දසවස් සියවස් ගෙවි ගෙවී යනකොට කැලේ ගල් ගුහා වල හිටපු අපේ මිනිස්සු කැලෙන් එලියට ආවලු. හිතන පතන, අදින පළදින, කන බොන විදිහ වෙනස් වුනාලු. ඒ වගේම අලුත් අලුත් දේ ඉගෙන ගන්න පටන් ගත්තාලු. කොහොම උනත් තාමත් කැලේටම දුවන්න හදන අයත්, තාම ඒ පුරුද්දටම අදින අයත් නැතුවාම නෙවේ.
මෙහෙම කල් ගෙවිලා ගියාලු. අත පය මහන්සි කරලා හැමෝම සමගියෙන් එකතු වෙලා හරි හරියට වැඩ කලාලු. ඒ කියන්නෙ මේ ගොල්ල කෑවා බිව්වා විතරක් නෙමේ , නැටුවා, ගී සින්දු ගායන කලා වගේම දුවලා පැනලා සෙල්ලම් කලාලු. මේ නිසාම මේ අය බොහෝ ජව සම්පන්න , නිරෝගී පිරිසක් උනාලු. මේ අතරම මේ අය අමුතු අමුතු ඉලක්කම්, අකුරු, සංකේත යොදා ගෙන සූත්තර, මූලධර්ම හොයාගත්තලු. ඒවා යොදාගෙන ගොඩ යන වාහන, හූ කියන් දුවන කෝච්චි, ආකාසෙ පියාඹන යන්තර , එලි විහිදුවන බලුබ, හැලෝ හැලෝ කියන ටැලිෆෝන වගේ අමුතු අමුතු දේ හැදුවලු. ඒ වගේම නොදන්න නොතේරෙන අයට බලන්න සූත්තර, මූලධර්ම පොත් වල ලියලා තියන්නත් අමතක කලේ නෑලු.
ඔහොම ඔහොම ගිහින් 21ක් වන සියවසටත් ඇවිත් කාලයක් ගෙවිලා. උපන් දා ඉඳලම පාඩම, මුලින්ම මොන්ටිසෝරි යනවා. ටීචර් අදින්න දීපු රවුම, බිත්තරේ වගේ ඇඳපු දා ඉඳලා ටියුෂන් යනවා. 5 වසර ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ, වෙනකම්ම ටියුෂන් පංති නවය දහයකට යනවා, වෙලාවට යන්න පුලුවන් එක ඉස්කෝලෙකටයි. ඉහළින්ම සමත් වෙලා විශ්ව විද්‍යාලයට යනවා. ඊට පස්සෙ අර ඉස්සර මිනිස්සු නොතේරෙන අයට කියවන්න ලියපු පොත් අතට දිය වෙනකම් පෙරල පෙරලා ඒ අය දුව පනින, සිංදු කියන, නටන ගමන් සොයා ගත්ත සූත්තර වලට ඉලක්කම් දදා ගණන් හදනවා. මූලධර්ම ඔක්කොම කට පාඩම් කරනවා, තිතක්, කොමාවක් මග නොඇරෙන්න. ඉස්සර හදපු බල්බයම හදාලා පෙන්වන්න කිව්වොත්, ඒක දැන් හදලනෙ කියලා ඇඟ බේර ගන්නවා. උපාධියත් ඉහළින්ම සමත් වෙනවා.
කවියක් ගීතයක් ලියන්න, තාලයට කියන්න, නටන්න, දුව පැන සෙල්ලම් කරන්න පුලුවන් පුද්ගලයන් මියගොස්, ඇගිලි තුඩින් යන්ත්‍ර සූත්‍ර වල බොත්තම් තද කරන්න දන්න, ලොකු ලොකු නවීන ලෙඩ තියන මිනිස්සු උපදිනවා. උපාධි සහිත විද්‍යාඥ මොළයන් ඇති මිනිසුන් බිහි උනත් ඔවුන්ගෙ නිර්මානාත්මක බව, අභියෝග ජය ගැනීමේ හැකියාව ආදී සියුම් කුසලතා, විෂය බාහිර ක්‍රියාකාරකම් මගින් දියුණු වෙලා නැති නිසා ලබා ගත් දැනුම මගින් ඉදිරියට යාමේ හැකියාව ගිලිහී ඇත.
අලි, ඇතුන් ම්ලදී ගැනීම සුළු පටු කාර්යයක් නොවේ. පොතින් පතින් දැනුම ලබා ගැනීමද එසේය. මෙලෙස අපහසුවෙන් ලබා ගන්නා දැනුම නිවැරදිව යෙදවීමට, සියුම් කුසලතා ප්‍රයෝජනය වේ. එය වර්ධනය සඳහා ක්‍රීඩා කිරීම, ගීත ගායනය, නර්ථනය ආදියේ යෙදීමෙන් ලබා ගන්නා දැනුම ඉවහල් වේ. එය අලි ඇතුන් මනාවට හසුරුවන හෙණ්ඩුව මෙනි. අලි ඇතුන් ගත් අයට හෙණ්ඩුව ලබා ගැනීම සුළු කාර්යයක් විය යුතුය.නමුත් එය නොමැති ඇත් ගොව්වන් සිටින්නේ ඔවුන් එය නොවැද ගත් යැයි සිතන නිසාදෝ නැතහොත් තමා හෝ අලි ඇතුන් එයින් තුවාල ලබති යැයි බිය නිසාදෝ නොදනිමි.
ඔබත් හෙණ්ඩුව නැති වූ ඇත් ගොව්වෙකු වීමට සිහින මවන්නෙක්ද?
Leave a Comment