීනයක් ලියවිල ඇති උන් විඳින අපායෙන් ගොඩ එන්න.. උන් දන්නව දැන් ඒකෙන් ගොඩ එන්න තරම් උන්ට හයි හක්තිය නෑ කියල.මොකද උන්ව සපත්තුවට පාගගෙන ලොකු එවුන් ඉන්න නිසා.ඒකයි උන් උන්ගෙ ලමයින්ට උගන්නන්න රෑ දවල් බලන්නෙ නැතිව දාඩිය වගුරවන්නෙ..පිට කොටුවෙ මුට්ට කරගහන්නෙ..උන්ටත් හීන තියන එක සාධාරණයි..මගේ අම්ම කැම්පස් ගිහින් මං එනකං බලන් ඉන්නව වගේ උන්ටත් ආසාවක් ඇති එහෙම ඉන්න උන්ගෙ දරුවො එනකන්.. සල්ලි පොඩ්ඩක් තියාගෙන වාහනයක් ලීස් එකට අරගෙන ධනපති පංතිය කියල රඟන මෝඩයන්ට වඩා පොලොවෙ පය ගහල ඉන්න උන්ට තියනව ලස්සන හීන..උන්‍ටත් ඕන ජීවිතේ විඳින්න..ඒත් කෝ උන්ට අවස්ථා..???

ෂික්..සරබරං සද්දෙකුත් එක්ක පත්තරේ දිගෑරපු අල්ලපු සීට් එකේ අන්කල් මගේ දැහැන බින්දා.දිගෑරපු පත්තරේ දිහා මං බැලුවෙ නිකමට.කම්මැලිකමට.ඒත් දැක්ක දෙයින් උඩ ගිහින් බිම වැටුන.කලකිරිම ඉස් මුදුනටම ගහපු නිසා කියෙව්වෙ හෙඩ්ලයින් එක විතරයි..කොලඹ,පේරේ කැම්පස් දෙකම UGC එකෙන් අයින් කරන්න යනව කියල උන් සාකච්චා පවත්තනවලු.අපිට කියන්නෙ උන් බෙල්ලෙ වැල් දාගන්නද එතකොට..උන් නොකිය කියන්නෙ ඒ දෙකත් ප්‍රයිවට් කරල උපාධි ටික සල්ලි වලට විකුණන වැඩක් ගැන නෙවෙයිද.. මරාගෙන මැරෙන්න හිතෙනෝ මුං වගේ හාල් පාරුවො වෙලාවකට.. ඒ ඔක්කොම වචන ටික ගුලි කරල මං මගේ හිත ඇතුලෙම තියාගෙන ගැඹුරු හුස්මක් එක්ක හිස් බැල්මක් විතරක් එලියට පිට කලා..
සයිටම් වලට විරුද්ධ වෙලා.. බාට කෑලි දෙක ගෙවෙනකන්..උගුරෙ ලෙලි යනකන්.. කෑ ගහ ගහ නිදහස් අධ්‍යාපනේ වෙනුවෙන් අරගල කරන,උන්ගෙ කඳුලු ගෑස් කාගෙන වේල් ගානක් බඩගින්නෙ ඉඳන් අට්ටාල වල සති මාස ගනන් උපවාස කරන හැම කොල්ලෙක්ම කෙල්ලෙක්ම පුංචි කාලෙ ඉඳන් දුක් විඳපු රේල් පාරෙ අයිනෙ අර අම්මගෙ දුව වෙන්න පුලුවන්..වඩේ විකුණපු අර තාත්තගෙ පුතා වෙන්න පුලුවන්..දහසක් හීන මවපු උන්ගෙ හීන එක්ක නේද මුං සෙල්ලං කරන්නෙ කියල හිතනකොට ගිනි අරගත්තු හිත පිච්චිලා අලුවෙලා ගියා..

වෙනද බෙන්ස් එකෙන් බැහැපු ඌත් අද මාත් එක්ක බස් එකේ ඇවිත් බැහැල කැන්ටිමේ කෙලවර බංකුවක අනිත් උන් එක්ක එක බත් එක ලිහන් කනව..සයිටම් එක ජනසතු කරල තව රජයෙ මෙඩිකල් ෆැකල්ටි එකක් විදියට ස්ථාපිත කරේ ඊයෙ නඩු තීන්දුවෙන් කියල ඌ මාත් එක්ක කිසි ගානක් නැතිව සතුටින් කිව්ව..සයිටම් වහපු සතුට හිතේ තියන් මං ලෙක්චර් හෝල් එකට යනකොට මැඩම් ඇවිත් කඩ්ඩෙන්ම ලෙක්චර් එක.. අපේ උන් හරි හරියට කඩ්ඩෙන්ම නෝට් ලියනව.පලවෙනි වතාවට මීඩියම් තුනේම ඔලුගෙඩි එක පාරට දැක්ක.. ඊලගට… රූප රාමු පෙලේ ඊලඟ කොටස බලන්න හිතුව විතරයි.. කාගෙද තට්ටුවකින් මං නින්දෙන් ඇහැරුණා..
අඩෝ එරා..නැගිටපන්..මේ මාතර ස්ටේසම..සෙට් එකේ එකෙක් මාව කීද්දුව…නින්දෙන් ඇහැරුණත් හීනෙන් ඇහැරෙන්න දුක හිතුණ..මොනා කරන්නද ඒක හීනයක්ම වුණත්… කට වහගෙන ඇස් පියාගෙන ඉන්න තීරණය කරල කෝච්චියෙන් බැස්ස..මං යනව..උඹ හිතපන්..පුලුවන් නම් ලියපන්… ඒ හීන ඔක්කොම හැබෑ වෙච්ච දවස ගැන…

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

එරංගා දිසානායක

නීති පීඨය - අවසන් වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment