විශේෂ දිනයන්

ළමා දිනට පසු වදනක්…

ලෝක ළමා දිනයත් පහු වුනා. රට පුරාම ලොකු ලොකු උත්සව ගොඩාක් සංවිධානය කරලා තිබ්බා. පාට පාට වෛවාරණ ලෝකවල චූටි චූටි සිත් යායවල් අතරමං වෙලා එයාලගෙම හීන ලෝකවල. පුංචි පුංචි ළමයි ගොඩාක් මුළු දවස තිස්සෙම හිතේ හැටියට විනෝද වුනා ඇති වෙනකම්ම. නැටුවා, ගැයුවා, සිංදු කිව්වා, තෑගි එක්ක සතුටු වුනා පුංචි ඈයන්ට හරියට අවුරුදු වගේ. නැන්දලා, මාමාලා, අක්කලා, අයියලා, ඒ විතරක් නෙවේ ඉස්කෝලවලිනුත් එක එක විදිහෙ තෑගි හම්බ වෙලා. දුප්පත්, පොහොසත්, ලොකු, පොඩි භේදයක් නැතුව හැමෝම විනෝද වුනේ මේ එයාලගෙම දවස නිසා.

සති දෙක තුනක එහෙමත් නැත්නම් මාසයක දෙකක ඉඳන් ඔක්තෝම්බර් පළවෙනිදා වෙනුවෙන් එක එක දේවල් එක එක විදිහට එක එක අය සංවිධානය කරන්නෙ හරිම සතුටින්. චූටි ළමයින්ගෙ මල් වගේ ලෝකවල දේදුනු පාටින් සිත්තම් මවන්න හැමෝම ඉන්නෙ පුදුම නොඉවසිල්ලකින්.

පළවෙනිදා එළි වෙනවත් එක්කම තමන්ගෙම කැදැල්ලෙ චූටි බටිත්තන්ට එක එක විදිහෙ ආස කරන තෑගි අරන් දීලා ආර්ථික අපහසුතා තියෙන පවුල්වල පුංචි හිත් සතුටු කරන්න හිතාගෙන ඇති හැකි අය නැති බැරි අයට උදව් කරන්නත් පුංචි ඈයන්ට ආදර්ශයක් වෙන්නත් අපේ තරුණ වැඩිහිටි පරපුරට තාමත් අමතක වෙලා නම් නෑ. අපේකම අපි අතර තාමත් ඉතුරු වෙලා තියෙනවා කියන්න එදාට ඕන තරම් සාක්ෂි පොඩ්ඩක් එළිපෙහෙළියට බැස්සහම ඇස් තියෙන ඕනම කෙනෙක්ට දැක ගන්න පුළුවන්. ජාති ආගම් කුල මල කිසිම භේදයක් නැතුව ලාංකික කියන හැඟීම නොහිතුවත් පුංචි ඇස් ඉස්සරහා ඒ හැඟීම නිතැනින් ම ඉපදිලා. ඒකයි කාගෙ කවුද බලන්නෙ නැතුව පුංචි ළමයි හැමෝටම දෝත පුරා තෑගි ලැබෙන්නෙ.

වැඩිහිටි වැරදි තීරණ නිසා ළමා නිවාසවල අතරමං වෙන පුංචි මල් කැකුළු ගැන මෙදාට තරුණ සමාජයෙ අවධානය යොමු වෙන්නෙ විශේෂයෙන්මයි. වීදි දරුවන්ගෙ සිත්වලටත් සතුටු සිනා කැන් කැන්දන්න මේ අය අමතක නොකරන්නෙ පුංචි හිත්වල සිනාමල් පිපෙද්දි ඒ හිත්වලට දැනෙන ආදරණීය හැඟීම නිසාමයි.

ඒ හැම දේම හොඳ දේවල්. මං කියන්නෙ නෑ ඒ එකක්වත් වැරදියි කියලා. එදාට ඒ දේවල් කරන්නම ඕන. මොකද පුංචි ඈයන්ගෙ දවසෙ එයාලාව සතුටු කරන එක තරුණ, වැඩිහිටි අපි හැමෝගෙම යුතුකමක්. එහෙම නැති වුනොත් අපි යුතුකම් නොදන්න වගකීම් රහිත මිනිස්සු කොට්ඨාසයක් වෙනවා.

ඒත් මෙන්න මෙහෙම හිතලා බැලුවද??

ළමා දිනේ පහු වෙලා දවසක් දෙකක් එහෙමත් නැත්නම් සතියක් දෙකක් යද්දි පළවෙනිදා සතුටින් රෝස පාට වුන කම්මුල් ආපහු පරණ විදිහටම මැලවිලා. ළමා නිවාසවල ළමයි ආපහු තනි වෙලා. වීදි දරුවො සුපුරුදු විදිහටම තම තමන්ගෙ වැඩ රාජකාරිවල. තෑගි දීපු සමහරු ආපහු දැක්කත් ඒ ළමයින්ව නොදැක්කා වගේ යන්නෙ. ආයෙමත් ඒ අය එයාලගෙම ලෝකවල අතරමං වෙලා. එයාලව ආයෙ මතක් වෙන්නෙ එක්කො ආයෙමත් අවුරුද්දකින්. එහෙමත් නැත්නම් මොකක් හරි විශේෂ සැමරුම් දවසක.

ඇත්තටම ලෝක ළමා දිනයක් නම් කිරීමේ අරමුණ මේක ද?? එක දවසක් විතරක් පුංචි ළමයිව සතුටින් තියන එකද??

මට නම් හිතෙන්නෙ මේක වෙන්න ඕන මෙහෙම නෙවෙයි. ළමා දිනේ දවසෙ එයාලාව සතුටු කරනවා වගේම එදාට අපිට පුළුවන් නම් පුංචි ළමයි වෙනුවෙන්, විශේෂයෙන් වීදි දරුවන්, ළමා නිවාසවල ඉන්න දරුවන්, ආර්ථික අපහසුතා මැද ජීවිතය දිනන්න වෙර දරන පුංචි සිත් වෙනුවෙන් ඉදිරි වර්ෂයටම වැඩදායි වෙන මොකක් හරි සාර්ථක ක්‍රියාමාර්ගයක් ගැන සාකච්ඡා කරලා වැඩ පිළිවෙලක් හදලා ඊළඟ අවුරුද්දෙදි ඒකෙ ප්‍රගතිය සහ සාර්ථකත්වය ගැන හොයලා බලලා අඩුපාඩු හදා ගන්න, අන්න එදාට මේ ලෝක ළමා දිනය මීට වඩා අර්ථාන්විත වේවි. එතකොට ඒ ළමයි එක දවසක් නෙවෙයි මුළු අවුරුද්දෙම සතුටින් ඉඳීවි. ඒ ළමයි අතරින්ම සමාජයට වැඩදායි තරුණ පරපුරක් බිහි වේවි. අදට වඩා ලස්සන හෙටක් ගැන බලාපොරොත්තු ඇති වේවි.

වර්තමානය වෙද්දි සිදු වෙමින් පවතින ක්‍රියාවලිය, අපි හරි පුංචි වෙනසකින් වෙනස් කලොත් ඒ ආරම්භයත් එක්ක සමාජයේ සුළුතරයක් හෝ වෙනස් වෙන්න බැරි නෑ. හැමෝවම නැති වුනත් ටික දෙනෙක්ට හරි එතකොට ලස්සන හෙටක අරුණළු දකින්න ඉඩ හසර ලබා දෙන්න අපිට පුළුවන් වේවි. එතකොට අර්ථාන්විත විශ්ව ළමා දිනයක් බහුතර ළමා පිරිසකට අත් විඳින්න ලැබේවි. කරන්න තියෙන්නෙ පුංචි දෙයයි. අපි හිතන විදිහෙ පොඩි වෙනසක් එක්ක ඒ දේවල් වගකීමෙන් ක්‍රියාත්මක කරන එක විතරයි. එතකොට නොදැනීම මුළු ලෝකයම වෙනස් වේවි අපි දිහා බලන්.

ප.ලි.
ළමා දිනය උදාහරණයට ගත්තත් එදාටම යෙදෙන වැඩිහිටි දිනය ඇතුළු අනෙක් හැම සැමරුම් දිනයක්ම මේ වගේ අර්ථාන්විත කර ගන්නවා නම් මිනිසා ඇතුළු මුළු පෘථිවි වාසී සියල්ලන්ටම පවතින ගැටළුවලින් සෑහෙන්න ප්‍රමාණයක් නොදැනීම විසඳී යාවි කියලයි මට නම් හිතෙන්නෙ.

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

හෂිනි මධුෂානි

විද්‍යා පීඨය - අවසන් වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment