දැනුම

හෙට නාඩගමේ මං

දේශීය නාට්‍ය කලාවේ සමාරම්භය සනිටුහන් කරමින් නාඩගම්, ජන නාට්‍ය සම්ප්‍රදාය 19 වන සියවසේ මුල්භාගයේ බිහි විය. ශ්‍රී ලංකාවේ බටහිර මුහුදුබඩ වෙරළෙහි වඩාත් ප්‍රචලිත වී ඇති මෙම නාඩගම් නාට්‍ය සම්ප්‍රදායේ කලාත්මක රසය දෙගුණ තෙගුණ කරන්නේ ගීතය ඇසුරිනි. පුරා රැයක් මුළුල්ලේම රඟ දක්වන නාඩගම් නාට්‍ය ප්‍රේක්ෂකයාගේ පරිකල්පනය අවදි කරවන්නේ ඉතා සියුම් ආකාරයෙනි.

මෙවන් සම්ප්‍රදායක් ආදේශ කොටගනිමින් චන්ද්‍රසේන තලංගම ශූරීන් විසින් රචිත නාඩගම් ගීය ගැමි තරුණයෙකුගේ සිතුවිලි සමුදායක් ඉතා රසවත් ආකාරයෙන් ප්‍රේක්ෂකයා වෙත ගෙන එයි. චරිත් අතලගේ සංගීත සුසංයෝගයෙන් රිද්ම වීරවර්ධන විසින් ගායනා කරන මෙම ගීතය අසන්නන් වෙනම ලෝකයකට රැගෙන යාමට සමත්ය. ගීතයේ මතුපිට අර්ථය මෙන්ම එහි සැඟවුණු අර්ථයක්ද පවතින්නේ අසන්නන්ට නව පණිවිඩයක් රැගෙන යමිනි.

“හෙට නාඩගමේ මං රජාට අඳිනවා අජාසත්ත නාමෙන්
මුලු ගමේම අඟනුන් මට වහ වැටෙනවා බලාපල්ලා බොරුනම්”

රඟපෑම අසීරුය. ඉන් ආකර්ෂණය ලබා ගැනීම එයටත් වඩා අසීරුය. එදත් අදත් සමාජ ක්‍රමය එකිනෙකට හාත්පසින්ම වෙනස් වුවත් අද මෙන්ම එදත් ආකර්ෂණය ලබා ගැනීමට ඕනෑම දෙයක් කිරීමට පෙලඹුණු වාතාවරණයක් තිබුණි. ගැමි තරුණයෙකුට තම ගම්මානයෙන් එපිට ලෝකයක් නැත. 

බොහෝ විට මෙම ගීතයෙන් කරළියට රැගෙන එන තරුණයා ද ගමේ එතරම් කැපී පෙනෙන චරිතයක් හෝ කඩවසම් තරුණයෙකු නොවන බව පැහැදිලිය. ඔහුට අවශ්‍ය වී ඇත්තේ කෙසේ හෝ ආකර්ෂණය ලබා ගැනීමටයි.

ඒ ගැමි තරුණියන්ගේ අවධානය තමන් වෙත ලබා ගැනීමෙනි. 

මේ මොහොතේ ඔහු කුමන තත්ත්වයක සිටියත් අජාසත්ත රජු ලෙස හැඳ පැළඳ හෙට දිනයේ මොහොතකට හෝ රජ වීමට අවස්ථාව ලැබෙන නිසා ඔහු සිටින්නේ මහත් වූ ප්‍රීතියකිනි. ඔහුට අජාසත්ත රජුගේ චරිත කථාව එතරම් අදාළත්වයක් නැති බව පෙනී යයි. ඔහුට අවශ්‍ය වී ඇත්තේ කෙසේ හෝ ගමේ තරුණියන්ගේ ආකර්ෂණය ලබා ගැනීමටයි.

මෙය අද සමාජයත් සමඟ මනාව ගැලපෙයි. වර්තමාන සමාජයේ ද සුලබවම දක්නට ලැබෙන්නේ කුමන ආකාරයෙන් හෝ සමාජයේ කැපී පෙනීමට ගන්නා උත්සාහයකි. ඒ උදෙසා සිදුකරන කාර්යයන් කෙතරම් සමාජ විරෝධී වුවත් ඒ පිළිබඳව තැකීමක් නැත.

“මුලු ගමේම අඟනුන් මට වහ වැටෙනවා බලාපල්ලා බොරුනම්” කෙසේ වුවත් මෙම තරුණයාට තමා පිළිබඳව දැඩි ආත්ම විශ්වාසයක් පවතින බව පැහැදිලිය. ඔහු සිතන්නේ ඒකාන්ත වශයෙන්ම තමා අජාසත්ත රජු ලෙස හැඳ පැළඳ වේදිකාවට එන විට මුළු ගමේම කාන්තාවන් තමා වෙත ආකර්ෂණය වනු ඇති බවයි. ඒ අනුව ඔහු තමන්ගේම සිහින ලෝකයක වින්දනයක් ලබන බව පැහැදිලිය. ඇතැම් විට මේ පිළිබඳව පුරසාරම් බස් දොඩමින් ගමේ කඩපිලේ සක්මන් කරනවාට කිසිදු සැකයක් නැත.

තමා රාජ ලීලාවෙන් පැමිණෙන විට කාන්තාවන්ගේ ආකර්ෂණය දිනා ගත හැකි බවට ඔහුට ඇත්තේ දැඩි විශ්වාසයක් මෙන්ම මෙය අද සමාජයට මනාව ගැලපෙයි. එනම් එම ගැමි තරුණයා හෙට දිනයෙහි අජාසත්ත රජු ලෙස රඟපෑමෙන් පසු නැවතත් සාමාන්‍ය තරුණයෙක් බවට පත්වේ. නමුත් ඔහු ලබා ගැනීමට සිහින දකින ආකර්ෂණය ඉන් පසුවත් ඔහුට ලැබේවි දැයි ඔහු සිතා බලන බවක් නම් පෙනෙන්නට නැත. වර්තමානයේ ද මිල මුදල්, යාන වාහන, තනතුරු හා නම්බු නාම වලට ලැබෙන ආකර්ෂණය ඊළඟ නිමේෂයේ දී වෙනස් වීම නිසා බොහෝ පුද්ගලයන් දුකටත් වේදනාවටත් පත්වෙති. මෙම තරුණයා ද ඒ පිළිබඳව සිතා බලන්නේ නම් අගනේය.

“දමා කඩුක්කන් ඔටුනු නළල් පටි
කඩුව කරකවා සබයට එන හැටි
බලා හිඳින අඟනුන් සත්තයි
ආලේ බඳියි රහසින්”

බලය ඇති තැනට සියල්ලන්ම ඒකරාශී වීම එදත් අදත් සාමාන්‍ය වූ පොදු ධර්මතාවයකි. මෙම තරුණයාට ඇත්තේද එබඳු විශ්වාසයකි. කඩුක්කන් හෙවත් කරාබු පැළඳ ඔටුනු හා නළල් පටි පැළඳ කඩුව කරකවමින් සභා ගැබට පැමිණෙන විට එය නැරඹීමට පැමිණෙන කාන්තාවන් ඔහුට රහසින් ආදරය කරනු ඇතැයි මෙම තරුණයාට විශ්වාසයක් ඇත. එහි චරිතය අජාසත්ත වුවත් ඔහුගේ බල පරාක්‍රමයට ස්ත්‍රීන් රහසින් හෝ ආලය කරන බවට ඔහු බලාපොරොත්තුවෙන් සිටියි. 

අද සමාජයේ ද අජාසත්ත වැනි කළු චරිත බොහෝමයක් සිටින නමුත් ඔවුන්ගේ මුදල් වලට සියල්ල යටත්ය. එවැනි චරිතයන්ට ප්‍රසිද්ධියේ පෙම් බැඳීම  පවතින සමාජ ක්‍රමයට පටහැනි නිසා ඔවුන් එවැනි පුද්ගලයන්ට පෙම් කරන්නේ රහසේය. එවැනි පුද්ගලයන්ට රහසේ ප්‍රේම කරන්නට ගොස් තම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වූ කාන්තාවන් රැසක් මෑත කාලීනව අපට හමුවිය. මෙම ගැමි තරුණයා ද විශ්වාස කරන්නේ තමන් රඟ දක්වන චරිතය කළු චරිතයක් වුවත් පැය කිහිපයකට හෝ රජ වීමට හැකි වන නිසා කාන්තා ආකර්ෂණය නොඅඩුව තමාට ලබා ගත හැකි බවයි. ඔහු එය පවසා සිටින්නේ මහත් වීර ක්‍රියාවක් සිදු කිරීමට යන ලීලාවෙනි.

“පවර අජාසත් නිරිඳුන් මම වෙමි
පියා නසා රජකම අරගන්නෙමි
කියා එද්දි අද මං සත්තයි
ආලෙ බදී අඟනුන්”

මුළු ගීතය තුළින්ම අසන්නාට සිතන්නට යමක් ඉතුරු කරන කොටස ලෙස මෙම පද ගැපුළම අපට දැක්විය හැකිය. කොයි කවුරුත් දන්නා පරිදි අජාසත්ත රජු රජකම ලබාගන්නේ තම පිය රජතුමා වූ බිම්බිසාර රජතුමාට අනේක වධ වේදනාවන් ලබා දී මරා දැමීමෙන්ය. ඔහු විසින් තම පියාගේ දෙපා පළා ඊට ලුණු දැමූ බවට ද ඉතිහාස කතා වල සඳහන් වේ.  අජාසත්ත විසින් මෙම සියලු පාපී ක්‍රියාවන් සිදු කරන ලද්දේ දෙව්දත් තෙරුන්ගේ අනුදැනුම යටතේය. එහි දී තම පිය රජු මිය යන තුරුම අජාසත්ත රජුට තමා සිදු කළ ක්‍රියාවන් වල බරපතලකම වැටහුනේ නැත.

මේ ආකාරයෙන් ගත් කල මෙම ගැමි තරුණයාට ද තමන් රඟ දක්වන චරිතයෙ හි අඳුරු පැතිකඩ පිළිබඳව තැකීමක් නැත. ඔහු මහත් උජාරුවෙන් පවසන්නේ “පවර අජාසත් නිරිඳුන් මම වෙමි පියා නසා රජකම අරගන්නෙමි” යනුවෙනි. තම පියා මරා රජකම ලබා ගැනීම මහත් වීර ක්‍රියාවක් ලෙස පමණක් මෙහිදී ඔහු දකී. බොහෝ විට එකල අජාසත් රජුට එම අපරාධය සිදු කිරීමට දෙව්දත් තෙරුන් උපදෙස් දුන් ආකාරයටම මෙකල ද මෙම ගැමි තරුණයාව කවුරුන් හෝ මෙහෙයවනවා වන්නට හැකිය. 

තම පියාව මරා රජකම ලබා ගත් අජාසත්ත රජු මහා බල පරාක්‍රමයකින් යුත් රජෙකු බවත් එවැනි චරිතයකට පණ පෙවීමෙන් නිසැක වශයෙන්ම කාන්තා ආකර්ෂණය ලබා ගත හැකි බවත් පවසා ඇතැමෙක් ඔහුව හසුරවනවා වන්නට හැකිය.

“කියා එද්දි අද මං සත්තයි ආලෙ බඳී අඟනුන්”

එලෙස පියා මැරීමට තරම් බලයක් තිබූ බවට පවසමින් පැමිණෙන විට ගමේ කාන්තාවන් තමාට ආලය කරාවි යැයි ඔහු විශ්වාස කරයි. එසේත් නැති නම් දෙව්දත් තෙරුන් විසින් අජාසත්ත රජුව හැසිරුවා මෙන් මෙම ගැමි තරුණයාව ද එසේ සිතීමට කවුරුන් හෝ පොළඹවා ඇත.

සැබැවින්ම මෙම පැදි පෙළෙන් අසන්නාට ප්‍රශ්නාර්ථයක් මතු කරයි. එනම් තම පියාව ද මරා රජකමට පත් වන බව පැවසීමෙන් අඟනුන්ගේ සිත් දිනා ගැනීමට හැකි ද යන්නයි. එහි දී බොහෝදෙනා පැවසිය හැක්කේ ධනය හා බලය ඇති විට බොහෝ කාන්තාවන් මොනයම් අපරාධයන් සිදු කළ පුද්ගලයකුගේ ඉදිරියේ වුව ත් තම සිත වෙනස් කර ගැනීමට පෙළඹෙන ස්වභාවයකින් යුක්ත බවයි. 

නමුත් යම් කාන්තාවක් එවැනි තත්ත්වයකට පත් වනවා නම් ඊට මෙම සමාජ ක්‍රමය තුළ සිදු වන විවිධ අසාධාරණකම් ද හේතු වන බව අමතක නොකළ යුතුය. වර්තමානයේ බොහෝ කාන්තාවන් අසරණ වූ විට ඉන් ප්‍රයෝජන ලබා ගන්නේ බලය ඇති පුද්ගලයන්ය. කෙසේ වුව ත් මෙම ගැමි තරුණයා ඉතා ප්‍රීතියෙන් පසුවන බව නම් පැහැදිලිය. ඔහුට ලැබී ඇත්තේ අගනා අවස්ථාවක් බව ඔහු විශ්වාස කරයි. ඔහු නාඩගම රඟ දැක්වීමට ප්‍රථමයෙන්ම පුරසාරම් දොඩන්නෙ එබැවිනි.  

“පවර අජාසත් නිරිඳුන් මම වෙමි
පියා නසා රජකම අරගන්නෙමි”

 ප්‍රසිද්ධිය  ලබාගැනීම කාටත් පහසු නමුත් ජනප්‍රියත්වය හෙවත් ජනයාගේ ප්‍රියතාවය ලබා ගැනීම තරමක් අසීරුය. මෙහිදී “පවර අජාසත් නිරිඳුන් මම වෙමි” යනුවෙන් අදහස් කරන්නේ කවුරුත් හඳුනන ප්‍රසිද්ධ අජාසත්ත රජු මම වන බවයි.  මෙම තරුණයා ආකර්ෂණය ලබා ගැනීමට යොදා ගන්නා කරුණත් එයමය. ඔහු විශ්වාස කරන්නේ තම පියා ඝාතනය කිරීම නිසා ප්‍රසිද්ධියට පත් අජාසත්ත රජු වැනි චරිතයකට පණ පෙවීම නිසා ගමේ කාන්තාවන් අතර තමා ද ප්‍රසිද්ධියට පත් වේය යන්නයි. එහෙත් ඔහුට එහි දී ප්‍රසිද්ධිය හා ජනප්‍රියත්වය අතර ඇති වෙනස පැහැදිලි කර ගැනීමට අපහසු වූ බවක් දැකගත හැකිය.

නාඩගමක හෝ වෙනත් මොනයම් හෝ නාට්‍යයක රඟ දක්වන චරිතය සුදු චරිතයක් වුව ත් කළු චරිතයක් වුව ත් රඟ දක්වන රංගන ශිල්පියාගේ හැකියාව මත එය ප්‍රේක්ෂකයන් වැළඳ ගනී. නමුත් මෙහි හාස්‍යයට තුඩු දෙන කරුණ නම් මෙම ගැමි තරුණයා තමා රඟ දක්වන කළු චරිතය තුළින් කාන්තා ආකර්ෂණය ලබා ගැනීමට උත්සාහ කිරීමයි. ඇතැම්විට එය ඔහුගේ නොදැනුවත්භාවය හෝ ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට ගත් උත්සාහයක් ලෙස හඳුනාගත හැකිය.

මේ ආකාරයෙන් අර්ථ ගැන්වූ මෙම නාඩගම් ගීතය අද වන විට බාල මහලු සියලු දෙනාගේම හදවත් සොරා ගැනීමට සමත් වී ඇත. ඒ සඳහා චන්ද්‍රසේන තලංගම ශූරීන්ගේ විශිෂ්ට පද රචනය හේතු සාධක වී ඇති බව අමතක නොකළ යුතුය. ඒ වගේම මෙම පද රචනයට නව රසයක් එකතු කරමින් තරුණ පරපුරේ ගෞරව ආදරය දිනාගත් චරිත් අතලගේ සංගීත මුසුවත් නව පරපුරේ ආදරණීය ගායක රිද්ම වීරවර්ධනගේ මියුරු හඬත් යන ත්‍රිත්වයේම සංකලනය නිසා රසික හදවතට ගෙන එන්නේ අප්‍රමාණ වූ මිහිරියාවකි. අද මෙන්ම අනාගතයේ මතුයම් දවසකත් මෙම ගීතය රසික හදවත් තුළ රසවත් ගීත මතකයක් ලෙස රැඳී පවතින බවට කිසිදු සැකයක් නැත.

Design by : Pathum Lakshan

References :

Images :

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

කේතනී පූර්ණිමා

ශාස්ත්‍ර පීඨය - තෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment