දැනුම

CEPA/ETCA උගුල

Written by Colombo Beacon

ඉන්දියානු යෝජනාවක් වූ ආර්ථික සහ තාක්ෂණික සහයෝගී ගිවිසුම හෙවත් ETCA (Economic and Technology Cooperation Agreement) අත්සන් කිරීමට ලංකා රජය හා ඉන්දියාව අතර සාකච්ඡා පැවැත්වෙන බව අපි දනිමු. වෙනස වනුයේ CEPA (Comprehensive Economic Partnership Agreement) සඳහා එල්ල වූ ඉහළ ජනතා විරෝධය නිසා මෙවර එය ETCA ලෙස නම පමණක් වෙනස් කරමින් වෙනත් වටයකින් පැමිණ තිබීමය.  ETCA යනු CEPA ගිවිසුමේ අනුපිටපතක්ම බව ලංකා වෘත්තිකයෝ චෝදනා කරති. මෙහි මූලික පදනම් ගිවිසුම මෙම වසර අවසානයට පෙර ද, ඉන්පසුව සම්පූර්ණ ගිවිසුම ද අත්සන් කිරීමට නියමිත බව සැලවේ. ETCA අනුව මුලින්ම තොරතුරු තාක්ෂණය (IT) සමුද්‍රික සේවා සහ නැව් නිර්මාණකරණය යන අංශ විවෘත කෙරේ. අනෙකුත් සේවා සියල්ලම ද පසුව ඉන්දියානුවන්ට විවෘත කෙරේ.

 

1998 දී අත්සන් තබා වර්ෂ 2000 සිට ක්‍රියාත්මක වන භාණ්ඩ වෙළඳාම සඳහා වූ ඉන්දු – ලංකා නිදහස් වෙළඳ ගිවිසුම (ISLFTA – India Sri Lanka Free Trade Agreement) නිසා අප රටට සිදු වන අවාසිය විශාල බව පැවසේ. 2014 වසරේ මහ බැංකු වාර්තා අනුව මුළු වටිනාකම ඇ.ඩො. බිලියන 4.6 ක වෙළඳාමක් දෙරට අතර සිදු වී ඇත. ඉන් ඇ.ඩො. මිලියන 606 ක අපනයන ආදායමක් ලංකාව ලබන විට, ඉන්දියාව ඇ.ඩො. මිලියන 4023ක් දක්වා සිය අපනයන වැඩි කරගෙන ඇත. මේ අනුව 85% ටත් වඩා ඉන්දියාවට වාසි සහගත හා අපට ඉතාමත් අවාසි වූ ඉන්දු ලංකා වෙළඳ ගිවිසුමේ ගැටළු විසඳනවා වෙනුවට ලංකා නියෝජිතයින් ETCA වැනි ගිවිසුමක් අත්සන් කිරීමට පිඹුරුපත් සැකසීම කෙතරම් යෝග්‍ය වේද? (ඉන්දු ලංකා වෙළඳ ගිවිසුම පැවතුනද, ලංකාවේ අපනයන වැඩිපුරම සිදු වී ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයට හා මැද පෙරදිග කලාපයට වේ. එනම් ISLFTA හරහා සිදුව ඇත්තේ මෙරට අපනයන වැඩිවීමකට වඩා ඉන්දියානු ආනයනික භාණ්ඩ වලින් ලංකා වෙළඳපොල පිරී යාමක් වේ.)

 

ISLFTA හරහා දෙරට අතර යම් ප්‍රමාණයකට නිදහස් වූ භාණ්ඩ වෙළඳාමින් ඔබ්බට යමින් සේවා වෙළඳාම, ආයෝජන නිදහසේ ගලා යාම සහ රැකියා සඳහා දේශ සීමා තරණය වන වගන්ති CEPA මඟින් නිදහස් කෙරේ. ඉන්දියාව වැනි ආර්ථික ශක්තියෙන් ඉතා විශාල රටක් හමුවේ ලංකාව වැනි කුඩා ආර්ථිකයක් ඇති රටකට මින් එල්ල වන බලපෑම සුළුපටු නොවේ.

 

ISLFTA යටතේ මෙරට තුළ වර්ධනය වූ යැයි කියන ඉන්දියානු ආයෝජන තවත් ප්‍රවර්ධනය කිරීම CEPA/ETCA අත්සන් කිරීමේ අරමුණ බව මෙරට නියෝජිතයෝ පවසති. එහෙත් අප ආර්ථික විශ්ලේෂකයන්ට අනුව සත්‍ය ලෙසම ඉන්දියානු ආයෝජන වනාහි අඩු ප්‍රාග්ධන, අඩු රැකියා අවස්ථා හා ඉතා අඩු තාක්ෂණය යටතේ සිදුවේ. ISLFTA යටතේ සිදුවූ ආයෝජන බොහෝමයක් එසේයි. උදාහරණයක් ලෙස වනස්පති ගිතෙල් කර්මාන්තය, තඹ කුට්ටි උණු කර ඉන්දියාවට පැටවීම වැනි කර්මාන්ත දැක්විය හැක. සේවා අංශයේ සිදු වූ ආයෝජන වලින් ද අපේක්ෂිත රැකියා අවස්ථා හෝ ප්‍රාග්ධනය, තාක්ෂණය නොලැබුන බව පැවසේ. උදා:- Airtel, ඇපලෝ, ඉන්දියන් ඛණිජ සමාගම වැනි සමාගම්.

 

ඉන්දියාවේ කූට පරස්පර ක්‍රියාකලාපය ගැනද නිදහස් වෙළඳ ගිවිසුම මඟින් පෙන්වා දිය හැකිය. ISLFTA අපට අවාසි වීමට එක් හේතුවක් ලෙස ඉන්දියානු හැසිරීම දැක්විය හැක. ඉන්දියාව වනාහී බදු නොවන බාධක පැනවීමට දක්ෂ රටක් බව මෙරට ව්‍යාපාරිකයෝ පවසති. නිදහස් වෙළඳ ගිවිසුම යටතේ අපිට අපනයනය කිරීමට වැඩි හැකියාවක් ඇති භාණ්ඩ වලට වැඩි සහන නොලැබී ඇත. අපගේ ප්‍රධාන අපනයන වන ඇඟළුම්, තේ හා අනෙකුත් ආර්ථික බෝග සඳහා ඔවුන් තීරු බදු සහන වලට ප්‍රමාණාත්මක සීම පනවනවාට අමතරව තීරු බදු නොවන බාධක ද පනවා ඇත. තවද ඉන්දියාව අපගේ අපනයන සඳහා වරායන්ද නියම කර ඇත. එක් ප්‍රාන්තයකට යවන භාණ්ඩයක් තවත් ප්‍රාන්තයකට යැවිය නොහැක. යම් යම් භාණ්ඩ වාරණය සඳහා ඔවුන් උසාවි නියෝගද භාවිතා කරති. ඒ ආකාරයට ඔවුන් සිය රටෙහි නිෂ්පාදකයා ආරක්ෂා කරගනියි. මෙවැනි ඉන්දියානු දෙබිඩි පිළිවෙතක් පවතින ගිවිසුමක ගැටළු විසඳනවා වෙනුවට CEPA/ETCA වැනි ගිවිසුමක් අත්සන් කිරීම අප රටට ආර්ථික ප්‍රතිලාභ ළඟාකරදීමක් වේවිද?

 

 

CEPA යටතේ ඉන්දියාව විසින් ලංකාවට විවෘත කරනු ලබන සේවා අංශ සඳහා මෙරට තුළද පුරප්පාඩු පවතී. ලංකාව තුළද එම සේවා අංශ සඳහා වෘත්තිකයන් හිඟ වේ. උදාහරණ ලෙස වෛද්‍ය, පශු වෛද්‍ය, ස්වාභාවික විද්‍යා, බල ශක්ති, සන්නිවේදන, උසස් අධ්‍යාපන හා සංචාරක ඇතුළු තවත් සේවා කිහිපයක් වේ. එහෙත් අප විසින් ඉන්දියාවට විවෘත කරනු ලබනුයේ අප රටේ කොඳු නාරටිය බදු සේවා අංශ වේ. අපි ඒකාධිකාරියක් ලෙස තබා ගත යුතු අංශ වන්නෙමු. උදාහරණ ලෙස නාවික ශිල්පීන්, නැව්ගත කරන්නන්, පරිගණක තාක්ෂණ ශිල්පීන්, ඉංජිනේරුවන් ඇතුළු ඉදිකිරීම් ක්ෂේත්‍රයේ, කාර්මික ක්ෂේත්‍රයේ වෘත්තිකයන්, තොරතුරු තාක්ෂණික ශිල්පීන් යනාදී තවත් අංශ වේ. අප විසින් කරනු ලැබිය යුත්තේ මෙම අංශ වල වෘත්තිකයෝ රට තුළ තව තවත් පුහුණු කරනු ලැබීම වෙති. ඒ වෙනුවට ඉහළ රැකියා වියුක්තියක් පවතින ඉන්දියානුවන්ගෙන් මෙම ක්ෂේත්‍ර පිරවීම රටේ අනාගතයට කෙලෙස බලපාවිද?

 

ETCA අනුව ඉන්දියානුවන්ට මෙරට සේවය කිරීම සඳහා වැඩි අවස්ථා හිමිවන බව එම ගිවිසුමට විපක්ෂ මෙරට වෘත්තිකයෝ චෝදනා කරති. ETCA ගිවිසුම තවමත් නිල වශයෙන් ප්‍රකාශ වී නොමැති නමුත් එහි අන්තර්ගතය CEPA ගිවිසුමම බව පැවසේ. ඒ අනුව ETCA ගිවිසුමට එල්ල වන ප්‍රධාන විරෝධතා කිහිපයක්ම පවතී. ඉහත වෘත්තිය ක්ෂේත්‍ර වල සේවය කිරීම සඳහා ඉන්දියානුවන් විසින් ලංකාවේ ආරම්භ කරනු ලබන සමාගම් හෝ ඉන්දියාවේ පිහිටුවා ඇති ලංකාවේ ශාඛාවක් ලෙස පවත්වාගෙන යන සමාගම් වල ඉන්දියානුවන්ට රැකියා අවස්ථා හිමිවේ. එලෙසම ලංකාවේ සමාගම් හෝ පුද්ගලික ආයෝජකයින් සමඟ එක්ව හෝ ස්වාධීනව රැකියා කිරීමට අවස්ථාවද හිමිවේ. තවද ඉන්දියානුවන්ට වැඩි වාසි හිමි වන ලෙස වීසා ලබා දීමේ වගන්තිද ඇතුළත් බව ලංකා පාර්ශවය චෝදනා කරති. ඒ යටතේ ලංකාවට පැමිණෙන වෘත්තිකයන්ගේ පවුල් වල යැපෙන්නන්ටද නේවාසික වීසා අනුමත කෙරේ. ඔවුන්ට පසුකාලීනව ඉහත විවෘත කරන ලද ක්ෂේත්‍ර වලට අයත් නොවන ක්ෂේත්‍ර වලද රැකියා අවස්ථා ලබා ගැනීමට හැකියාවක් ඇත.

 

CEPA අනුව ඉහත විවෘත කරනු ලබන ක්ෂේත්‍ර වලට අදාලව කොටස් වෙළඳපොලේ අලෙවි වන ලාංකික සමාගම් වල කොටස් 40%ක් දක්වා මිලදී ගැනීමේ හැකියාව ඉන්දියානු ආයෝජකයන්ට ලැබේ. මෙය අප රටේ මූල්‍යෝපායික ලෙස වැදගත් සමාගම් ඉන්දියානුකරණය කිරීමට හොඳම ක්‍රමය වේ.

 

එමෙන්ම ඉන්දියානු ආයෝජකයන්ට ලංකාවේ ඉඩම් මිලදී ගැනීමේ දී 100% ප්‍රාග්ධන බද්ධ නිදහස් වන බව චෝදනාවයි. මෙවැනි සහන සපයනුයේ අප රටේ වටිනා ඉඩම් ඉන්දියානු සමාගම් අතට පත් කිරීමටද?

 

CEPA යටතේ ඩොලර් මිලියන 1ක් වැනි මුදලකින් ලංකාව තුළ ආයෝජනය කිරීමට ඉන්දියානුවන්ට අවස්ථාව හිමිවේ. එමඟින් ලංකාවේ සිල්ලර වෙළඳාමට ද ඇතුළු විය හැකි බවත් ඒ හරහා ලංකාවේ වෙළඳපොල අධිකාරිය ඉන්දියානුවන් අතට පත්වන බවත් චෝදනා කෙරේ.

 

ඉහත චෝදනා සාවද්‍ය නම් රජය කළ යුත්තේ නිවැරදි ගිවිසුම ජනගත කිරීමය. මන්ද තොරතුරු දැන ගැනීමේ අයිතිය සුරක්ෂිත කිරීමට මෙම රජය පොරොන්දු දී ඇති නිසාය. එසේ නොමැතිව ගිවිසුම කොටස් වශයෙන් එළියට දැමීම වනාහි එයට එල්ල වන ජනතා විරෝධය කපටි ලෙස මඟ හැරවීමක් වේ. මෑතකදී සම්මත කරගන්නා ලද නව තොරතුරු පනත තුලින්ද ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් පිළබඳ තොරතුරු මහජනයාට අනාවරණය කර ගැනීම වලක්වා ඇත. මේ තත්වය යටතේ CEPA/ETCA අත්සන් කලහොත් සිදුවනුයේ මිලියන 37.2 පමණ ඉහළ රැකියා වියුක්තියකන් පෙළෙන සමාන්‍ය ලිපිකරු රැකියාවකට පවා PhD උපාධිධාරින් අයදුම් කරන ඉන්දියානු වෘත්තිකයන්ගෙන් ලංකාවේ රැකියා වෙළඳපොල පිරි ඉතිරී යාමක් වේ.

 

ජාත්‍යන්තරව ගත් කළ ඉන්දියානු IT, ඉංජිනේරු ආදී වෘත්තිකයන්ගේ වැටුප් තලය හා අප වෘත්තිකයන්ගේ වැටුප් තල අතර විශාල පරතරයක් ඇත. ඉන්දියානුවන් යනු සාමාන්‍ය ව්‍යවහාරයේ පරිදි බත් පැකට් එකකට පවා වැඩ කරන පිරිසකි. මේ අනුව රැකියා වියුක්තියේ තෝතැන්නක් වූ ඉන්දියාවේ වෘත්තිකයන්ගේ අඩු ශ්‍රම පිරිවැය හමුවේ අප වෘත්තිකයා ප්‍රතික්ෂේප වනු ඇත. එසේනම් ETCA අත්සන් කිරීම නිසා සිදු වනුයේ අප විසින්ම ලාංකික වෘත්තිකයාව අනතුරට හෙළනු ලැබීමක් නොවේද?

 

ඉන්දියානු IT, ඉංජිනේරු ඇතුළු වෘත්තිකයන්ගේ ගුණාත්මක භාවය පිළිබඳ ලෝක රැකියා වෙළඳපොල තුළ ප්‍රශ්න පවතී. එය ඔප්පු කිරීමට සුලබව සාක්ෂි ඉන්දියාවෙන් නොඅඩුව ලැබේ. උදාහරණ ලෙස ඉන්දියාව තුළ දියුණු වෛද්‍ය තාක්ෂණයක් ඇති බව සත්‍යයකි. එහෙත් එහි ප්‍රතිලාභ ලබනුයේ ඉන්දියානු ජනගහනයෙන් 10%ටත් වඩා අඩු පිරිසකි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ශ්‍රේණිගත කිරීම් අනුව ඉන්දියානු සෞඛ්‍ය පද්ධතියට හිමි වනුයේ සාපේක්ෂව පහලම ස්ථානයකි. එය ඔවුන්ගේ සෞඛ්‍ය දත්ත වාර්තා පිරික්සීමේ දී පැහැදිලි වේ. උදාහරණ ලෙස ඉන්දියාව යනු ළදරු හා මාතෘ මරණ වැඩිම රටකි. එලෙසම ඉන්දියාව වනාහි ගොඩනැගිලි හා ඉදිකිරීම් ක්ෂේත්‍රය ආශ්‍රිත හදිසි අනතුරු හා මරණ වැඩිම රටකි. එයට හේතුව නම් ප්‍රමිතියෙන් තොරව සිදුකෙරෙන ඉදිකිරිම්ය. ඉන්දියාව තුළ ලොව පිලිගත් විශ්ව විද්‍යාල පැවතුනද හතු පිපෙන්නාක් මෙන් බිහි වී ඇති ප්‍රමිතියෙන් තොර පුද්ගලික විශ්වවිද්‍යාල මඟින් වෛද්‍ය, ඉංජිනේරු, IT හා අනෙකුත් උපාධිධාරීන් දහස් ගණනක් බිහි කර ඇත. ඔවුන්ගේ ගුණාත්මක භාවය පිළබඳ ගැටළු ඇත.

 

 

ජාත්‍යන්තරව අප IT, ඉංජිනේරු, ගණකාධිකාරී, වෛද්‍ය ඇතුළු තවත් වෘත්තිකයන්ට තිබෙන පිළිගැනීම හා ඉල්ලුම ඉතා විශාලය. අප වෘත්තිකයාට මැද පෙරදිග හා බටහිර ඇතුළු රටවල විශාල ඉල්ලුමක් පවතී. මේ සඳහා වෘත්තිකයන් තව තවත් පුහුණු කිරීම අප විසින් කළයුතු වනවා මිස ඉන්දියානු වෘත්තිකයන්ගෙන් මෙරට පිරවීම නොකළ යුතුය.

 

රටවල් දෙකක් අතර අත්සන් කරනු ලබන මෙවැනි ගිවිසුම් ඒක පාර්ශවිකව අවලංගු කළ නොහැක. මෙහිදී ජාත්‍යන්තර වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසු එහි ගැටළු විසඳීම සඳහා ලෝක වෙළඳ සංවිධානයට විශාල බලයක් ලැබේ. යම් රටක් ඒක පාර්ශවිකව අවලංගු කරන්නේ නම් ඒ සඳහා විශාල වන්දියක් ගෙවීමට සිදුවනු ඇත.

 

ඉන්දියාව සමඟ මෙවැනි ආර්ථික ගිවිසුමකට එළඹි නේපාලය වැනි රටක තත්වය අද ඛේදජනකය. එම රටෙහි සම්පූර්ණ ආර්ථික බල අධිකාරිය හා සේවා අධිකාරිය ඉන්දියානුකරණය වී ඇත. එය කොතෙක් බලවත්ද යත්, එම රටෙහි පාලන රජය පවා තීරණය කරනුයේ ඉන්දියාවේ අවශ්‍යතාවයට අනුවය. අද ඔවුන්ගේ සංස්කෘතික හා සමාජීය අනන්‍ය සාධක පවා යටපත්ව ඉන්දියානු ලක්ෂණ ඉස්මතු වී ඇත.

 

අප හටද එම ඉරණමම අත් නොවෙතියි කිව හැක්කේ කෙසේද? මින් පෙර ලංකාව පිළිබඳ වූ ඉන්දියානු ක්‍රියාකලාපය වෙනස් වී ඇතිද? නොඑසේනම් ඉන්දියාව සැරසෙනුයේ මූල්‍යෝපායිකව හා පිහිටීම අතින් ආසියාවේ ප්‍රමුඛ තැනක වූ ලංකාව කූට ගිවිසුමක් මඟින් යටපත් කර ගැනීමටද?

 

CEPA/ETCA පිළිබඳ පාඨක ඔබගේ අදහස් හා යෝජනා අප සමඟ බෙදාගන්න පහතින් කමෙන්ට් කරන්න.

 

– නිරෝෂන් –

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

Colombo Beacon

Leave a Comment