“A voice to lead – Nursing the world to Health ”
“සෞඛ්‍යමත් ලොවකට සත්කාරය- හෙදියන්ගෙ නායකත්වයෙන්”
මේ තමයි මේ අවුරුද්දේ ජාත්‍යන්තර හෙද දිනයේ තේමාව .
මැයි මාසෙ දොළොස් වෙනිදා, ඒ කියන්නෙ අද ලෝකයේ විශාලම සෞඛ්‍ය බලකාය වන හෙද හෙදියන් ඔවුන් වෙනුවෙන්ම වෙන් වුන දිනය සමරනවා. හැබැයි ඒ වෙනදා වගේ නෙවෙයි. තමන්ගෙ අම්මා ,තාත්තා, සැමියා ,දරුවො ගෙවල්වල පරිස්සමින් තියලා ඔවුන් මුලු ලෝකයේම අම්මලා, තාත්තලා, දරුදැරියො රැකගන්න දිවා රෑ නොබලා රෝහල් වල සටන් වදිනවා.
2020 හෙද දිනය තවත් සුවිශේෂී වන එක් කරුණක් තියෙනවා. ඒ තමයි, අද, මේ පවතින විශිෂ්ඨ හෙද සේවය වෙනුවෙන් ක්‍රමවත්ව, විද්‍යාත්මකව හෙද සේවය ගොඩනැගුව “ෆ්ලොරන්ස් නයින්ටින්ගේල් ” මැතිනියගේ 200 වන ජන්ම දින සැමරුම යෙදී තිබීම.
බ්‍රිතාන්‍යයේ වංශවත් පවුලක ඉපදිලා ධනය, බලය සියල්ල අත හැරලා එතුමිය ක්රිමියන් යුද්ධයෙන් තුවාල ලැබූ සොල්දාදුවන්ට හෙදකමින් සහනයක් සලන්න යුධ බිමට ගියා. එතුමිය එදා පෙන්නපු ආදරය, කරුණාව එක්ක මතු පරපුරට පෙන්වපු මාර්ග දර්ශනය අනුව තමයි අදටත් ලෝකය පුරාම හෙද හෙදියන් තමන්ගෙ ජීවිතය දෙවැනි කරලා රෝගීන්ට උපරිම සේවයක් සලසන්න කැපවෙලා ඉන්නෙ.
WHO එක ඒ කියන්නෙ ලෝක සෞඛ්‍ය සංවිධානය ‘හෙද සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ වර්ෂය’ කියල 2020, ඒ කියන්නෙ මේ වර්ෂය නම් කරලා තියෙන පසුබිමක තමයි සුව විරුවන් ගැන අද අපි හැමෝම කතා කරන්නෙ .
අවුරුදු 3ක් හෝ 4ක් මේ උතුම් සේවය වෙනුවෙන් කැපවෙන්න, හෙද ශිෂ්‍ය ශිෂ්‍යාවන් පේ වෙනවා. තරුණ වයසේ අනිත් යෞවන යෞවනියන් ගත කරන සරල සැහැල්ලු ජීවිත වලට සමුදීලා ජීවිතයේ උපත විපත දෙකටම සෙවණ දෙන රෝහලට ජීවිතේ සුන්දරම කාලෙ කැප කරනවා. ඒ හෙදකම එතරම්ම විසල් වගකීමක් හෙද වෘතවෘත්තිකයන්ගේ කර මතට පටවන නිසා.
හෙද නිළදාරියෙක්, හෙද නිළදාරිනියක් තමන්ගෙ පවුල වෙනුවෙන් ගතකරන කාලයට වඩා වැඩියි රෝගීන් වෙනුවෙන් ගතකරන කාලය. ලෝකයම සුබ සිහින මැද්දෙ නිදාගනිද්දි ඔවුන් රැය පහන් කරනවා අනිත් අයගෙ සිහින පරිස්සම් කරන්න.
සල්ලි තියෙන මිනිස්සු , දුප්පත් මිනිස්සු , උගත්, නූගත් මිනිස්සු මේ හැමෝම දිහා හෙදියන් බලන්නෙ තමන්ගෙ අම්මා, තාත්තා, සහෝදර සහෝදරියන් දිහා බලන දයාවෙන්, කරුණාවෙන්. දහස් ගණනක් රාජකාරි පැවරිලා තියෙද්දිම පණුවො පිරුණු, සැරව පිරුණු, ලේ ගලන තුවාල ඔවුන්ගේ දෑතින්ම පිරිසිදු කරනවා. දත් ටික මැදගන්න, ඇඳුමක් ඇඳගන්න , කෑම ටිකක් තනියෙම කටට ගන්න තරම් ශක්තියක් නැති රෝගීන්ට ශක්තියක් වෙන්නෙ හෙද හෙදියන්. මාස නවයක් අම්මා කෙනෙක්ගෙ කුසේ ඉඳන් ළදරුවෙකු විදිහට මනුස්සයෙක් මුලින්ම එන්නෙ හෙදියගේ දෑතට. ජීවිතේ අන්තිම තත්ත්පරේ වතුර පොදින් උගුර තෙමාගන්න, තව තත්පරයක් හරි ජීවත් වෙන්න මාරයත් එක්ක සටන් කරද්දි ශක්තියක් වෙලා ළග ඉන්නෙත් ඒ වගේම හෙදියක්. හැබැයි මේ හැමදේම අන්තිමේ ඔවුන් බලාපොරොත්තු වෙන්නෙ අඬ අඬා වේදනාවෙන් වාට්ටුවට එන මූණු වල සිනහවක් දකින එක විතරමයි .
Covid-19 නව කොරෝනා වයිරසය ලෝක බලවතුන් පවා දණ ගස්සද්දි මේ පුංචි මුතු ඇටය තවමත් සුරක්ෂිතයි. ඒ රණවිරුවන් සමඟ සුවවිරුවන් ඔබ වෙනුවෙන් කැපවෙන නිසාමයි. සෞඛ්‍ය ක්ශේත්‍රයේ කොඳු නාරටිය, හෙද හෙදියන් ගැන අද අපි ගුණ ගී ගයනවා . හෙට මේ කුණාටුව පහව ගිහින් හැමදේම ආයිමත් සන්සුන් උනහම, අපිට හැමදාම වෙනව වගේ ඔවුන්ගේ වටිනාකම ආයෙත් අමතක වේවිද ?
පිළිතුර අහන්න,
ඔබේ හෘද සාක්ෂියෙන්.
හෙද විරු දින සුව විරු ඔබට Colombo Beacon අපේ උත්තමාචාරය 🙏
Design by – Chandula Sethuge
Leave a Comment