අවුරුදු 22 ක තිස්සේ අපි ගෙවපු ජීවිතේ මොකක්ද ඇත්තටම. ජීවිතේ පළමුවන වතාවට ගෙදරට වෙලා.. දවස් විසිපහක් කොහේවත් අවිදින්නේ නැතිව ගෙදරටම වෙලා ඉන්න හම්බවුනා..ඒ මොන ආසාවකටත් නෙවෙයි… අවුරුදු දහතුනක් තිස්සේ අමාරුවෙන් ඉගෙන ගෙන යන්තමින් විශ්ව විද්‍යාලයකට ගිහින් හොද රැකියාවක් කරන්න හිතේ තිබුණ ආසාව හින්දා. ඒ වගේම නිකරුනේ මැරිලා යන්න වෙයි කියන බය නිසා… මේ පුංචි ලංකාවේ තියන නිදහස් සෞඛ්‍ය සේවයට, දක්ෂ වෛද්‍යවරුන්ටත් හැමදේටම අපේ පිහිටට ඉන්න ආරක්ෂක අංශවලටත් පිං සිද්ද වෙන්න තාමත් අපේ පුංචි රට මේ විදියට හරි තියනවා…
ගෙදරට වෙලා මේ විදියට ඉන්නකොට අවුරුදු හතරක පොඩි එකාකාලේ දවසක් ගෙදරක තිබුණ රඹුටන් ගහක රතු වෙච්ච රඹුටන් පොකුරක් කඩන්න හිතන් ගල් ගහලා ගෙදරක ජනෙල් වීදුරුවක් කඩපු හැටි, අම්මා එක්ක හවසට ඔයට ගිහින් කුඹුක් ගහේ එල්ලිච්ච වැල්වල එල්ලිලා ඔංචිලි පැදපු හැටි, ලොකු අයියලා හුලං පුරවපු ටියුබ් වලින් බොට්ටු හදාගෙන ඔය දිගේ පදිනවා ආසවෙන් බලගෙන හිටපු හැටි, ගෙදර මිදුලට දාන්න ලස්සන ලස්සන කිරමනා ගල් ඇහිදපු හැටි, අම්මා රෙදි ටිකත් හෝදගෙන නාගෙනත් ඉවර වෙලා ගෙදර යමු කියද්දි බෑ කියලා ඔයේදිම ගුටි කාපු හැටි, සීයත් එක්ක සීයගේ අතේ එල්ලිලා මහතුන් සීයගේ කඩේට ගිහින් පරිප්පු කඩල කාපු හැටි හරි අපූරු විදියට මතක් වෙනවා. ඔය වගේම අම්මා එක්ක අම්මා උගන්නපු ස්කෝලෙට ගිහින් ඒ ඉස්කෝලේ අයියලා එක්ක එකතු වෙලා අඹ ගස් වල අඹ කඩන්න කියලා පොලු ගහලා ඒව ගිහින් ස්කෝලෙක වහලේ වැදුනම අම්මා වේවැලක් කැඩෙනකම් ගහපු විදිහ මතක් වෙද්දි මටම හිනා. ඔය විදියට ඉන්නකොට පුදුම විදියේ ආසවල් එනවා.
ලොකුම එකක් තමා වාහන පිස්සුව. සීයා එක්ක රණ්ඩු වෙලා හංදියේ කඩේට ගිහින් දෙන්නම සුරුට්ටු පෙට්ටි තුන හතරක් අරන් එනවා. ඇවිත් කියතක් ඇරන් දෙන්න එක්ක හරි හරියට ලෑලි කපලා ටින්ටස් ඇණ ගහල ගන්නවා. ඊට පස්සේ පරණ බාටා කෑලි දෙකක් හොයන් රෝද හතරත් කපනවා. පරණ සෙල්ලම් බඩු වලින් ගලවපු කම්බි කෑලි දාලා ලොරි කට්ට හදලා ගන්නවා. ඔන්න ඉතින් දවස් තුන හතරක් යනකම්ම ගේ වටේම පස් කප කපා ලොරි කට්ටෙන් ඇද ඇද තැන් තැන්වල දානවා. මේ වගේ දේවල් දැන් ළමයින්ට හීන තමා. ආයේත් ඔන්න බස් පිස්සුවක් එනවා.
ඒක නම් ලේසි නෑ. සීයා එක්ක එකතු වෙලා තමා මෙ විදියට හැමදේම කරන්නේ. ඒ කලේ දැන් වගේ ගෙවල් වල සෝෆා නෑ නේ. තිබ්බේ පුටු සැටිය විතරයි. ඔන්න ඒකෙ කොට්ට ටික සෙට් කරලා බස් එක එලවන්න කියලා හාල් බාස්කට් එකෙ පියන ගන්නවා. ජියර් එකට ඉතින් ගන්නේ කැඩිච්ච කොසු මිට. සීයා තමා කොන්දොස්තර. රියදුරු කවුද කියලා කියන්න ඕනි නෑ නේ. අම්මා ඉස්කෝලේ ඇරිල එනකම්ම බස් පදිනවා. ඔන්න ඔහොමයි ඒ පිස්සුව ඉවර වෙන්නේ.
ඔන්න ඉතින් එක වසරට යන්න වෙනවනේ කාට කාටත්.. ටවුමේ පිරිමි ඉස්කෝලෙට යනවා… එතනින් ගමේ ගෙවපු ජීවිතේ පොඩ්ඩක් වගේ සංකීර්ණ වෙනවා… පාන්දර නැගිටලා ඉස්කෝලේ යන හැටි, පාසල් බස් එකේ අයියලා එක්ක සිංදු කියපු හැටි, අනිත් බස් එක්ක රේස් යන්න කියලා අංකල්ට කියපු හැටි, හරි අපූරුවට මතක් වෙනවා. ඔන්න ඔය වෙද්දි හොදම යාලුවෝ හම්බෙලා ඉවරයි. එකම ගමේ එකම ඉස්කෝලේ එකම බස් එකේ ගියපු අපි කරුමෙටම එකම පන්තියට වැටෙනවා. ඉස්කෝලෙ ගිහින් ආපහු ආවම තියෙන්නෙ වෙනම කතාවක්.
ගෙදර ආපු ගමන් පොත් ටික පැත්තකට විසි කරලා දාලා දුවන්නෙ වෙන කොහෙද ඉතින්… ඔයට ඔයට… ප්‍රසන්න මාමා වැලි ගොඩ දාන ඔයට. හුලං ගහපු ටියුබ් ටිකත් අරන් ගමේ යාළුවොත් එකක් අපි පදිනවා බෝට්ටු. වැල්වල එල්ලිලා කුඹුක් ගහට නැගලා පනිනවා ඔයට… ආපහු ගොඩට… ඔය විදියට පැය හතරක් පහක් කරන්නෙ දන්න සෙල්ලම් ඔක්කොම දදා නාන එක. අන්තිමේ අම්මා ඇවිත් කෝටු පාර දිදී පාර දිගේ කනෙන් ඇද ගෙන යනකම්ම අපේ නෑම නෙවේ නතර වෙන්නෙ.
ඔහොම ඉද්දි තාත්තා ගෙනත් දුන්නා මට බයිසිකලයක්.
“දැන් ඔක්කොම හරි” දැක්ක ගමන්ම ඉස්සල්ලාම කීවේ අම්මා. ඊට පස්සෙ ඉතිං හවස් වරුව ගෙවුනෙ යාලුවෝ එක්ක ගම පුරාම බයිසිකල් පැද පැද. ඔය අස්සේ වයසක ආච්චි කෙනෙක් එහෙම හැප්පුනේ නැතිවමත් නෙවෙයි. එහෙමයි කියලා අම්මගෙන් ගුටිනොකා හිටියෙත් නෑ.
සතිඅන්තෙට තාත්තත් එක්ක මං රබර් වත්තට යනවා කිරි කපන හැටි බලන්න. එමින් ගමන් සාක්කු දෙක පුරෝලා රබර් ඇටයි ඔට්ට පාලුයි. වෙන මොකටවත් නෙවේ… ඔය මොනව මොනවම හරි ටිකක් හදන්න බලාගෙන.
අවුරුද්දට සැරයක් විතර ඔය පිටාර ගලපුවාම සතියක් විතර යනවා බහින්න. ඒ කාලෙට තමා ඉතින් ඉබ්බෝ අල්ලන්නයි කෙසෙල්කොට පාරු පදින්නයි යන්නේ. කෙසෙල්කොට පාරු පදින්න ගිහින් අතක් කඩාගෙන අඬාගෙන ගෙදර ගියපු අතීතයක් එහෙම නැතුවමත් නෙවෙයි.
ඔන්න ඔය විදියට ගමට වෙලා ගෙවපු ජීවිතේට නැවතීමෙ තිත වැටුනෙ ‘අපිත් ඉගෙනගෙන හොඳ රස්සාවක් කරන්න ඕනිනෙ’ කියන අදහස ඔලුවට ආපු දවසේ ඉදන්.
කොරෝනා නිවාඩුව වෙද්දි මුළු ගමම වෙනස් වෙලා… ඉස්සර කර වටක් තිබ්බ ඔයේ වතුර ටික අද වෙද්දි දණ ගාවට. ඔය පතුලේ එරෙන තරම් තිබ්බ වැලි ටික අද ගල් පතුල් වලට යනකම්ම අතුරුදහන් වෙලා. බූරියට කළයට ඔයෙන් ඇරන් ගියපු වතුර ටික අද මෝටරෙන වතුර ගහන තැනට ඇවිත්. අඩියෙන් අඩිය ඔයේ රෙදි සෝදපු තැන්වල අද මිනිස් පුළුටක් නෑ. ඒ තරමටම පාලුවට ගිහින්. ඔය කණ්ඩියට වෙලා ඔය රැකපු රූස්ස මාරගස් වෙලාගෙන හිටපු පුස් වැල් අද නිකම්ම මැරිලා ගිහින්. දවසට පොල්ගෙඩි දහය පහලව ගහගෙන ගියපු ඔයේ ආසාවට දකින්න වැටිච්ච පොල් අත්තක් නෑ. හවස් වෙද්දි මී හරක් නාවන්න ගෙනාපු තොටුපළ අද වල් වැදිලා. කොටින්ම කීවොත් මිනිස්සු සොබාදහම වෙනස් කරන්න දරන උත්සහයට හොඳම උදාහරණයක්. ඒ තරමටම අද වෙනස් වෙලා, එදා ඒ තිබ්බ අපේ ගම.
හැබැයි අන්තිමේදි මේ වෙනස දරා ගන්න බැරුවම සොබාදහම මිනිස්සුන්ට හොඳ දැනෙන්න ටොක්කක් ඇන්නා. ඇනලා කීවේ එක දෙයයි. ඒ “දැන් ආයෙමත් උබලා වෙනස් වෙයන්” කියන එක. අන්න ඒකට තමා මිනිස්සු කට වහරට කියන්නෙ ‘ලෝක ධර්මතාවය’ කියලා.
මිනිස්සු එකක් තේරුම් ගන්න ඕනි. සොබාදහම තියෙන්නේ අපිට වඩා ගව්ගානක් උඩින්.. මිනිස්සු කොච්චර දියුණු උනත්, තාක්ෂණය නිසා සොබාදහම අභිබවා යන්න අපිට බෑ. අන්න ඒ දේ අපිට පෙන්නන්න තමයි සොබාදහම මේ විදියට මිනිස්සුන්ව තමන්ගෙම අතීතයට යැව්වේ.
කොරෝනා නිවාඩුවේ දින විසිපහක් ගෙවිලා ඉවර වෙද්දි ආයෙමත් හැමෝටම ගම මතක් වෙලා. තම තමන්ගෙ වතුවල බිම් කොටන්න අරන්. පුරන් වෙච්ච කුඹුරු ටික අස්වද්දනවා. වැස්ස නැති වෙද්දි ඔය මතක් වෙලා හැමෝටමට. නිවාඩුවට ගමට ආපු ලමයි හැමෝම ඉස්සර අපි පොඩි කාලෙ වගේ ආයෙමත් ඔයට යනවා නාන්න. රබර් වතු නැති උනත් තේ වතුවල හරි වැඩ කරන්න කියලා හැමෝම වගේ යනවා මූණු වහන්. සොබාදහමට ඕනි උන විදිහටම අයෙමත් හැමෝටම අතීතයට යන්න වෙලා.
අන්තිමටම අපිට හිතන්න තියෙන්නෙ එක දෙයයි. ආයෙමත් හැදෙන්න අවස්තාවක් නම් සොබාදහම ලබා නොදේවි අපිට. හැබැයි මේ පාර අපි හැදුන් නැත්නම් එක දෙයක් නම් ස්ථිරයි. අපිට දඩුවම් විදින්න වෙන එක නම් වෙනවා වෙනවාමයි…
Leave a Comment