Interview

Amalgamated ක්‍රීඩා සමාජය – සුහද පිළිසඳර

“ඔබ මහ සමුදුරක් තරණය කරන්න එපා, තමන් වෙනුවෙන් මඩ කඩිත්තක්වත් පසු කරන්න කැමති නැති අය වෙනුවෙන්”

නෑ….. ඔයා ඒක කරන්න !!

මහ සමුදුර තරණය කරන්න මිනිසුන් වෙනුවෙන්. මිනිසුන්ට ආදරය කරන්න. සෑම මිනිසෙකුටම. කොන්දේසි අදාල නෑ. ඒ අය වටිනවද නැද්ද කියන එක සලකන්න එපා. මහ සයුර තරණය කරන්න, කඳු වැටි තරණය කරන්න ඔවුන් වෙනුවෙන්. ජීවිතය සහ ආදරය යනු අප රැස්කරන දෙය නොව, ඒ අපි අනිත් අය වෙනුවෙන් මොනවද දෙන්නෙ කියන එකයි.

ඔබට තේරෙන්න ඇති ඉහත පබැඳුම් හුදෙක් ප්‍රකාශන පමණක් නොව, ඒවා පුද්ගලමය වශයෙන් ඇතිවන අතිශයෙන් වෙනස් ආකල්ප බව.

ආකල්පමය සංහිඳියාව මිනිස් මනස තුල පහන් කරවන ධර්මය, සංගීතය ආදී දෙයට අමතරව ක්‍රීඩාව සුවිශේෂි තැනක් ගන්නවා. පරෝපකාරි බව, විනය, ඉවසීම, කණ්ඩායම් හැඟීම, අභියෝගාත්මක බව ආදි නොයෙකුත් උත්කෘෂ්ඨ ගුණාංග රාශියක සමූහනය වීමක් ක්‍රීඩාව තුලින් පෙන්නුම් කරනවා. පුද්ගලයෙකු වශයෙන් ගත් කල ක්‍රීඩාව ඔහු පරිපූර්ණත්වය කරා ගෙනයන බව ලොව සනාථන සත්‍යයයි.

මගේ කතාව පටන් ගන්නේ මෙහෙමයි. මේක නිකන්ම නිකන් මොහොමඩ් අලි, කුමාර සංගක්කාර, සචින් තෙන්ඩුක්කාර්, උසේන් බෝල්ට්, මයිකල් ෆෙල්ප්ස්, සුසන්තිකා ජයසිංහ වගේ ලෝකයේ නම දිනාගත් සුපිරි ගණයේ ලෝක ශුරයන් ගැන කරන හෙලිදරව්වක් පමණක් නොවේ.

මෙය, එවන් ලෝක පූජිත ගණයට යා හැකි ජීවිතයේ පරිපූර්ණත්වය ඒ අයුරින්ම ලඟාකරගත හැකි කප්රුකක් බදු වූ සරසවිය, ක්‍රීඩාව සදහා වූ සුවිශේෂි තෝතැන්නක්.

කොළඹ සරසවිය තුල ක්‍රීඩාව ඔප්නැංවිම, දැක්ම කරගත් ස්වයංජාත ක්‍රීඩා සමාජය -Amalgamated Club එක තම අරමුණ පසක් කරනු වස් එම මෙහෙයුම දියත්කර හමාරයි. Colombo Beacon ලෙස අපි මෙවර Amalgamated Club එකේ නවමු නායකයන් අභිමුව සොඳුරු සංවාදයක යෙදුනා.

ඒ Amalgamated Club එකේ සභාපතිතුමා – කවිදු අබේසිංහ අයියා (කළමණාකරණ පීඨය – රගර් කැප්ටන්) සහ ලේකම්තුමිය ඉදුනිල් ඉත්තෑපාන අක්කා  (හොකී කැප්ටන් – කළමණාකරණ පීඨය) සමඟයි. අපි ඔබේ දැනගැනිම පිණිස පුංචි ප්‍රශ්න කීපයක් ඔවුන් වෙත යොමුකලා.

Q1.අලුතින් පත් වුන Amalgamated Board එක කොහොමද?

කවිඳු අයියා :- මේ සැරේ Club Board එක ගැන ඇත්තටම ගොඩක් සතුටු වෙනවා. ගොඩක් අත්දැකිම්වලින් බහුල නිළධාරි මණ්ඩලයක් මෙවර පත්වී තියෙන්නේ. ඒ නිළධාරි මණ්ඩලය හඳුන්වා දුන්නොත්

  • ලේකම් – ඉඳුනිල් ඉත්තෑපාන – Hockey Women Captain
  • උප සභාපති – විදුර – Carrom Captain
  • භාණ්ඩාගාරික – තනුක – Hockey Men Captain
  • උප ලේකම් – මන්තිකා – Taekwondo Women Captain
  • Editor – රුචිර – Basket Ball Captain

ඉතින් මගේ උපරිම දායකත්වයෙන් සහ Board එකේ උපරිම කැපවීම මෙවර SLUG meet එක ජයග්‍රහණය කරන්න බලාපොරොත්තු වෙනවා.

Q2.Inter University Games වලදී SLUG meet එකට ඉතාම සුවිශේෂි තැනක් හිමි වෙනවා. අයියා මොනවද හිතන්නේ SLUG එක ගැන?

ඇත්තටම මගේ පෞද්ගලික දැක්ම අනුව විශ්ව විද්‍යාල සිසුවෙකු ලබන අගනාම අවස්ථාවක් SLUG එකට සහභාගී වීම. SLUG meet එකක් එන්නේ Interuniversity Games වල සෑම අවුරුදු 3කට වරක්. ඒ අතින් මම වාසනාවන්ත වුනා SLUG meet දෙකකට සහභාගිත්වය දෙන්න.

Q3.මේ සැරේ කොහොමද SLUG එකට තියෙන සූදානම?

ඇත්තටම ගියවර Interuniversity Games වලදී Overall 3rd place එක ගත්තා. ඒ පිරිමි අංශයෙන් 2nd place එකත් කාන්තා අංශයෙන් 5th place එකත් වශයෙන් ලබා ගැනිමෙන්. මේ සැරේ සියලු බාධක අභිබවා Triple Championship එක කොළඹ විශ්ව විද්‍යාලයට ගේන්න තමයි හැමෝගෙම අධිෂ්ඨානය සහ කැපවීම තියෙන්නේ. ඒකට Physical Education Department එකෙන් නොමද සහයෝගයක් ලැබෙනවා.

Q4.ඉස්සරහට Amalgamated Club එකෙන් SLUG එක වෙනුවෙන් මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ?

අපි මීට අවුරුදු 3කට ඉහත SLUG එකේදි අනුශුරතාවය ගත්තා, මොරටුව විශ්ව විද්‍යාලය ශුරතාවය දිනාගනිද්දි. මේ සැරේ උපරිම කැපවීමෙන් කොළඹ විශ්ව විද්‍යාලයට ශුරතාවය ගේන්න සියළුම ක්‍රීඩා කණ්ඩායම් දැනට පුහුණුවීම් සදහා යොදවලා තියෙනවා.

Q5.විශ්ව විද්‍යාලය පැත්තෙන් Sports වෙනුවෙන් මොන වගේ සහයෝගයක් ලැබුනොත් හොදයිද?

භෞතික වශයෙන් ලැබෙන සහයෝගයට කලින් ළමුන්ගේ මානසිකත්වයේ දිරිගැන්වීමක් ඇතිකළ යුතුයි කියන මතයේ මම ඉන්නවා. ලංකාවේ හොදම උපදේශකවරුන්, ලංකාවේ හොදම ගණයේ Gym එකක් අපේ කැම්පස් එකට ලැ‍බිලා තියෙනවා. ඇත්තටම අපේ Gym එක දෙවැනි වන්නේ Cricket Board එකේ Gym එකට විතරයි. ඒ වගේම Ground Facilities, Indoor Stadium වගේ විශාල පහසුකම් දැනට අප සතුව තියෙනවා. 

ඇත්තටම කිවොත් ක්‍රීඩාව සඳහා සහභාගිත්වය සමහර Faculty වශයෙන් ගත්තොත් ඉතා අඩු බවක් දක්නට ලැබෙනවා. ඒ අනෙකක් නිසා නොවෙයි කිසියම් මානසික පසුබෑම් නිසා තමයි. මෙවර එක් එක් පීඨ වශයෙන් SLUG එකට වැඩි සහභාගිත්වයක් ඇති කරන්න උත්සහ ගන්නවා.

Q6.කවිඳු අයියා රගර් ටීම් එකේ කැප්ටන්. ඉතින් කොහොමද අයියා Academic වැඩත් එක්ක Sports Balance කරගෙන යන්නේ වගකීම් ගොඩකුත් එක්ක?

ඔව් මම දැන් Management Faculty එකේ Final Year. බොරු කියන්න ඕනි නෑ මම Faculty එකට යන්නත් කලින් Rugger Team එකේ Practice වලට තමයි ආවේ. මම ක්‍රීඩා කරන විට Faculty හැම එකේම සියළුම ‍Membersලාගේ සහයෝගයෙන් තමයි ටීම් එක ඉදිරියට අරගෙන යන්නේ. Lectures සමහර ඒවට යන්න බැරි වුනත් exam වලදී හැමෝම එකතු වෙලා වැඩ කරලා exam එහෙමත් හොදටම ගොඩ දාගන්නවා. ඒ සදහා අපි හැමෝටම Faculties පැත්තෙනුත් හොද සහයෝගයක් ලැබෙනවා.

Q7.අපි දැන් ඉඳුනිල් අක්කත් එක්ක කතා කලොත් කොළඹ විශ්ව විද්‍යාලයේ ගැහැණු ළමයින්ගේ ක්‍රීඩා සදහා නැඹුරුතාවය ගැන මොකද හිතන්නේ?

ඇත්තටම එක එක Faculty වල Batches වෙන වෙනම ගත්තොත් 60% වැඩි පිරිසක් අළුතින් කැම්පස් එකට එන්නේ ගැහැණු ළමයි. ඒ අතින් කැම්පස් එකම ගත්තොත් ගැහැණු ළමයි 60%ක් විතර ඉන්නවා. පාසලේ ක්‍රීඩා අත්දැකිම් සහිතව කැම්පස් එකට එන ළමයි තමන්ව ස්වෙච්චාවෙන් ක්‍රීඩාව සදහා යොමු වෙනවා ඔවුන් ක්‍රීඩාවේ ඇති වටිනාකම දන්න නිසා සහ එහි ඇති තෘප්තිය නිසා. අලුතින් එන ළමයි තමන් තුල දක්ෂතාවය තිබුනත් ක්‍රීඩා සදහා යොමුවිමේ පසුබැමක් මම දකිනවා. අපිට ඒ අය වෙනුවෙන් කියන්න තියෙන්නේ, එන්න, ඇවිල්ලා අපිත් එක්ක සම්බන්ධ වෙලා බලන්න තමන්ගේ තියෙන සැගවුන දක්ෂතා මොනවද කියලා.

ඇත්තටම පෙර අත්දැකිම් අත්‍යාවශ්‍ය වෙන්නේ නෑ ක්‍රීඩාවක් කරන්න. තමන්ට හැකියාව සහ කැමැත්ත තියෙනවා නම් තමන්ගේ ක්‍රීඩා ජිවිතයේ මුලාරම්භය තියන්න මේ කැම්පස් එකෙන් ලැබෙන අවස්ථාව ප්‍රයෝජනයට ගන්න කියලා මම හැමෝටම ආරාධනා කරනවා. මොකද කැම්පස් එක තුලදි ප්‍රථමවරට ක්‍රීඩා කරලා අන්තර්ජාතික මට්ටමට ගිය සහෝදර සහෝදරියන් ඕනෑ තරම් අපේ කැම්පස් එකේ ඉන්නවා.

Q8.විශ්ව විද්‍යාලයට අලුතින් ඇතුලත් වන නවකයින් ක්‍රීඩා සදහා යොමුකරවා ගැනිමට කුමන හෝ වැඩපිළිවෙලක් තියෙනවද?

මෙහෙමයි, අධ්‍යාපනය පමණක් නොවෙයි ක්‍රීඩාවත් ඒ පමණින්ම වැදගත් බව ඔවුන්ට සන්නිවේදනය කිරිමයි වැදගත් වෙන්නේ.

කැම්පස් එකට හැම ෆැකල්ටි එකකින්ම අලුත් ළමයි ආවම එයාලා වෙනුවෙන් Orientation Programmes යන සතියේ අපේ Amalgamated Club එකෙන් සහ Physical Education Department එකෙන් ගිහිල්ලා එයාලට පැය 2 ½ පමණ දැනුවත් කිරිමේ වැඩසටහනක් කරනවා. එතනදි අපේ acting director අජන්ත සර් එහෙමත් කතා කරනවා. එතනදි අපි අදුන්වාදිමක් කරනවා කැම්පස් එකේ කරන්න පුලුවන් ක්‍රීඩා මොනවාද කියලා. ඒවාට සහභාගි විය හැකි ආකාර. එය සදහා ඇති පහසුකම් සහ විශේෂයෙන් ක්‍රීඩා දිවියේ සාර්ථක වූ සාමාජිකයන් ඔවුන්ගේ අත්දැකිම් ඔවුන් සමග හුවමාරු කරගැනිමකුත් කරගන්නවා.

අපි එතනදි නවකයින්ට ඉල්ලුම්පත්‍රයක් ලබාදි ඔවුන්ගේ ක්‍රිඩා සඳහා ඇති හැකියාව සහ කැමැත්ත විමසා බලනවා. එමගින් අපට පුලුවන් ඔවුන් අදාල ක්‍රීඩාවන් සදහා පහසුවෙන්ම යොමු කරවා ගන්න.

ඒත් එක්කම මට විශේෂයෙන් කියන්න තියෙන්නේ වෙන අවුරුදු වලදි නවක සිසුන් සදහා Fresher’s tournament එකක් තමයි තියෙන්නේ. නමුත් මෙවර අපි Fresher’s championship එකක් පවත්වන්න තිරණය කරලා තියෙනවා. එහිදී faculties අතර තරඟකාරිත්වය වැඩි කරලා වඩා දක්ෂයින් තෝරාගැනිමේ ක්‍රියා පිළිවෙලක් තමයි අරමුණ වෙන්නේ. ඒක අපි අප්‍රේල් නිවාඩුවට පෙර පවත්වන්න කටයුතු සුදානම් කරගෙන යනවා. ඒ වගේම interfaculty championship එක අප්‍රේල් නිවාඩුවෙන් පස්සේ පවත්වන්න සුදානම්. ඒ හැම අවස්ථාවකින්ම අපි අපේ ක්‍රිඩා සංචිත සදහා නවක ක්‍රීඩකයින් ‍තෝරාගැනිම සහ බඳවා ගැනිම කරනවා.

Q9.කවිඳු අයියා මොනවද හිතන්නේ ඔයාට මේ ලැබුන තනතුර සහ වගකීම සම්බන්ධව?

ඇත්තටම මට හිතෙන්නේ මේක මට ලැබුන ලොකු භාග්‍යයක් එක්කම ලොකු අභියෝගයක්. ඒ කියන්නේ අපිට ක්‍රීඩා සදහා විශේෂිත වු ජයවර්ධනපුර විශ්වවිද්‍යාල සහ සබරගමුව වගේ විශ්වවිද්‍යාල එක්කත් තරග කරන්න වෙලා තියෙනවා. ඒක ඇත්තටම හොදයි අපේ දක්ෂතාවයන් වැඩි කරගන්න. ඇත්තටම අපි ආඩම්බර වෙන්න ඕනි ක්‍රීඩාවෙන් පරිබාහිර උපාධි පාඨමාලාවන් හදාරන ගමන් ස්වෙච්චාවෙන් ක්‍රීඩාව සදහා යොමුවෙලා අනෙක් විශ්ව විද්‍යාල අභිබවා විශාල ජයග්‍රහණ අත්කර ගැනිමට හැකිවිම ගැන. Amalgamated Club එකේ President විදියට මට තියෙන අභියෝගය තමයි මේ වසරේ SLUG එකේ championship එක අපේ කැම්පස් එකට රැගෙන ඒම. ඒ ජයග්‍රහණය ලබාගන්න සියළුම දෙනාගේ නොමද සහය ගෞරවයෙන් මම අපේක්ෂා කරනවා.

Q10.ඉඳුනිල් අක්කේ Amalgamated Club එකේ ලේකම් තනතුර ගැන ඔයාට මොනවද කියන්න තියෙන්නේ?

තනතුර නම් මට ලොකු අභියෝගයක්. මම දැන් management එකේ final year ඉන්නේ. අනික SLUG එකක් තියෙන අවුරුද්දක මට මේ අවස්ථාව ලැබිම මම ලබපු ලොකු භාග්‍යක්. මොකද ගොඩක් තේරිම්වලින් පසුව තමයි තනතුරු ලබාදිම කෙරෙන්නේ. මම කවිදු ඇතුලු බෝඩ් එකේ හැමෝටම මගේ උපරිමය අපේ කැම්පස් එකේ ක්‍රීඩාව වෙනුවෙන් ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.

Q11.විශ්ව විද්‍යාලය තුලින් ක්‍රීඩාව සඳහා මොන වගේ ප්‍රතිචාරයක්ද තියෙන්නේ සහ තව දුරටත් ක්‍රීඩාවේ අභිවෘද්ධිය සදහා දියුණු විය යුතු දේවල් මොනවද?

කවිදු අයියා :- ඇත්තටම ඒක ගොඩක් වැදගත්. හැම ෆැකල්ටි එකකටම වගේ ශිෂ්‍ය සංගම් තියෙනවා. අපි ඒවායේ නිළධාරින්ගේ උපරිම සහයෝගය ඉල්ලා සිටිනවා. ඒ සහයෝගය කැම්පස් එකේ පරිපාලනය තුලින් ලබාගත හැකි දේවල් ලබාගැනිමේදි සහ ‍ෆැකල්ටි වලින් ළමුන් ක්‍රීඩා සඳහා යොමු කරවීමේදි අපි බලාපොරොත්තු වෙනවා. SLUG එකට අපිට තව මාස 6ක කාලයක් තමයි තියෙන්නේ. ‍සැප්තැම්බර් මාසයේ 1 වෙනිදා SLUG එක පටන්ගන්නවා. Student Union වලින් පීඨවල ප්‍රශ්න වලට කැපවෙනවා වගේම ක්‍රිඩාවේ අභි‍වෘද්ධිය සදහා වෙනස්විය යුතු දේවල් කෙරෙහිද අවධානය යොමුවෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ක්‍රීඩා භාණ්ඩ ලබාගැනිම සඳහා අවශ්‍ය ලිපි ලේඛන දැනටමත් බාරදිලයි තියෙන්නේ.

විශේෂයෙන් මෙවර විශ්ව විද්‍යාල උපකුලපතිතුමාගේ සැලකියයුතු අවධානයක් ක්‍රීඩාව සදහා යොමු වී ඇති බව දක්නට ලැබිම සතුටට කාරණයක්.

Q12.මේ පාර SLUG එක ජයග්‍රහණය කරන්න අපිට පුලුවන් වෙයිද?

කොළඹ විශ්ව විද්‍යාලය ගත්තම අනෙක් විශ්ව විද්‍යාල වලට වඩා සුවිශේෂි වෙන්නේ විෂය සමගාමි මෙන්ම විශය බාහිර ක්‍රියාකාරකම් නිසයි. අපි ක්‍රීඩාපිටියට බැස්සම අනෙත් අයගේ එකම ටාගට් එක වන්නේ කොහොම හරි Colombo University එක පරාජය කරන්න ඕනි කියන එකයි. මම හිතන්නේ ඒකම ඇති අපි අපේ ජයග්‍රහණය තහවුරු කරගෙන ඇති බව තහවුරු කරගන්න. මෙවර SLUG එකට හොඳින් තෝරාගත් ක්‍රීඩා කණ්ඩායම් පුහුණුවිම් සදහා යොදවලයි තියෙන්නේ. ඉතින් මේ සැරේ අපේ ජයග්‍රහණය ඉතාම පහසු එකක් වේවි.

Q13.මෙවර ක්‍රීඩා සදහා Team Distribution එක හොඳ මට්ටමේ තියෙනවද?

UOC team එකේ මෙවරත් හොඳ දක්ෂතා තියෙන ක්‍රීඩක ක්‍රීඩිකාවක් වැඩියෙන් අපිත් එක්ක එකතුවෙලා තියෙනවා.

ඉතින් අවසාන වශයෙන් මෙවර වෙනදාට වඩා මනා සංවිධානයක් සහ සුදානම් විමක් දක්නට ලැබෙනවා කියන්නට පුලුවන්. ඉතිරි මාස 6 තුලදි උපරිම අයුරින් පුහුණුවිම් වල යෙදි මෙවර SLUG එකේ triple championship එක කොළඹ විශ්ව විද්‍යාලයට ගේන්න පුලුවන් කියලා කියන්න කැමතියි.

ඒ විදියට තමයි Colombo Beacon අපි ඔවුන්ගේ අදහස් විමසුවේ. ඉතින් beacon එක වෙනුවෙන් අපි ඔවුන්ට අවශ්‍ය සෑම විටකම අපගේ සහයෝගය ලබාදෙන පොරොන්දුව සහ මෙවර SLUG එකේදි ඔවුන් බලාපොරොත්තු වෙන අයුරින්ම විශිෂ්ඨ ජයග්‍රහණයක් කොළඹ විශ්ව විද්‍යාලයට රැගෙන ඒමට හැකිවේවායි යන දිරිගැන්විමත් එක්කම අපි ඔවුන්ගෙන් සමුගත්තා. 

 

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

දුලාජ් චතුරංග

විද්‍යා පීඨය - උපාධිදාරී
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment