සාමාන්‍ය

හෙළ සිනමා ගීත කලාවේ ෆීනික්ස් කුරුල්ලා

“පෙම්වතුන්ට සරණේ
අනංගයා මමනේ
පෙම් සටනින් පැරදී
දොස් නැගීම වැරදී
පෙම්වතුන්ට සරණේ…”

ගීතය තාලයට ගැයුනා ද? ගායකයා ජීවමානව හදවතේ කොනක ඇඳෙනවා නොවේ ද? ඒ හඬ, ඒ හඬින්ම මේ ගීය හරි අපූරුවට ඇහෙනවා නොවේ ද? ඔව්, ඔහු අනංගයා මෙන් අමරණීය යි. සර්වකාලින පෙම්වත් හිත ප්‍රේමයේ දී පමණක් නොව විරහවේ දී ද තනි නොකළ ඔහු, සැබෑවටම අමරණීය යි.

සුන්දර පෙබරවාරිය පෙම්වතුන්ගේ මාසය සුවිශේෂී මාසයකි. ආදරය පිරී ඉතිරී යන මාසයකි. හැට, හැත්තෑව දශකයේ පෙම්වතාගේ හඬ පෞරුෂය ද? නැත, එය සදාතනික ශ්‍රී ලාංකේය පෙම්වතාගේ හඬ පෞරුෂය යි කීම කිසිදු වරදක් නොමැත යැයි මා තදින් විශ්වාස කරමි. එකී ප්‍රේමනීය හඬ පෞරුෂය 1936 දී පෙබරවාරි මස 12 වන දින මෙලොව ආලෝකය දකිනුයේ ජෝතිපාලයන් ලෙසිනි. ඔහු සිය නාමයේ අරුත ලෙසින්ම ජෝතිය එනම් ආලෝකය පමණක් නොව, ශ්‍රී ලාංකේය දුප්පත් අහිංසක ජනතාවගේ සිට සියලු තරාතිරම් හි ලාංකිකයන්ගේ සිත් රසිකාදරයෙන් මනා ලෙස පාලනය කරනු ලැබුවේ සිතාගත නොහැකි පරිද්දෙනි.

එච්. ආර්. ජේමිස් සහ එච්. කේ. පොඩිනෝනා ට දාව හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල නමින් මෙලොව එළිය දුටු කුඩා බිළිඳා සිය මවගේ සහ පියාගේ පළමු දරුවා විය. සිය කුඩා පුතනුවන් කෙරෙහි මහ මෙරක් උසට බලාපොරොත්තු ගොඩනගාගෙන සිටි මව්පියන් කිසිදු දිනෙක තම පුතු ගායනයට ඇති මේ ආදරය ඔහුගේ දිවිය මෙතරම් වෙනස් කරනු ඇතැයි සිහිනයකින්වත් නොසිතන්නට ඇත. 

නාගරික පරිසරයක් වූ දෙමටගොඩ රෝස මල් යහනාවක් නොවුනු සිය දිවිය පිලිබඳ එතුමන් මෙසේ ප්‍රකාශ කරයි.

“මගේ ජීවිතය රෝසමල් යායක් නොව, කටු කොහොල්, උගුල්, බොරු වළවල් සහිත ගොහුරු බිමක මඩ තවරාගෙන ලිස්සා ගිය අසීරු ගමනක්. මගේ තාත්තා දක්ෂ ටේලර් කෙනෙක්. අපි පදිංචිව සිටි කොළඹ දෙමටගොඩ කුප්පියාවත්තේ කැටවලමුල්ලේ පුංචි ගෙදර ඉස්තෝප්පුවේ මහන මැෂිම තබා ගෙන තාත්තා ඇඳුම් මැහුවා. කොළඹ වයිට් වේස් කොම්පැණියේ ඇඳුම් මහලා තාත්තා අපිව ජීවත් කළේ. අම්මා පොඩි රැකියාවක් කළා. මාව තාත්තා මුලින්ම ඇතුල් කළේ දෙමටගොඩ සාන්ත ජෝන් විද්‍යාලයට. මගේ සම වයසේ පන්ති යාළුවන් එක්ක ඉන්ටවල් එකේ හින්දි චිත්‍රපට ගීත ගැයුවා. විශේෂයෙන් මොහොමඩ් රාෆි, මුකේෂ්, මන්නාඩේ, තලාත් මොහොමඩ් ගේ ගීත ගැයුවේ.”

කුඩා කල සිටම දුක්ඛදායි ජීවිතයකට මුහුණ දුන් දුකටම සිය කුඩා කල කැප කළ ජෝතිපාලයන් උත්සහය, කැප කිරීම, උන්නදුව තුළම පමණක් සිට සිය දිවිය තීරණය කළ පුද්ගලයෙකු විය. මරදාන ශාන්ත ලෝරන්ස් විද්‍යාලයෙන් සහ දෙමටගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙන් සිය අධ්‍යාපනය හදාරා පාසල් ජිවිතයට සමු දෙන ජෝති සුළු සුළු රැකියාවන් රැසක නිරත වන අතර ඔහු එය මෙසේ ප්‍රකාශ කරයි.

“මම කොළඹ ආමර් වීදියේ සුලයිමන් රෝහලේ බෙහෙත් බෝතල් සුද්ද කළා. පසුව පිටකොටුවේ ඇම්. ඩී. ගුණසේන සහ සමාගමේ පියන් වැඩෙත් කළා.”

ඔහු ඉතා නිහතමානීව සිය අතීතය සිහි කරනුයේ එලෙස යි. එපමණක් නොව, “මේවා මගේ රසිකයෝ දැනගන්න ඕනා” කියා ද ප්‍රකාශ කරනුයේ මහජනයා අතරින්ම නැගිට එහි ම දිවි ගෙවා එයින්ම නැගී සිටි මහා පෞරුෂය පරිද්දෙනි.

කොළඹ ග්‍රෑන්පාස් වීදියේ කොස්ගස් හන්දියේ පදිංචිව සිටි ගුවන් විදුලියේ දක්ෂ ගායකයෙකු වූ නඩරාජාගේ මග පෙන්වීම යටතේ කොළඹ ප්‍රභූ මන්දිරයක් තුළ උත්සවයක ගීත ගායනයට යන ජෝතිපාලයන් එකී නාගින්දාස් සාරි සාප්පුවේ අයිතිකරුගේ මාර්ගයෙන් රු.37.50 ක පඩියකට සුළු රැකියාවක් ලබාගන්නා අතර ජනප්‍රිය වීමේ උණ තදින්ම තිබූ ජෝතිපාලයන් 1952 දී රංජනි ලොසින්ජර් කොම්පැණියේ අනුග්‍රහයෙන් ‘ආධුනික පැය’ නම් තරගාවලියට ඉදිරිපත්ව ප්‍රථම ස්ථානය ලබා ගන්නා අතර ඒ වෙනුවෙන් ඔහුට හිමි වන්නේ රංජනි ලොසිංජර් ලොකු බෝතලයක් පමණ යි. එතැනින් පසුව ගුවන් විදුලියේ ‘ජයග්‍රාහී පෙළපාලිය’ වැඩසටහනට ගොස් ප්‍රථම ස්ථානය හිමිකර ගනිමින් පාකර් 5 පෑනක් දිනා ගනු ලබයි. එකල එය ජෝතිපාලයන් ජනප්‍රියත්වය සඳහා ගත් කළ කටුක නමුත් ආඩම්බරකාර අතීතය යි.

“සිරියාමේ සාරා – නැගෙවි හද මෝරා
දී ප්‍රේමේ අම ධාරා – හෝ ප්‍රේමේ අම ධාරා”

ඔබට තාලයට ගායනා කෙරෙනා ඒ ගීතය ඔහුගේම හඬින් ඇසෙනවා මෙන් දැනෙනා ඒ ගීතය ඔහුගේ දිවියම වෙනස් කළ ගීතය විය. ඒ ‘සුරතලී’ චිත්‍රපටයේ පසුබිම් ගායනය හරහා ඔහු චිත්‍රපට පසුබිම් ගායනයට පිවිසීමත් සමඟ යි. ඔහු පවසන්නේ,

“මම චිත්‍රපට පසුබිම් ගායකයෙකු ලෙස උපත ලැබුවේ ඉන්දියාවේ දී. මේ ඒ වාසනාවන්ත ගීතය” 

ලෙසයි.

 එතැන් පටන් ඔහුගේ ස්වර්ණමය යුගය උදාවනුයේ නිසැකයෙනි. ජෝති සිංහල සිනමාවෙ හි නැතුවම බැරි ගායකයෙකු වන අතර ඔහුගේ පිරිමි හඩ පෞරුෂය සමඟ හරි හරියට පෑහෙමින් වැඩිපුරම යුග ගී ගායනා කරනු ලැබුවේ ඇන්ජලින් ගුණතිලකයන්‍ ය. චිත්‍රපට පසුබිම් ගායනයෙන් නොනැවතුනු ජෝතිපාලයන් 1963 දී ‘සුදු සඳේ කළු වලා’ චිත්‍රපටය හරහා රංගනයට ද පිවිසෙයි. ඔහු ගීත ගායනා කරමින් රංගනයට දායක වූ ප්‍රථම චිත්‍රපටය එය විය. කොර චරිතයකින් එලෙස රංගනයට පිවිසි ඔහු වැඩිහරියක් දුෂ්ටයාගේ චරිතයට පන දුන්න ද සැබෑ ජීවිතයේ දී ඔහු දඩබ්බර චරිතයක් නොවන අතර ඉතා නිහතමනී, සංවේදී චරිතයක් බව ඔහුගේ සමීපතමයන් නිරන්තරයෙන් ප්‍රකාශ කළ කරුණකි.

ජෝතිපාලයන්ගේ ජනප්‍රියත්වයට සම කළ හැකි හෝ ඒ ආසන්නයට පැමිණි එකදු ගායකයෙකු හෝ එකල සිටියේ නැතැ යි කියා කීම අතිශයෝක්තියක් නොවනවා යැයි මම සිතමි. චිත්‍රපටයට පමණක් නොව ප්‍රසංග වේදිකාවට ද ජෝති මිණි පහනක් විය. ජනතාව අතර සිටි ජනතාවගෙන් නැගී ආ දහඩිය සුවඳ හොඳ හැටි හඳුනනා ගායකයෙකු වූ ජෝති කිසිදු විටෙක සිය අහිංසක රසිකයෙකුගේ අමරණීය මතකයක් ආසාවක් වන සමරු සටහන ලබා දීමට කොතරම් කාලයක් ගත වුව ද එය ප්‍රතික්ෂේප නොකරයි.

වරක් එක්තරා සංගීත ප්‍රසංගයක දී ජෝතිපාලයන් වට කරගත් තරුණියන් පිරිසක් පැයකට ආසන්න කාලයක් ඔහු වට කරගනිමින් සමරු සටහන් ලබාගත් අතර එක් තරුණියක් සිය ළය මත අත්සන් කරන්න යැයි බල කළ අතර එය ද දෙවරක් නොසිතා ඉටු කිරීමට ඔහු ඉදිරිපත් වෙයි.

ජෝතිපාලයන් සිය ගජ මිතුරා වූ ජනප්‍රිය ගායන ශිල්පී ජේ. ඒ. මිල්ටන් පෙරේරා සමඟ එක්ව 1950 ගණන් වල අග භාගයේ ‘අනංගයා’ තේමා කොටගෙන ගායනා කළ ගී ඉතා ජනප්‍රිය විය. එය රචනා කර දුන්නේ ගුණරත්න අබේසේකරයන් ය. මෙය ඉතා ජනප්‍රිය ගීයක් විය. ඊට පිළිතුරු ගීය ‘සුපෙම් ලොවේ කුසුම් සරා මල් සරා’ ගීය මිල්ටන් පෙරේරාට හිමි විය. මෙකී ගී අවසානයේ වාදයක් බවට පෙරළුනු අතර ‘පෙම්වතුන්ට සරණේ අනංගයා මම නේ…’ ගීය ජෝතිට හිමි විය.

එකී ගීතය සැබෑවක් කරමින් ලක්ෂ සංඛ්‍යාත පෙම්වතුන් ප්‍රමාණයක් හට සරණ වූ අනංගයා ඔහු ම විය. පෙම්පත් කීයකට නම් ජෝතිගේ ගී සරණ වන්නට ඇති ද? පෙම්වතුන් කීයක් නම් ජෝතිගේ පණ පොවා තම පෙම්වතිය උදෙසා ගයන්නට ඇති ද? ජෝතිපාලයන් අනංගයා මෙන් ම කිසි දා මරණයක් නොමැති ගායකයෙකු වී හමාර ය. අනංගයා අමරණීය යම් සේ ද ජෝතිපාලයන් ද එලෙසින්ම අමරණීය ගායකයෙකි. ඔහුගේ හඩ පෞරුෂය තවමත් ජීවමාන වනුයේ ඒ නිසාවෙනි.

මෙතුමන් 1974 දී තිරගත වූ “ඔන්න බබෝ බිල්ලෝ එනවා” චිත්‍රපටයේ ගැයූ “මේ ජීවනයේ” ගීතය වෙනුවෙන් හොඳම ගායකයා සම්මානය දිනා ගැනීමට සමත් විය. 1983 වසරේ සරසවි සම්මාන උළෙලේ දී “මීදුම් සිහින” චිත්‍රපටයේ ‘සරා සඳේ’  ගීතයටත් 1986 “ඔබට දිවුරා කියන්නම්” චිත්‍රපටයේ ‘පාළු සුසානේ’ ගීතය සඳහා ත් වසරේ හොඳම ගායකයා ලෙස සරසවි සම්මාන දිනා ගැනීමට ජෝති සමත් විය.

ජෝතිපලයන් සිනමාවෙන් සහ ප්‍රසංග වේදිකාවෙන් ඉපයූ ධනය දෙස බලන කල ඔහු මුදල් පොදි ගසාගෙන සිටියා නම් ඔහු ප්‍රකෝටිපතියෙකු විය යුතුය. නමුත් ඔහු එය එදිනෙදා වියදමට සහ යහළුවන් සමඟ සතුටින් සිය දිවිය ගෙවා දැමීමට කැප කළ පුද්ගලයෙකි. මිල මුදලට ගිජු නොවූ මනුස්සකම් පාවා නොදුන් මානුෂීය සහෘදයෙකි. වරක් ඔහු හට රු.40,000.00 වටිනා ටිකට්පතක් දිනුම් ලෙස ඇදෙනා අතර ඔහු එය තනිව බුක්ති නොවිඳ සියලු දෙනා අතර බෙදා ගත් බව ද සඳහන් වෙයි.

එලෙසම තම ප්‍රසංගයක් නැරඹීමට ආ යාචක ප්‍රේක්ෂකයන් දෙදෙනෙකු මුදල් ද නොගෙන ශාලාව තුළට ගෙන ඔවුන් ආරාධිත අසුනේ ද හිඳුවා කළ සත්ක්‍රියාව හරහා ම ඔහු කෙතරම් දේව ගුණ පිරි මනුෂ්‍යයෙකු ද යන්න වැටහෙනු නොඅනුමාන ය.

“සදාදර ජෝති’’, මිත්‍රත්වය හරිහම්බ කළ මානුෂීය සහෘදයෙකු ම විය. කුඩා මිනිසාගේ මනස ආමන්ත්‍රනය කළ හදවතට තට්ටු කරමින් දයාව වැපිරූ ආදරාණීය කලා කරුවෙකු විය. බොහෝ කලාකරුවන්ට අනුව එච්. ආර්. යනු හදවත රත්තරන් ජෝතිපාල” යන්නයි එය සැබෑවකැයි ඔබ මා සියලු දෙනා මනා සේ පිළිගන්නා කරුණකි.

1987 ජුලි 7 එය ශ්‍රී ලාංකේය සිනමා ලෝලී ගීත රසිකයන් හට දිවියෙ හි අමතක නොවනා දිනයක් බවට පත් විය. දීර්ඝ කාලීනව පැවති හදවත් රෝගය හට නිසි ප්‍රතිකාර නොගැනීම නිසා අමරණීය හඬ පෞර්ෂය සිය දශක 3 ක ට අධික කලා දිවියෙන් මෙන්ම 51 වසරක සමස්ථ ජීවිත ගමනින්ම නිකම සිය අමරණීය ගීත කලාව සහ අමරණීය මතකය පමණක් ඉතිරිකොට සමුගන්නා ලදි.

ඔහුගේ ගීයක් පරිද්දෙන්ම,

“ගියද නොසිතු යුරා …
මා ඔබේ පෙම්බරා…”

නොසිතූ විලස දැයෙන් සමුගත්ත ද ඔහු සිංහල සිනමාවේ පසුබිම් ගායනය තුළින් ප්‍රේක්ෂකයා හට චිත්තරූප නිර්මාණය කළ අපූරු පෙම්වතාම විය.

එතුමන් ආදරය, විරහව, වේදනාව එකී මෙකී නොකී සියලු රසයන් සහෘද ගීත රසවිඳින්නන් වෙත තිලිණ කළ අතර ෆීනික්ස් කුරුල්ලා මෙන් ගිනි ගෙන දැවී ගොස් නැවත ඒ මතින්ම සිය ප්‍රාණය ලබා ගන්නට මොහු සමත් වෙයි. එනම් ඔහු කිසි දින මිය නොය යි. ප්‍රේක්ෂක චිත්ත සන්තානයන් හි ජෝති යනු, අමරණීය නිදහස් ගායකයෙකි.

දින තුනක් අවසාන ගෞරවය සඳහා තැබූ ජෝතිපාලයන්ගේ සිරුර දින තුනට ඇදුම් 3 කින් සරසන්නට විය. එයට හේතුව වූයේ දේහය වෙත අවසාන ගෞරව දැක්වීමට ආ පිරිස් එතරම් සිරුර අතපත ගෑමට යෑම හේතුවෙන් සුදු ඇදුම් දූඹුරු පැහැ වීමයි. ජෝති වෙත අවසන ගෞරව දැක්වීමට ආ ජන ගංගාව තරම් ප්‍රසාදයක් වෙනත් කිසිවෙකු වෙත හිමි නොවනවා නොඅනුමානය. සිරුර මිහිදන් කෙරුනු බොරැල්ල කනත්ත වෙත ද අතුරු සිදුරු නොමැතිව ජන ගංගාවක් ගලා එන්නට වූ අතර පොලිසියට පවා එය පාලනය කරගත නොහැකි තත්වයක පැවතුනි. අවසානයේ දී බොරැල්ල කනත්තෙ හි තාප්ප, වැට කඩුලු ගලවමින් ජනතාව ඊට ඇතුලු විය. එය පාලනයෙන් තොර ආවේගය මුසු සිතාගත නොහැකි ජන ගඟකි. ඒ ජෝති හරි හම්බ කළ දේ යැයි ප්‍රකාශ කිරීම වරදක් නැතැයි මම තරයේ විශ්වාස කරමි.

මා මාගේ සියැසට දැක නොමැති එහෙත් ඔහු ගැයූ ඕනෑම ගීයක පද පෙළක් ආයාසයකින් තොරව ඉබේටම කියවෙන වත්මන් තරුණ පරපුර නියෝජනය කරනා මට ජෝතිපාලයන් සංගීත කලාවෙ හි යුගයක් හෙල්ලූ සක්විති රජෙකි. මා ඔහුගේ රසිකවියකි. එහෙත් සියැසින් නොදුටු ඔහුගේ ගීතාත්මක හඬ පෞරුෂය හට මා මෙතරම් ප්‍රේම කරනවා නම් එකල ජෝති යනු, වයස් භේදයකින් තොරව කාගේත් උන්මාදයක් වන්නට ඇත. එසේම ජෝති අද සිටියානම් වත්මන් සිනමා පසුබිම් ගායනය ද ඔහුටම හිමි වනු නොඅනුමාන ය.

ආදර ජෝති, ඔබ සදාදරණීය ජෝතිම වනවා පමණක් නොව, අප කවුරුන් මිය ගිය ද ඔබ කිසි දා මිය නොවනා අමරණීය ජෝතිම වනු ඇත. ඔව්, ඔබ ජෝතිය ඔබ නාමාර්තයෙන් පමණක් නොව, ක්‍රියාවෙන් ද ආලෝකය පමණක් නොව, සමස්ථ සිංහල සිනමා ප්‍රේක්ෂ්කයාම පාලනය කළ මිත්‍රත්වයටම අධිපති ජෝතිපාලයන්ම විය.

අමරණීය ජෝති ඔබට සුභ ජන්ම දිනයක් ලෙස 86 වන උපත සමරන මැතිඳුනි, චිරාත් කාලයක්  අමරණීයව අප අතර වැජඹේවා! යැයි හදවතින්ම පතමි.

Design by Pramodya Madhushani

References: 

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

චමුදි සමෝද්‍යා

ශාස්ත්‍ර පීඨය - තෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment