පතොක් මල කියන්නේ සුන්දර මලක්. කතරකට පිපෙන පතොක් මල් තවත් සුන්දරයි. ඒ කතරට පිපෙන එකම හැඩකාරි ඇය පමණක්ම වන නිසා.ඉතින් මේ කාත් කවුරුත් නොදන්න පාලු කතරට පිපෙන පතොක් මලුත් අපේ ජීවිතේ හීන වගේ. නොදැවී දැවෙන කර්කශ හිරු රශ්මියත්, තනි වී තනිනොවන හුදකලාවත් තුළින් පතොක් මලක් පිපෙන්න ලේසි නැහැ.
ඒත් එහෙමයි කියලා පතොක් මල් නොපිපී තියෙන්නෙත් නෑ නෙ? හරියට අපේ හීන සැබෑ කරගන්න කොයිතරම් අමාරු වුනත් අපි අපේ ඒ හීනවත්, අපි හීන දකින එකවත් නතර කරන්නේ නෑ වගේ.
පතොක් මල ගැන කතා කරනකොට පතොක් ගහ ගැනත් කතා නොකරම බැහැ. මොකද පතොක් ගහෙයි හරියට ඔයා වගේ නිසා.
පතොක් ගහ මුළුමනින්ම වගේ කටුවලින් පිරිලා. හරියට ඔයා ඔයාගෙ හීන ළංකරගන්න විඳින දුක් කම්කටොළු වගේ. ඒත් ඒ කටුකොහොලුත් කොතරම් ආශිර්වාදයක් ද කියල අපි හිතුවොත් පතොක්ගහේ අන්තිම දිය බිංදුව තෙක් ප්‍රාණය රකින්නෙත් ඒ කටුගොන්නම තමයි. ඔබත්, ඔබේ හීනත් ශක්තිමත් කරන්නේ ඒ කටුකොහොල් ම තමයි.
කෙතරම් අසීරු වුවත් කතරම මන්මත් කරවන පතොක් මලක් දායාද කරන්න පතොක් ගහකට පුළුවන්. ඉතින් හීන දකින ඔබත් පතොක් ගසක් වෙන්න. පතොක් මලක හිමිකරුවක් නැත්නම් හිමිකාරියක් වෙන්න.
දැවෙන ගින්නේ සෙවණ නොසොයන
හමන පවනේ සුවය නොපතන
සඟව පත්ලේ මිහිරි රසදිය
මවයි මන්මත් හැඩකාරි කතරට
Leave a Comment