සාමාන්‍ය

ෆැන්ටසියෙන් ඔබ්බට ගිය නවාතැනක්

වලේ සිටින මිනිසා වලටම නොව සමාජය ඉදිරියේ බබළන තරුවක් කිරීමට දරණ ප්‍රයන්තයක්…

අහිංසක මෝඩ කොලු ගැටයෙක් සහ ඔහුගේ සගයින් තිදෙනෙක්. ජීවනෝපාය කසිප්පු පෙරීම කරගත් ඔවුන්ව යහමගට ගැනීමට වෙර දරණ පන්සලේ ලොකු හාමුදුරුවෝ සහ මාස්ටර් නම් උත්තරීතර මිනිසෙක්. ඔවුන්ව පාගා කතා කරන ගැමියන් පිරිසක්…

සරා නම් තරුණයා සුන්දර ගමක පිපිණු සොඳුරු හදවතක් ඇති වන මලක් කීවොත් මා නිවැරදියි. කවඩියා, සුද්දා සහ කිරි පුතා ඔහුගේ යහළුවන් තිදෙනාය. සිව්දෙනා එක්ව කසිප්පු පෙරා මුළු ගමටම කසිප්පු විකුණති. “කසිප්පු කාරයෝ” කියා ඔවුන්ව හංවඩු ගසා ඇත. මොවුන් හට මේ නරකාදියෙන් ගොඩ ඒමට හැකි වේවිද? අපට කළ හැක්කේ බලා සිටීම පමණි. 

කසිප්පු වාඩිය ගැන ඔත්තුවක් ලැබී පොලීසිය සරා සිටින වාඩියට පනී. කසිප්පු බැරල් කීපයක් හලා තවත් කසිප්පු පොදි ගසා සරා ඇතුළු සගයන් සිව්දෙනා පොලීසිය කුදාලාගෙන ගම මැදින් යති. එක් වරම පොලිස් ග්‍රහණයෙන් මිදී ඔවුහු පැන යති. “සරා”  දුව විත් පැමිණ මාස්‍ටර්ගේ කලා ආයතනයේ ළමුන් අතර සැඟවෙයි.

මෙසේ කතා පුවත දිග හැරෙන්නට පටන් ගනී.

ජයප්‍රකාශ් සිවගුරුනාදන්, සද්ධා මංගල සූරියබණ්ඩාර සහ චාමර සමරවික්‍රමයන්ගේ තවත් නිර්මාණයක් වන මෙම කතා මාලාවේ චරිත වලට සජිත අනුත්තර (සරා), සෙනාලි ෆොන්සේකා (පාඨලී), ප්‍රසන්නජිත් අබේසූරිය (මාස්ටර්), විරාජ් ධනුක (සුද්දා), නිම්මි මනෝහාරී (මාස්ටර්ගේ පොඩි දුව), සංගීත් ප්‍රභූ (කවඩියා), ගිරිරාජ් කෞශල්‍ය (කුකුළා මුදලාලි), මීනා කුමාරි (කුසුමලතා), කෝකිල පවන් (මාලන්), ප්‍රවීනා දිසානායක (ගීතිකා) යන අය පණ පොවනු ලබයි.

“හසරක් නොපෙනන මග දිග සපැමිණෙන අයාලයේ ආ ගමනක්…”

ඔව්, සරා සහ සගයන්ට කිසිම මග පෙන්වීමක් නැති නිසා ඔවුන් ජීවනෝපාය ලෙස කසිප්පු වෙළඳාම තෝරාගෙන ඇති බව පෙනෙන්නට තිබේ.

“උඹ නැති කළේ මගේ බිස්නස් එක… මගේ අහිංසක තාත්තාව, අක්කව, කකුලක් නැති මගේ මස්සිනාව, අර පොඩි කෙල්ලව, මගේ අම්මව මම බලාගන්නෙ යකෝ කසිප්පු විකුණලා…” 

එක් අවස්ථාවකදී සරා එසේ කියයි. එතැනින් පැහැදිලි වන්නේ  ඔවුන් තම ආදරණීයයන් පෝෂණය කරන්නේ කසිප්පු විකිණීම ජීවනෝපාය කරගෙන බවයි.

ඔවුන් ඉගෙන ගෙන නැත්නම්, කෙසේ නම් ලොකු කන්තෝරුවක වැඩ කරන්නද? මොනවා කරලා නිවෙස් වල ඇත්තන්ව බලාගන්නද? 

එසේම, සරාගේ මව කසිප්පු විකිණීමට ඍජුවම අනුග්‍රහය ලබා දෙයි. අම්මා කෙනෙක් කියන දෙයක් ඕනෑම පුතෙක් අසයි. ඔවුන්ගේ නූගත්කම සහ අහිංසක අසරණකම මැනවින් මෙම කතා මාලාව තුළින් විදහා දක්වයි.

සැබැවින්ම මේ විනාශ මුඛයට යන්නේ අහිංසක තරුණ ජීවිත නොවේද?

“බහු රූ කෝලම් විසූක දස්සන…
අතුරක් නොමැතිව ඇස කන රවටන…
මේක නාඩගම් මඩුවක්…”

මෙහි එන තවත් ප්‍රධාන චරිතයක් වන “කුකුළා මුදලාලි” සැබැවින්ම නාඩගමක් යැයි සිතන්නේ ඔහුගේ දුව ජානු නොහොත් ජානකීය. නමුදු ඇයගේ රඟපෑම අතිවිශිෂ්ටය. ඇයව ජනප්‍රිය නිළියක් කිරීමේ මුවාවෙන් කුකුළා මුදලාලිගේ සල්ලි ගසා කෑමට එන අනික් පුද්ගලයා මාලන් නොහොත් මනමාලන් ය. සැබැවින්ම විකට චරිතයක් වන මොහු නාඩගම්කාරයෝ රසික හදවත් තුළට ගෙන යෑමට විශිෂ්ට මෙහෙවරක් කරන සොඳුරු කලකරුවෙකි. මොහු ඉන්න තැන කතාව රසවත්‍ ය. 

දනි පනිගාගෙන වැටුණු වලෙන්…
ගොඩ එන්නට දඟලන අතරේ…
කකුලෙන් ඇද යළි වල මත රඳවන…
වග වලසුන් ඇත නුදුරේ…”

පන්සලේ ලොකු හාමුදුරුවෝ සරා ඇතුළු පිරිසට හොඳින් ධර්මය ඇසුරෙන් තේරුම් කරන්නට වෙර දරමින් සිටිනුයේ, කසිප්පු විකිණීම  නවත්වා  යහපත් කර්මාන්තයක යෙදෙන ලෙසය. මේ සියල්ලම ඇරඹෙන්නේ මා ඉහත කී ආකාරයට පොලීසිය සරා ඇතුළු පිරිසගේ  පසුපස හඹායද්දී, ඔහු පැමිණ මාස්ටර්ගෙ පන්තියේ සැඟවෙද්දී, මාස්ටර් ඔහුව පොලීසියට අල්ලා නොදුන් සිද්ධියත් සමඟය. ඔහුව පන්සලේ වෙසක් දිනය වෙනුවෙන් පෙන්වන වේදිකා නාටකයටද සම්බන්ධ කර ගැනීමට මෙය මග පාදයි.

මාස්ටර් මොහු තුළ විශාල ආකර්ෂණ  බලයක් සහ හොඳ හැකියාවක් ඇති බව දකියි. ඔවුන්ගේ දියුණුවට අත හිත දෙන්නේ මාස්ටර් සහ පන්සලේ ලොකු හාමුදුරුවෝ පමණි. මොවුන් දිහා වැරදි කෝණයෙන් නොබලනුයේ එම උත්තමයන් දෙදෙනා පමණි. නූගතුන් සහ උගතුන්ගේ වෙනසද මනාවට මෙම කතා මාලාවෙන් විදහා දක්වයි.

නමුත්, මොවුන් කසිප්පු විකිණීම  නවත්වා  දියුණු වෙන්න  උත්සහ කළත් ගමේ මිනිසුන් ඔවුන්ව කසිප්පු කාරයෝ කියා හංවඩු ගසයි.

කොරටු වලින් එළවළු ගෙන ටවුමේ මාකට් එකට විකුණන්න සරා සහ සගයින් සැරසෙන නමුත්, ගමේ උදවිය ඔවුනට එළවළු දෙන්න අකැමැති වෙති.

අවසන ඔවුන් හට කසිප්පු පෙරන්නටම වෙති.

“මිනිසත්කම මිස රුව ගුණ නොතකන…
උත්තම ගුණ ඇති බෝසත්වරුනේ…
ඔබ පෙන්වන මග දිගටම යනු හැර…
අන් කිසි පිහිටක් නොපෙනේ…”

පන්සලේ ලොකු හාමුදුරුවෝ මාස්ටර් සමඟ එකතු වී කෙසේ හෝ සරා  නාටකයට සම්බන්ධ කර ගනු ලබයි. එම අවස්ථාවේදීත් විශාල ප්‍රශ්න රැසකට මුහුණ දීමට ඔවුනට සිදු වෙයි. ඒ පිළිබඳව පසුව සටහන් තබමි.

සැමට මෛත්‍රී සිතැති ලොකු හාමුදුරුවෝ  කීප අවස්ථාවකදීම සරාගේ වාඩියට වැඩියෝය. සරා ඇතුළු සගයන්ට පින් පිණිස ඒ වාඩියේ වැඩ සිට, ඔවුන් විසින් පිළිගන්වන ලද දානය පවා වළදන ලදි.

බුදුන් නොමැති මේ බුද්ධ දේශයේ සැබෑ යථිවරයාණන් වහන්සේ නමක් ලෙස මම උන්වහන්සේ දකිමි.

අවසන කසිප්පු කාරයන් කියා හංවඩු ගසන ලද සරා ඇතුළු පිරිස වෙසක් පෝයට සිල් සමාදන් කරගන්නා තත්වයට ගෙන එන්නේ ද උන්වහන්සේගේ මහා කරුණාවයි.

මදක් සිතා බලන්න. උන් වහන්සේ කළ මෙහෙයක බලය කෙතෙක්ද? එපමණක්  නොව, සරාගේ පවුලේ අයට පවා උන්වහන්සේ හැකි අයුරින් උදව් උපකාර කරනු ලබයි. මුල දී සරා ඇතුළු පිරිස උන්වහන්සේ සමඟ රණ්ඩුවටද පැමිණෙති.

නමුදු ඔවුනට හරි පාර පෙන්වන්නේද උන් වහන්සේමයි.

දිනක් සරාගේ වාඩියට වැඩම කළ උන්වහන්සේ පවසනු ලබන්නේ “අනුන්ට දෙන ගින්දර තමන්ටත් ලැබෙනවා” යනුවෙනි.

එදිනම රාත්‍රියේ සරා සහ සගයින් සිටින වාඩිය ගිනි ගන්නා ලදි, එය ලේකම්ගේ අනුග්‍රහයෙන් සිදු වූවකි. ඉහත බණ පදය හරියට නොවැටහුණ සරා ඇතුළු පිරිස සිතනුයේ ලොකු හාමුදුරුවෝ තමාගේ වාඩියට ගිනි තබන ලද්දේ කියාය. අන්තිමට හරි වැරැද්දත් ඔවුනටම තේරුම් යයි.

ඉහත මා කී නොකී සෑම දෙයකින්ම මනාවට පැහැදිලි වෙන්නේ, සරා ඇතුළු පිරිස අහිංසක මෝඩ තරුණ කැළක් වන අතර ඔවුනට හරි පාර පෙන්වූවා නම් හොඳ අධ්‍යාපනයක් තිබුණා නම් සමාජයේ ඔවුන් ද වැජඹෙන පුද්ගලයින් බවයි.

“මුලු දිවියම සොරකමටම දන් දුන් 
සත්තුක නම් සොර දෙටුවා වෙමි මන්…//

මුදලාලි: “බලනවකෝ බලනවකෝ, මේකගෙ තියෙන තේජස…”

එස්. කේ. සිරිසේන: “ඔව් නේ මාත් ඒකයි බැලුවේ ගමේ කාගෙන්වත් මේ වගේ රංගනයක් බලාපොරොත්තු වෙන්න බෑ”

ඔව්, නොයෙකුත් තාඩන පීඩන හමුවේ සරා අවසානයේ කුණ්ඩලකේශී නාටකයේ ප්‍රධාන නළුවා ලෙස රගපාන ලදි.

කසිප්පු කාරයා ලෙස හංවඩු ගැසූ ඔහු ගමේ මිනිස්සු අතර හොඳ චරිතයක් ලෙස කතා බහට ලක් වූ මුල්ම අවස්ථාව මෙය වන අතර, සියල්ලෝම උද්දාමට පත් විය.

“පොපී දෙවා මා තඹර තොල් පෙති ළය පුරා පිරි සෙනෙහසින්…
පිදූ ආලය දෑසන් මසිතට 
මිණි පළිඟු කිරුළක් ලෙසින්…”
-සොර දෙටුවා-

“මුකුලිත මා සිත් පියුම් විල
විකසිත කළ හිමියනේ
සුරපුරකි ඔබ සමඟ මෙ දිවිය
දුකක් තැවුලක් නොම දැනේ”
-කුණ්ඩලකේශී-

පෙම් කතා, මල් කතා, අඬන කතාම පමණක් පුංචි තිරයේ තිරගත වන මෙවන් කලි යුගයක, “නාඩගම්කාරයෝ” යනු ෆැන්ටසියෙන් එහා ගිය පොළවේ මිනිස්සු සැබෑවමටම පය ගසා ඉන්නා  සැටි මනාවට විදහාපාන ඇත්ත යථාර්ථය ලොවට විදහාපාන හරි අපූරු ටෙලි සිතුවමක් කීවොත් මා නිවැරදියි.

මෙවන් ටෙලි සිතුවම් කිරීමට හෙළයේ යුග පුරුෂයන්ට තව තවත් ශක්තිය ලැබේවා! යි පතමින් Colombo Beacon අපි අදට සමුගන්නෙමු.

Design by : Pathum Lakshan

Images :

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

කෝකිලා සනෝජි

විද්‍යා පීඨය - දෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment