දැනුම

හෙළ සංගීතයේ නොමැකෙන මුද්‍රාවක අසූ වැනි සැමරුම

“බෝ මළුවේ මල් සුවඳක පැටලී 
අම්මා පෙවු කිරි සුවඳ ගලා එන්නේ
සුපුරුදු උණුහුමකට සිත ඈඳී
ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ
දං බෝවිටියා කැලේ මැදින්
එන්න හිතයි නුඹ ළඟට සැනින්”

දෘෂ්‍ය වාච්‍ය මාත්‍රයකින් වුව ත් දෙසවනට මායාවක් ලෙසම කා වැද්දෙන අපූර්ව හඬ ප්‍රතිභාව ඔහු යැයි පැවසීම කිසිවිටෙකත් අතිශයෝක්තියක් නොවේමැයි සිතමි. එතරම්ම අමෘතවාහයක් බඳු ඒ හඬ පෞර්ෂය ලාංකේය රසික හදවත් තුළ අමරණීයව සටහන්ව ඇති බව කිව යුතුම ය. ඔහු අනෙකෙකු නොව, ප්‍රවීණ ගායක මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා යි.

විලියම් පෙරේරාටත් දෝන ඇමලින් කටුගම්පොලටත් දාව 1942 වසරේ පෙබරවාරි 15 වැනිදාවක ගොතටුව නව නගරයෙහි දී මෙලොව එළිය දුටු මේ මහා සංගීතවේදියාණන්ගේ නාමය සඳහන් වනුයේ හේරත් මුදියන්සේලාගේ සනත් නන්දසිරි වශයෙනි. ගොතටුවහි සිය ළමා කාලය ගත කරන මේ කුඩා සංගීත අංකුරය ගොතටුව මහ විදුහලෙන් සිය මූලික අධ්‍යාපනය ද ශාන්ත මැතිව්ස් සහ මහබෝධි මහ විද්‍යාලයෙන් ද සිය අධ්‍යාපන කටයුතු හැදෑරී ය. දහහතර වැනි වියෙහි දී හේමතිලක දයානන්ද මහතාගේ මුල්වීමෙන් ඔහු සිය සංගීත ජීවිතයට අත්පොත් තැබී ය. ඒ ගුවන්විදුලි ළමා මණ්ඩපයට ද සම්බන්ධ වීමෙනි. පසුව දාහත් වැනි වියෙහි දී පමණ සනත් නන්දසිරි මහතා තබ්ලා විශාරද ඩී. ආර්. පීරිස් මහතාගෙන් තබ්ලා වාදනය ඉගෙන ගැනීමට ද උනන්දු විය. ඩී. ආර්. පීරිස් මහතා බොරැල්ල YMBA ශාලාවේ දී පැවැත් වූ පන්තියේ පළමු ගෝලයා වන්නේ ද සනත් නන්දසිරියන් ය. කුඩා නන්දසිරියන්ගේ දක්ෂතාවය හඳුනා ගැනීමෙන් අනතුරුව ඩී. ආර්. පීරිස් මහතා සිය වැඩස⁣ටහන් සඳහා කුඩා සනත් නන්දසිරි ව සම්බන්ධ කරගත්තේ ය. අනතුරුව දෛවෝපගතව මෙන් 1960 වසරේ දී දහනම වියැති ඔහුට භාරතයට ගොස්  සංගීත අධ්‍යාපනය සඳහා මංපෙත් විවර විය.

1965 දී යළිත් ලංකාවට පැමිණෙන ඔහු ගුවන්විදුලියට නැවත සම්බන්ධ වී සිය ගායන දිවිය ආරම්භ කරන ලදී. ඔහු විවාහ වනුයේ මල්කාන්ති පීරිස් සමඟින් ය.

ගායකයෙකු, සංගීතඥයෙකු, සංගීත අධ්‍යක්ෂකව⁣රයෙකු, පසුබිම් ගාය⁣කයෙකු ලෙස සංගීත ක්ෂේත්‍රයෙ හි විවිධ භූමිකා නිරූපණය කරන ඔහු දැනට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ වත්මන් කුලපති ලෙස කටයුතු කරමින් සිටියි.

ඔහු විසින් “එදා මෙදා තුර”, “බොඳ මීදුම්” ,”දේදුන්නේ පාටින්”  වැනි ගීත ඇල්බම ප්‍රකාශයට පත්කර ඇත.

මගේ රටට දළඳා හිමි සරණයි, වරදක් කළත් සිතකින් නොවේ, එදා මෙදා තුර, විකසිත වත කමලේ, දේදුන්නේ පාට පාටින්, ගමේ කෝපි කඩේ, නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ, එක යායක මල් වැනි ගීත ද ඇතුළුව සහෘද සන්තානය මුසපත් කරවන සුළු ගීත රැසක් ලාංකේය ගී කෙතට දායාද කළ සංගීතධරයෙක් ලෙස මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා ⁣නොමැකෙන මුද්‍රාවක් ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ සනිටුහන් කොට ඇත.

ඉඳින් ලබන්නා වූ අසූ වැනි ජන්මය ඔහුට වාසනාවන්ත නිදුක් හා නිරෝගී සුබ ජන්මදිනයක් වේවා! යි හෘදයාංගම සුභාශිංසන මෙසේ පුදකර සිටිමු. තව තවත් හෙළ කලා කෙත පෝෂණය කරනු වස් එතුමන්ට දිගාසිරි වේවා!

Design by : Pramodya Madhushani

Images :

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

සෙත්මිණි දිලේකා

ශාස්ත්‍ර පීඨය - පළමු වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment