Colombo Beacon ආදරය

ළු…

Written by Methma Lakshani

“හිමි නොවුවත් සමහරක් අය අහිමි වන තැන බැඳෙනවා 
සදාකාලික ප්‍රේමයක් නම් කවදා හරි අත්හැරෙනවා…”

මෑත කාලීනව සමාජ්‍ය මාධ්‍ය තුළ මේ අකුරු වැල නුහුරු අයෙක් නොමැති තරම් ය.
රුහුණුකෙත ධම්මදේව හිමියන්ගේ දෑතින් හුස්ම ලද මේ පදවැල් හඬින් සහ සංගීතයෙන් රස ගන්වන්නේ තරිඳු දම්සර ය.

දෙහදක ස්පර්ශය ආදරය යි. පියවරෙන් පියවර එම හදවත් එකිනෙකාගේ ආත්මයන් සිසාරා අහු මුළු සියල්ල වටහාගත යුතුය. ඊට අපොහොසත්වන ඇතැමුන් තවත් පියවර තැබීම නවතා දමා විරහවකින් ආදරයට සමුදෙයි. ජීවිතය යනු, හිමිවීම් අහිමිවීම් වල එකතුවක් යැයි සිතමි. ඉතින් අවසානයේ ඉතිරි වන්නේ ආ ගිය ලද නොලද උන්ගේ සුවඳ පමණි. 

“නු‍ඹ නොමැති දිහාවක තල කොහිද සඳළු 
කටු මතින් ඇවිද යමි මතක වන වදුලු
උහුලන්න බැරි තරම් මතකයන් සිඳළු
ලස්සනම තැන් වලයි තියෙන්නෙම කඳුළු”

පෘථග්ජනයන් වන අපි අටලෝ දහමින් කම්පා නොවන බව ඇඟවීමට මානසික උපායක් ලෙස සිනහව උපයෝගී කර ගන්නෙමු. හිරුගේ ආධිපත්‍යයේ දී සිනහවෙන් දොම්නස වසන බොහෝ අය රාත්‍රී සඳුගේ තුරුලට වී කඳුළු ගංඟා කොපුල් තල දිගේ ඔහේ ගලායාමට ඉඩහරියි.

“රැයක මැදියම අරන් ගලවමි දෑස් වල ඇබේ
එතැන් සිට ගලන්නේ මොනවාද ඉබේ
ඉතින් නුඹ තබා ගිය සිනාවන් තැනින් තැන තිබේ
අතීතය සිහි කරන් හොඳටෝම මං රිද්දගනු ලැබේ…”

ජීවිතයම රංගනයක් නොවේ ද? දුකට හැඬීමට, සතුටට සිනාසීමට නොහැකි ලොවක ආධ්‍යාත්මික සුවයක් ලැබීමට නම් තමා විසින් තම ආත්මය වැළඳගත යුතු යැයි සිතමි.

දුක සතුට, කඳුළ සිනහව විසින්  විටින් විට ජීවිතයට අලුත් පිටු එකතු කරයි. කඳුළු හෙලා හෝ අසීරු තැන් වල ජීවිතය දරාගැනීම කළ යුතුය.

නේකවිධ මිනිසුන් විසින් ආදරයට විවිධ වූ අර්ථකතන දෙනු ලබයි. විරහවත් එක්තරා කලාවකි. හැඟීමකි. වි‍ඳීමකි.
ඉතින් විරහව ද අලුත් ඇසකින් දකින්නට මේ ගී පද රුකුලක් වනු ඇත.

ගීතයක් මිනිස් සන්තානයේ සියුම් තැන් ස්පර්ශ කිරීමට සමත් වන කලා නිර්මාණය කි. තරිඳු දම්සරයන්ගේ හැඟුම්බරිත ස්වර ගැයුම ද ධම්මදේව හිමියන්ගේ අකුරු එකතුව ද එක්වන තැන මැවෙන්නේ අමුතුම රහකි.

විරහව දුකක් වුව ද විරහවේ විඳවීමේ විඳීම අත්විඳින්නට ලැබෙනුයේ ඉතාම කලාතුරකිනි. මෙම නිර්මාණය තුළින් විරහව විඳි නොවිඳි සියල්ලන්ටම විරහව විඳීමට හැකි වනු ඇත.

නිර්මාණයක් සර්වසම්පූර්ණ වන්නේ පද රචනාව, තනු නිර්මාණය මෙන්ම ගායනය ද පදමට ගැළපුණු විට දී ය. රසවිඳ බලන්න. මෙම ගීය රස ගුලාවකි.

මගේ අදහස නම්, මෑත කාලයේ හමු වු නොමැකෙන ගීය “ළු” ඔබ විසින් අනිවාර්යයෙන්ම රස විඳිය යුතු ගී ගොන්නට එක් විය යුතුම ය.

මෙත්මා ලක්ෂානි
පළමු වසර
කළමනාකරණය හා මූල්‍ය  පීඨය

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

Methma Lakshani

Leave a Comment