Colombo Beacon ආගමික දැනුම

දළදාවේ මැකීගිය හස්ථි උරුමය

🐘 බෝසත් රාජා
කුමරිය ගජගා වංශයට අයත් 1925 ලෙබ්බේ විසින් මන්නාරම් දේශීය ඝන කැළෑවකින් මොහු සොයා ගන්නා ලදී. මහනුවර යටිනුවර ටිකිරි බණ්ඩාර මාම්පිටිය දිසාවට විකිණීමෙන් අනතුරුව මාම්පිටිය දිසාව දළදා මාලිගයට පරිත්‍යාග කරන ලදී. එවකට දළදා මාළිගයේ සධාතුක කරඬුව වැඩම වූයේ මහරාජා හෙවත් දත් කොටා හස්ථියායි. යහපත් ගුණාංගවලින් සහ විනීතභාවයෙන් හෙබි බෝසත් රාජා පළමු වරට පෙරහැරේ ගමන් කළේ 1953 වසරේ සී.බී. නුගවෙල නිලමේ තුමාගේ උපදෙස් මතය. අඩසියවසක් දළදා පෙරහැරේ ගමන් කළ ඇත්රජු 1986 අගෝස්තු 20 දින එවකට සිටි ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් ජාතික වස්තුවක් ලෙස ප්‍රකාශ කළේය. දකුණට වඩා වම් දළය මදක් උස්ව පැවතීම බෝසත් රාජාගේ විශේෂ ලක්ෂණයක් මෙන්ම මංගල ලකුණක් ද විය. මෙවන් පින්වතෙක් සිටියා නම් ඒ ලංකාවේ පමණි. දළදා කරඬුව වැඩම වූ මේ පින් කඳ 1988 ජූලි 16 දින මෙලොවින් සමු ගත්හ.

🐘 මිල්ලන්ගොඩ ලොකු රාජා
ආසියාවේ දිගම දළ යුගලට හිමිකම් කියන මෙම රාජා 2011 මැයි මස පුත්තලම නවගත්තේගම ප්‍රදේශයෙන් අල්ලා ගන්නා ලදී. පසුව කෑගල්ලේ මොලගොඩ එච්.ආර්.එස්. මිල්ලන්ගොඩ අප්පුහාමි යන අයට අයිති විය. වර්ෂ හතළිහකට ආසන්න කාලයක් පෙරහැරේ කරඬුව වැඩම කළ මිල්ලන්ගොඩ ලොකු රාජා 2011 වසරේ අවසන් සුසුම් හෙලීය.

🐘 මිල්ලන්ගොඩ පොඩි රාජා
මිල්ලන්ගොඩ පොඩි රාජා හෙවත් මිල්ලන්ගොඩ ජයන්ති රාජා 1959 දී වයස අවුරුදු හතරේ දී දෙහිවල සත්ව උද්‍යානයේ වෙන්දේසියක දී මිලදී ගත් අතර මෙම සිදුවීම සිදු වූයේ බුද්ධ ජයන්ති වසරේ නිසා ජයන්ති ලෙස ද හඳුන්වයි. 2016 වසරේ කිහිප වතාවක් ශ්‍රී දළදා මාළිගාවේ සධාතුක කරඬුව වැඩම කළ අතර 2017 ප්‍රථම රන්දෝලි පෙරහැරේ සධාතුක කරඬුව වැඩමවා ඇත. අඩි නවයක් පමණ උසින් යුත් ජයන්ති රාජා 2020 ජූනි 29 දින අවසන් හුස්ම හෙළීය. මිය යන විට දී ඔහුගේ වයස 68 ක් විය.

🐘 ඒකදන්ත ඇත් රාජා
මාලිගාවේ ඇත් පන්තියේ හිටපු නායක හෙවත් නිළමේ ඒකදන්ත ඇත් රාජායි. අනුරාධපුර ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ වගා ළිඳක වැටී සිට පින්නවල අලි අනාථාගාරයට භාර දී ඇත. එයින් මිලදීගෙන 1978 වර්ෂයේ දළදා මාළිගයට පූජා කළේ නාවික සංචාරක සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරිය වූ විමලා කන්නන්ගර මහත්මියයි. වම් දළයක් පමණක් හිමි වූ මෙම ඇත්රාජා ඇත් පන්තියේ වාසනාවන්තම ඇතා විය. දළදා මාළිගයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ දහවල් පෙරහැරේ කරඬුව වැඩම කරවීම වසර ගණනාවක් අඛණ්ඩවම සිදු කෙරිනි. දශක හතකට ආසන්න කාලයක් දළදා පෙරහැරට සේවය කළ ඒක දන්ත ඇත්රජු 47 වියේ සිටිය දී 2017 මාර්තු 12 මෙලොවින් සමුගත්හ.

🐘 නවම් රාජා
මෑත කාලයේ කොලොම්පුර විසූ දළ පූට්ටු ඇතෙකු වී නම් ඒ නවම් රාජායි.
මයිසූර් ප්‍රාන්තයේ මහරාජා කෙනෙකුගේ නෑයෙකුගේ මානසික රෝගයක් සුව කිරීමෙන් තුටු පඬුරු වශයෙන් ලැබුණු ඇත් බානෙහි එක් ඇතෙකු නවම් ඇත් රජුය. ඉන්දියාවෙන් ගංගාරාමයට පැමිණ පසුව ඇඹිලිපිටිය ප්‍රදේශයට ලබා දී ඇත. 1978 ආරම්භ වන කොළඹ නවම් මහා පෙරහැර මංගල්‍යය සමගින් මෙම ඇතා නවම් රාජා ලෙස නම් විය. මුල් යුගයේ නවම් රාජාගේ දකුණු දළ‍යට උඩින් වම් දළය පූට්ටු වී තිබුණද පසුව දකුණු දළය මතින් වම් දළය පූට්ටු වී තිබුණි. මෙය මංගල ලක්ෂණයක් වීම නිසා නවම් රජු ඇත් පන්තියට වඩාත් සුදුසු වූවෙකි. නුවර පෙරහැරේ සධාතුක කරඬුව වැඩම වීමට මෙන්ම ගජනායක නිලමේ හා පෙරමුණේ රාල රැගෙන යාමට පින් කළ ඇත් රජු 2011 ජූලි 8 අවසන් හුස්ම පොද වා තලයට මුසු කෙරිණ.

🐘 වේවැල්දෙණියේ රාජා
දකුණු පළාතේ අඟුණකොලපැලැස්ස ප්‍රදේශයෙන් අල්ලාගත් මෙම ඇතු එවකට ඇමති ධුරයක් දැරූ පී.බී.ජී. කලුගල්ල මහතා විසින් වේවැල්දෙණියේ විහාරාධිපති තාඹුගල ශ්‍රී සෝරත හිමියන්ට පූජා කරන ලදී. පසුව දළදා මාළිගයට පූජා කිරීමෙන් අනතුරුව දළදා පෙරහැරට සේවය කිරීමට ඇත් රජුට අවස්ථාව හිමි විය. ඒ අනුව වාර්ෂික ඇසළ පෙරහැරේ සධාතුක කරඬුව පසළොස් වතාවක් රැගෙන යාමේ භාග්‍යය මෙන්ම දෑලේ ගමන් කිරීමේ වාසනාව ද වේවැල්දෙණියේ රාජාට හිමි විය. අවුරුදු 55 ක් ආයුෂ ලැබ 2014 පෙබරවාරි 10 දින අවසන් ගමන් ගියහ.

🐘 හෙයියන්තුඩුවේ රාජා
ජාත්‍යන්තර සිනමාවටද ආදරණීය වස්තුවක් වූ හෙයියන්තුඩුවේ රාජා 1945 මාර්තු මස හම්බන්තොට කට්ටකඩු වනාන්තරයේ දී අල්ලා හම්බන්තොට කච්චේරිය විසින් සිදු කළ වෙන්දේසියක දී හියැන්තුරු රාලහාමි විලියම් ගුණසේකර විසින් මිලදීගත් ඇතෙකු විය. මාලිගාවේ රාජා ගේ අභාවයෙන් පසු වසර එකොළහක් අඛණ්ඩවම දළදා පෙරහැරට සහභාගි විය. සුදා සුදා රාම්ජගේ සහ ඉන්දියානා ජොන්ස් වැනි චිත්‍රපටවලට මෙම ඇතා යොදාගෙන ඇත. වයස 78 දී එනම් 2002 නොවැම්බර් 6 දී ම හෙයියන්තුඩුවේ ඇත් රාජා අවසන් හුස්ම හෙළීය.

🐘 නැදුම්ගමුවේ විජය රාජා
ප්‍රභූ ආරක්ෂාවක් ලබා දුන් ලබා දෙන ලොව එකම ඇත්රජු නැදුම්ගමුවේ රාජා‍යි. ඉන්දියාවේ උපත ලැබූ අතර මයිසූර් ප්‍රාන්තයේ මහරාජාගේ ඥාතියකුගේ මානසික රෝගයක් සුව කිරීම වෙනුවෙන් තුටුපඬුරු ලෙස ඇත් බානක් ලැබුණ අතර ඉන් එක් ඇතෙකු මොහු විය. හොරණ ප්‍රදේශයේ ලී මඩුවක දර කොට ඇද සිටි ඇත් රාජා අවුරුදු හතළිහකට පෙර ධර්මවිජය වෙදමහතා මිලට ගත්තේය. අඩි 5 ක් දිග රාත්තල් 450 ක් බර දළ යුගලයකට උරුමකම් කී නැදුන්ගමුවේ රාජා ආසියාවේ උසම සද්ධන්තයා විය. මංගල කුලයේ වූ ඇත් රජුගෙන් මංගල ලක්ෂණ බොහොමයක් විද්‍යාමාන විය. ඉතිහාසයේ අවුරුදු ගණනක් නොකඩවා කරඬුව වැඩම්ම වු එකම ඇතා නැදුන්ගමුවේ විජය රාජායි. දළදා පෙරහැර වෙනුවෙන් දින හතක් පුරා නිදි නොලැබ පාගමනින්ම පැමිණෙන එකම හස්තියා නැදුම්ගමුවේ රාජා විය. වසර දාහතක් පෙරහැරට සහභාගී වූ අතර දහතුන් වතාවක් සධාතුක කරඬුව වැඩම වීමේ කිරුළ දැරීය. 2022 මාර්තු 7 වන දින මගුලැති කිසිවෙකු අපේක්ශා නොකළ පරිදි ජීවන ගමනට සමු දුන්හ

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

සංසලා රත්නායක

තාක්ෂණ පීඨය - පළමු වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment