දැනුම

2020?

නිවැරදි දිශාවක් සොයමින් මහා නැවක් අැති
හීන පොඳි බැඳ එහි මගී ජනයා අැති
කපිත්තෙක් ගැන සිතමින් සුක්කානමක් අැති
එ් නැව එයි කියා සුර කොදෙව්වක් මඟ බලන් අැති

මේ නැවට අලුත් කපිත්තෙක් මෙම වසරේ නොවැම්බර් 9ත් දෙසැම්බර් 7ත් අතර කාලයේදී තෝරා පත් කර ගත යුතුව අැති බව පසුගියදා මැතිවරණ කොමසාරිස් වරයා සදහන් කළේය.එ් බව සනාථ කරමින් ජනාධිපතිවරයාද ඉන්දියාවේදී විදෙස් මාධ්‍ය හමුවේ තම අදහස් පල කළේය. එ් අනුව නුදුරේදීම ජනාධිපතිවරණයක් පැවැත්වීමට බොහෝ සෙයින් ඉඩ කඩ අැත.

මේ සටහන එතෙක් මෙතෙක් පැවති ජනාධිපතිවරණ ඉතිහාසය ගැනයි.

1978දී නව ව්‍යවස්ථාවක් ඔස්සේ වසර 6ක නිල කාලයකට යටත්ව අසීමිත බලයක්ද සමගින් විධායක ජනාධිපති ධුරයක් නිර්මාණය කළ ජූනියස් රිචඩ් ජයවර්ධන නැතහොත් ජේ.අාර්.ජයවර්ධන මහතා 1982 වන තෙක් එම තනතුරේ කටයුතු කළේය.

1982 දී ජනාධිපතිවරණය කල්වේලා අැතිව පැවැත්වීමට තීරණය කරන එ් මහතාගේ ප්‍රධාන විරුද්ධවාදියා වූයේ හෙක්ටර් කොබ්බෑකඩුව මහතාය.මෙම ජනාධිපතිවරණය අලියා සහ අත අතර තරගයක් වූයේ එලෙසය. ජයවර්ධන මහතාගේ වෙළඳ ප්‍රතිපත්ති නිසා අන්ත දිළින්දන් වූ උතුරේ ගොවියන් වරක කොබ්බෑකඩුව මහතා උතුරට පැමිණි විට ඔහුව පිළිගත්තේ ළූණු මල් මාලයක් දමායය. කෙසේ නමුත් ඡන්ද දිනයේ කොබ්බෑකඩුව මහතා තම ඡන්දය ප්‍රකාශ කිරීමට ගිය විට දකින්නට ලැබුණේ තම ඡන්දය වෙනත් අයකු විසින් ප්‍රකාශ කර අැති අාකාරයයි.එලෙසින් 1982 ප්‍රථම ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන් වූයේ ජයවර්ධන මහතා නැවතත් ජනාධිපති පුටුවේ වාඩි කරවමිනි.එවකට මැතිවරණ කොමාසාරිස් වරයා එය හදුන්වා දී තිබුණේ පැවති දූෂිතම මැතිවරණය ලෙසයි.

උතුරු හා නැගෙනහිර එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත ක්‍රියාකාරකම් හා දකුණේ ජ.වි.පෙ. කණ්ඩායම් නිසා අැතිව තිබූ අවුල් වියවුල් මධ්‍යයේ පැවති 1988 ඡන්ද විමසීමද සාර්ථක මැතිවරණයක් නොවුණි. අැතැම් ඡන්ද මධ්‍යස්ථාන වලට කඩා වැදුණු පිරිස් ඡන්ද දායකයින් මෙන්ම නිළධාරීන්ද මරා දැමීය.උතුරු, නැගෙනහිර ඡන්ද විමසීම නොපැවැත්විණි. අවසානයේදී එ.ජා.ප. නියෝජනය කළ අාර්.ප්‍රේමදාස මහතා වැඩි ඡන්ද ලබා ගනිමින් 50.43% සමගින් ජයගත්තේය. දෙවන වැඩිම ඡන්ද නිදහස් පක්ෂයේ සිරිමාවෝ මැතිණිය සතුවිය.

1993දී ප්‍රේමදාස මහතාගේ ඝාතනයත් සමග ජනාධිපති ලෙස කටයුතු කළ ඩී.බී.විජේතුංග මහතා 1994 මැතිවරණයට ඉදිරිපත් වීම ප්‍රතික්ෂේප කළ නිසා එ් සදහා ගාමිණී දිසානායක මහතා ඉදිරිපත් විය. තොටලඟ මැතිවරණ රැස්වීමකදී එල්.ටී.ටී.ඊ. ඉලක්කයක් වූ එතුමාගේ නම වෙනුවට ඡන්ද කොළයේ මුද්‍රණය වන්නේ එම මැතිණිය වන ශ්‍රීමා දිසානායක මහත්මියගේ නමයි. කෙසේ නමුත් අවසානයේදී කිසිවෙකු නොසිතූ අයුරින් ජයගත්තේ ඡන්ද 62.28% ලබා ගත් එ.ජ.නි.ස. යේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියයි.

ඉන්පසු 2000දී මැතිවරණය පැවැත්වීමට තිබුණත් එතුමිය 1999දී මැතිවරණය කැදවීය.ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා ලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියත් රනිල් වික්‍රමසිංහ මහතාත් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක නියෝජනය කරමින් ඉදිරිපත් විය. බණ්ඩාරනායක මහත්මිය තමන් දිගටම එල්.ටී.ටී.ඊ. යට එරෙහිව කටයුතු කරන බව කියා සිටින විට රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ තමන් එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග සෘජු සාකච්ඡා අාරම්භ කිරීමට සූදානම් බවයි. මැතිවරණයට දින 3ක් තිබියදී පැවති අවසන් රැළියේදී එල්.ටී.ටී.ඊ. ප්‍රහාරයකට ලක්වන බණ්ඩාරනායක මැතිණියට අැයගේ දකුණු අැස එම නිසා අහිමි විය. කෙසේ වෙතත් එය අැගේ ඡන්ද ව්‍යාපාරයට වෙස් වළාගත් අාශිර්වාදයක් වෙමින් 51.12% ඡන්ද ප්‍රමාණයක් සමගින් එ.ජ.නි.ස. ය ජයගත්තේය. වික්‍රමසිංහ මහතා ලබා ගත්තේ 42.71% ඡන්ද ප්‍රමාණයක් පමණි.

2005 මැතිවරණයේදී එ.ජ.නි.ස.යේ මහින්ද රාජපක්ෂ මහතා හා එ.ජ.ප.යේ රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියට අා අතර ප්‍රසිද්ධ මාධ්‍ය අායතනයක් විසින් පැවැත්වූ කෙටි පණිවිඩ ඔස්සේ ඡන්ද විමසීමකදී අනාවරණය වූයේ මෙහි ජය රනිල් වික්‍රමසිංහ මහතා සතු වන බවයි. දෙපාර්ශවයම සුළු පක්ෂ ඡන්ද සදහා කුරුමාණම් අල්ලමින් සිටි අවස්ථාවක ජ.වි.පෙ. ,හෙළ උරුමය අැතුලු කුඩා කණ්ඩායම් රැසක සහය මහින්ද රාජපක්ෂ මහතා සතු විය.ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහ ලංකා කම්කරු නොංග්‍රසයේ සහය ලබා ගන්මින් වාර්ගික සුළුතර සහය ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා සමත් වුවත් දෙමළ ජනයා නියෝජනය කළ දෙමළ ජාතික සන්ධානයේ සහය ලබා ගැනීමට ඔහුට නොහැකි විය.දේශපාලන විශාරදයන් පැවසූ අන්දමට එවරද එල්.ටී.ටී.ඊ. සංවිධානය නිසා රනිල් විකුමසිංහ මහතාට ජය ගැනීමට නොහැකි විය.එම සංවිධානය උතුරේ ජනයාට ඡන්දය වර්ජනය කිරීමට අණ කිරීමත් සමග රනිල් වික්‍රමසිංහට ලැබේ වියැයි අනුමාන කළ ඡන්ද රැසක් ඔහුට අහිමි විය. එම ප්‍රදේශයේ එක් ඡන්දදායකයකු පමණක් ඡන්දය ප්‍රකාශ කර තිබූ අතර එම ඡන්දය වික්‍රමසිංහ මහතාගේ ඡන්ද ගොඩට එක් විය.අවසාන ප්‍රතිඵලය දැක්වූයේ මහින්ද රාජපක්ෂ මහතාට 50.29% කුත් රනිල් වික්‍රමසිංහ මහතාට 48.43% ලෙසය.

2010 ජනාධිපතිවරණය ඉතා සුවිශේෂී එකක් විය.දශක 3කට අාසන්න කාලයක් පැවති කොටි ත්‍රස්තවාදය පරාජය කොට නිදහස් ශ්‍රී ලංකාවක පැවති පළමු ජනාධිපතිවරණය එය විය.කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට නායකත්වය දුන් සේනාධිනායක මහින්ද රාජපක්ෂ මහතා සමග ජනාධිපති සටනට එක්ව සිටියේ යුද්ධ හමුදාපති සරත් ෆොන්සේකා මහතායි.මෙම කරුණ මෙම මැතිවරණය උණුසුම් කිරීමට තවත් හේතුවක් විය. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් හංසයා ලකුණින් මැතිවරණ සටනට අා සරත් ෆොන්සේකා මහතාගේ සහයට එ.ජ.ප. ය හා ජ.වි.පෙ. ය පැමිණියේය. කේසේ වෙතත් අවසානයේ 57.88% බහුතර ඡන්දයකින් මහින්ද රාජපක්ෂ මහතා දෙවන වරටත් ජනාධිපතිධූරයට පත්විය.

ජනාධිපතිවරණයට නියමිත කාලයට වඩා වසර දෙකකට පෙර 2015දී නැවතත් ජනාධිපතිවරණයක් පවත්වන රාජපක්ෂ මහතා ඊට තෙවන වරටත් ඉදිරිපත් වන්නේ ඊට පැවති බාධක මග හරවා ගනිමිනි.එවර ඔහුගේ ප්‍රතිවිරුද්ධවාදියා වූයේ ඔහුගේම රජයේ සෞඛ්‍ය අැමතිවරයාය, ඔහුගේම පක්ෂයේ ලේකම්වරයාය. වෙනසක් සොයමින් උන් ජනතාවට අවැසි වෙනස ලබා දෙනවායැයි යන පාඨය ප්‍රමුඛ කරගෙන පැමිණි එතුමාට එ.ජා.ප.ය අැතුලු තවත් කණ්ඩායම් රැසක සහාය හිමි විය. ජ.වි.පෙ.ය කියා සිටියේ තමන් කිසිදු අපේක්ෂකයෙක්ට සහය නොදක්වන බවයි. අවසානයේ හැට දෙලක්ෂයක් ඉක්මවා ගිය ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් පෙරළිකාර ජයක් ලබා ගැනීමට හංසයා ලකුණින් ඡන්දයට ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතා සමත් විය.ඔහුගේ ජයග්‍රහණයට සුළු ජාතික ඡන්ද මහත් ලෙස බලපෑවේය.

මේ අනුව පෙනී යන්නේ සෑම ජනාධිපතිවරණයකදීම වගේ මෙවරත් සුළු පක්ෂ, සුළු ජාතික කණ්ඩායම්, මෑත කාලයේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාර මෙවර ජනාධිපතිවරණයටද බොහෝ සෙයින් බලපෑමට ඉඩ අැති බවයි. තවමත් නිශ්චිත වශයෙන් දේශපාලන පක්ෂ තම අපේක්ෂකයින් නම් කර නැතත් දැනටමත් විවිධ නම් වේදිකාවේ අැසේ. දැනටමත් දේශපාලනයේ යෙදී සිටින්නන්, ව්‍යාපාරකයින්, නීතීඥයින් ගේ නම් එ් අතර ප්‍රධාන වේ.එ් අතරම බුද්ධි සේවයේ කටයුතු කළ අාචාර්ය අජිත් රෝහණ කොළොන්නේ මහතා පසුගියදා සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පවසා සිටියේ මීළඟ ජනාධිපතිවරණ ජයග්‍රාහකයා තවමත් තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ දැයි පවා නොදන්නා දැනට ‍සක්‍රීය දේශපාලනයේ නොයෙදෙන්නෙක් බවයි.

තත්වය මෙසේ පවතිද්දී පෙර කී නෞකාව, එ් මගී ජනයා වගකීමක් දැරිය හැකි නව කපිත්තෙක් අපේක්ෂාවෙන් පසුවේ.මහා වැසි අැද හැලුනද චණ්ඩ මාරුත හැමුවද එ් සියල්ලක් හමුවේ නොනැවතී පෙර කී සුර කොදෙව්වට මේ මහා නෞකාව ගමන් කරවිය හැකි නායකත්වයක් බලාපොරොත්තුවෙන් පසු වේ.කෙසේ වෙතත් ජනතාවගෙන් හැංගූ පළාත් සභා ඡන්ද විමසීමද ජනාධිපතිවරණයකට පෙරාතුව පැමිණේවි යැයි සැවොම බලාපොරොත්තු වේ. එ් අනුව ඉදිරි කාලය මැතිවරණ බහුල කාලයක් වනු අැත. සැවොම “ඡන්දය” කරදරයක් යයි නොසිතා සිහි කල්පනාවෙන් යුතුව භාවිතා කළ යුතු කාලය දැන් එළඹ අැත.

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

පවන්ති සුදසිංහ

විද්‍යා පීඨය - තෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment