රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා සෑම පුද්ගලයෙකු හටම ජීවත් වීමේ අයිතිය, අත්තනෝමතිකව සිරභාරයට ගැනීමෙන් මිදීමේ නිදහස හා නීතියෙන් නියම කළ දණ්ඩනයකින් මිස කුරිරු වධහිංසාවන්ට ලක්වීමෙන් මිදීමේ නිදහස තහවුරු කර තිබුණ ද, නැතිනම් එසේ තහවුරු කර නොතිබුණ ද පුද්ගලයෙකු ලෙස මෙලොව උපන් සියල්ලන්ටම එකී අයිතීන් ස්භාවිකව උරුම වී ඇත.
නමුත් වර්තමානය වන විට ලෝකයේ ඇතැම් රටවල දූෂිත දේශපාලන හා පරිපාලන ත්‍රන්ත තුළ පොලිස් බලය හා මිලිටරි බලය හරහා සාමාන්‍ය සිවිල් වැසියන් මර්දනය කිරීමේ පිළිවෙතක් හඳුනා ගත හැකි අතර ඒ තත්වය මෙරට මෙන්ම අසල්වැසි ඉන්දියාවේ ද දක්නට ලැබෙන සුලභ කරුණක් බවට පත්ව ඇත.
මෑතකාලීනව ඉන්දීය සිනමාවේ වඩාත් කතාබහට ලක් වූ නීතීමය චිත්‍රපටයක් වන Jai Bhim 2021 වසරේ ඉන්දීය හොඳම දෙමළ චිත්‍රපට අතරින් එකක් ලෙස ලැයිස්තු අතරට එක් වූ අතර IMDb හී වැඩිම පරිශීලක ශ්‍රේණිගත කිරීම් සහිත චිත්‍රපටය බවට ද පත් විය.
Jai Bhim යනු, පොලීසිය විසින් ධනපති පන්තියට ඇති පක්ෂග්‍රාහීත්වය සහ දුප්පත්, කුලහීන යැයි සලකන ප්‍රජාව කෙරේ දක්වන කෲරත්වයත්, ප්‍රචණ්ඩත්වයත් නිරූපිත සත්‍ය සිදුවීමක් පාදක කර ගනිමින් T.J. Gnanavel විසින් අධ්‍යක්ෂණය කරන ලද, Jyothika සහ Suriya විසින් නිෂ්පාදිත ඉන්දියානු දමිළ භාෂා චිත්‍රපටයකි. Suriya සහ Lijomol Jose ප්‍රධාන චරිත නිරූපණය කරන අතර Manikandan, Rajisha Vijayan, Prakash Raj ආදීන් සෙසු චරිතවලට පණ පොවයි.
ඉන්දියාවේ ආන්තික ජනයාගේ විශේෂයෙන්ම දාලිත්වරුන්ගේ ජීවිතය කෙතරම් කටුක ද යන්නත්, ඔවුන්ගේ ආරක්ෂාව උදෙසා නීති තිබුණ ද ඔවුන් සමාජය තුළ කෙතරම් වෙනස්කම් වලට සහ ප්‍රචණ්ඩත්වයන්ට ලක් වෙන්නේ ද යන්නත් මෙම චිත්‍රපටය තුළින් ආමන්ත්‍රණය කරනු ලැබේ.
ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිර්මාතෘවරයා මෙන්ම දාලිත්වරුන්ගේ දේශපාලන අයිතිවාසිකම් සහ සමාජ නිදහස වෙනුවෙන් පෙනී සිටි B.R. අම්බෙඩ්කාර් මහතාගේ අනුගාමිකයන් භාවිතා කළ ජනප්‍රිය සටන් පාඨයක් වන Jai Bhim යන්න මෙම චිත්‍රපටයේ තේමාව ලෙස යොදා ගැනීම ද චිත්‍රපටයේ අරමුණ තවදුරටත් සාක්ෂාත් කරගැනීමට දායක වී ඇත.
කතාව ආරම්භයේ දී පොලිස් නිලධාරීන් විසින්, නිදහස ලබා පැමිණෙන සැකකරුවන් පිරිසක් ඔවුන්ගේ කුලය අනුව වෙන් කරන අතර ප්‍රමුඛ කුලවල පුද්ගලයන්ට පිටත්ව යාමට ඉඩ ලබා දෙයි. නමුත් පහළ කුලවලට අයත් පිරිස අසල්වැසි පොලිස් ස්ථානවල නොවිසඳී ඇති නඩු සඳහා අවශ්‍ය සැකකරුවන් ලෙස ගෙන යාමට පොලිස් නිලධාරීන් විසින් ඔවුන්ව මුදලට විකුණනු ලැබේ.
අදටත් දැඩි කුලවාදී අදහස් දරන ඉන්දීය ජන සමාජයේ කුලහීන යැයි ඔවුන් විසින් සලකන ජනයාගේ ඉරණම දූෂිත පොලිස් නිලධාරීන් විසින් තීරණය කරන බව මෙම ආරම්භක දර්ශනය තුළින්ම මනාව පැහැදිලි වේ.
ඉන්දීය මහාධිකරණ විනිසුරුවරයෙකු වන කේ. චන්දෘ මහතා නීතීඥවරයෙකු ලෙස කටයුතු කරන සමයේ ඔහු විසින් සම්බන්ධ වූ නඩුවක සත්‍ය සිදුවීමක් පාදක කර ගනිමින් මෙම චිත්‍රපටය නිර්මාණය වී ඇති අතර ඉරුලර් ගෝත්‍රයට අයත් රාජකන්නු සහ සෙංගනී නම් යුවළ වටා මෙම සංවේදී කතාව ගොඩ නගා ඇත.
මී උවදුර පාලනය කිරීමට සහ විශඝෝර සර්පයන් අල්ලමින් ඉහළ කුලවල මිනිසුන්ගේ කෙත්වතුවල වැඩ කරන පීඩිත පංතියේ යුවළක් වන රාජකන්නු සහ සෙංගනී ජීවත් වීම සඳහා සුදුසු නිවසක් පවා නොමැති මුත් සියලු දරිද්‍රතාවයන් අභිබවා ඔවුන් තෘප්තිමත්ව සහ සතුටින් ජීවිතය ගත කරන බව කතාව ආරම්භයෙහි පැහැදිලි වේ.
ප්‍රශ්නගත සිදුවීම ආරම්භ වනුයේ ප්‍රදේශයේ ධනවතෙකුගේ නිවසක් තුළට රිංගූ සර්පයෙකු ඇල්ලීම සඳහා රාජකන්නු ගෙන්වා ගැනීමත්, ඊට පසුදින එම නිවසේ සිදු වූ රන් ආභරණ සොරකමට ඔහුව සැක කිරීමත් සමඟ ය.
ඒ වන විටත් වෙනත් රැකියාවක් සඳහා නගරයෙන් පිට වී සිටි රාජකන්නු සොයා රාත්‍රීයේ දී ම ඔහුගේ නිවසට කඩාවදින පොලිස් නිලධාරීන් ඔහුගේ ගර්භණී බිරිඳ, සෙංගනීට අමානුෂික ලෙස පහර දෙමින් ඇයවත් අසල්වැසි නිවෙස්වල සිටි ඔහුගේ සොහොයුරාත්, සොහොයුරියත්, මස්සිනාවත් රැගෙන ගොස් නීති විරෝධී ලෙස රඳවා තබාගෙන අමානුෂික ලෙස වධහිංසනයට ලක් කරනු ලැබේ.
රාජකන්නු සිටින ස්ථානය පාපොච්චාරණය කර ගැනීම උදෙසා ඔවුන්ට අමානුෂික ලෙස පහරදීම් සිදු කරන අතර ඔහුව සොයාගත් පසු සෙංගනී පොලිස් භාරයෙන් නිදහස් කරනු ලැබුව ද රාජකන්නු පොලිස් භාරයේ සිටිය දී අතුරුදන් විය. ඒ අතර සැබවින්ම සොරකම සිදු කළ ආභරණ සොරා පොලිසියට හමු වූවත් ඔහුගෙන් අල්ලස් ලබා ගන්නා පොලීසිය නිර්දෝශී අහිංසක ජීවිතයක් ඒ සඳහා හසුකරනු ලැබී ය.
ඉරුලර් ගෝත්‍රයට ඉගැන්වීම් කළ මයිත්‍රා නම් තරුණිය මෙවැනි වාර්ගික ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන චන්දෘ නම් වූ නීතීඥවරයෙකු හමුවේ සෙංගනීට යුක්තිය ඉටු කර ගැනීමට සහය පතන අතර මහාධිකරණයේ හබයාස් කෝපුස් නඩුවක් ගොනු කරමින් රාජකන්නු අධිකරණය වෙත ඉදිරිපත් කරන්නැයි ඉල්ලා සිටිය ද පොලීසිය ප්‍රකාශ කළේ රාජකන්නුත් අනෙක් දෙදෙනාත් පොලිස්
අත්අඩංගුවේ සිටිය දී පැන ගොස් ඇති බවයි. ඒ වන විටත් පොලිස් නිලධාරීන්ගේ අමානුෂික වධහිංසන හමුවේ රාජකන්නු මියගොස් සිටි අතර පොලිස් නිලධාරීන්ගේ වරද සැඟවීම උදෙසා අනෙක් සැකකරුවන් ද බන්ධනාගාරයක් වෙත මාරු කර යවන ලදී.
කුලවත් පවුල් කෙරේ ඇති බිය සහ ඔවුන් කෙරෙහි දක්වන විශේෂ සැලකිල්ලත්, ධනය හා බලය කෙරෙහි ඇති කෑදරකමත්, ඒ මත අහිංසක වැසියන් තම වාසියට යොදා ගන්නා ආකාරයත් එහි දී නිරූපණය වේ.
එතැන් පටන් සෙංගනී සහ රාජකන්නු වෙනුවෙන් යුක්තිය සොයා යන ගමන් මග නීතී චන්දෘට පහසු නොවී ය. වරද තහවුරු වුවහොත් එයින් සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවටම සිදුවන අපකීර්තිය හේතුවෙන් ඇතැම් ඉහළ නිලධාරීන් පවා යුක්තිය පසෙක ලා සිද්ධිය සමථයකට පත්කිරීමට උත්සාහ කරන අතර නීතීඥ චන්දෘගේ මග පෙන්වීම මත මෙම ප්‍රජාවගේ සංවේදී කතාව සියැසින් දුටු එක් ඉහළ පොලිස් නිලධාරීයෙකු විසින්ම අවසානයේ පොලිස් නිලධාරීන්ට එරෙහිව සාක්ශි ලබා දීම සිදු කරයි. සංවේදී, දයානුකම්පිත හා ශක්තිමත් ආත්ම විශ්වාසයෙන් යුක්ත දක්ෂ නීතීඥවරයෙකු ලෙස ඔහු විසින් දැඩි පරිශ්‍රමයක් දරා සත්‍ය හෙළි කර අදාළ පොලිස් නිලධාරීන් නීතිය හමුවේ වැරදිකරුවන් බවට පත් කිරීම සිදු කරන අතර සෙංගනීගේ අනාගතය වෙනුවෙන් ද ඔහු සාධාරණත්වයක් ඉටු කිරීමට කටයුතු කරයි.
දැඩි හා ශක්තිමත් කාන්තාවක ලෙසින් සෙංගනී ද සියලු පාගා දැමීම් ඉදිරියේ සියල්ල දරා ගනිමින් තම ස්වාමියා මිය ගිය බව දැනගත් පසු ද තවදුරටත් යුක්තිය වෙනුවෙන් සටන් කරනුයේ තමන්ට පමණක් නොව තම වාර්ගික ප්‍රජවටම නීතිය ඉදිරියේ ඇති අසමානකමට, වෙනස්කොට සැලකීමට එරෙහිව සාධාරණයක් ඉටු කර ගැනීම වෙනුවෙන් ය. ඉහළ පොලිස් නිලධාරීන් විසින් ඇයව සමථයකට පත් කර ගැනීමට උත්සාහ කළ ද ඒ කිසිවක් හමුවේ නොසැලී, දැඩි අධිෂ්ඨානයකින් යුක්තව යුක්තිය ඉටු කරගැනීම උදෙසා ඇය නීතිය කෙරෙහි විශ්වාසය තබන ලදී.
නීතීඥ චන්දෘගේ චරිතයට පණ පොවන සූරියා වැනි ජනප්‍රිය නළුවෙකු යොදා ගැනීමත්, ඔහුගේ අතිවිශිෂ්ඨ රංගනයත් මෙන්ම චිත්‍රපටය හරහා සමාජගත කිරීමට බලාපොරොත්තු වන සංවේදී පණිවිඩයත් මෙම චිත්‍රපටයේ සාර්ථකත්වය උදෙසා නිසැකවම බලපා ඇත.
ඉන්දීය දාලිත්වරුන්ට එරෙහි මර්දනය පාදක කර ගොඩනැගුනු මෙම චිත්‍රපටය තුළින් නිරූපිත කාරණය වර්තමානය වන විට ලාංකේය සමාජය තුළ ද හඳුනාගත හැකි ය. මෑතකාලීනව ද පොලිස් රැඳවුම් භාරයේ දී මියගිය සිරකරුවන් ගණන අතිවිශාල ය. මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින්ම මූලික මිනිස් අයිතිවාසිකම් ලෙස අත්තනෝමතික සිරභාරයට ගැනීමෙන් වැළකීම මෙන්ම කෲර හා අමානුෂික වධහිංසාවන්ට ලක් වීමෙන් වැළකීමේ නිදහස තහවුරු කර තිබිය දී ත් සිවිල් වැසියන්ව විවිධ නිදහසට කරුණු දක්වමින් පොලිස් භාරයේ දී ඝාතනය කිරීම මානව හිමිකම් සුරකින සමාජයක් තුළ සිදු නොවිය යුතු නීතිවිරෝධී ක්‍රියාවකි.
එබැවින් ඉන්දීය සමාජ ප්‍රශ්නයක් මතු කරමින් නිර්මාණය වූ Jai Bhim දෙමළ සිනමාවේ පීඩිත කුලහීන ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන නව ව්‍යාපාරයක් වූවාක් මෙන්ම කුල ගැටුම් බහුලව හඳුනාගත නොහැකි මුත් වර්තමානයේ දී සිවිල් වැසියන්ගේ අයිතිවාසිකම් මර්දනය කරන සිදුවීම් බහුලව හඳුනාගත හැකි සමාජයක් තුළ වෙසෙන ප්‍රජාවක් ලෙස ඊට එරෙහිව නැගී සිටීමට අප සැමට ද යුතුකමක් ඇති බව Jai Bhim අපට මතක් කරනු ඇත.
Design by : Pathum Lakshan
References :
Images :
Leave a Comment