නිසදැස්

Why are we so complicated

බොහෝ දිගැති , සොඳුරු සැඳෑවක මන්දාකිණි අතරින් ඔබේ සිනහව පාව එනු මට පෙනේ. ඈතින් පෑයු තරුවක් වරින් වර නිවෙමින්, දැල්වෙමින් , විශ්වයටම කරන සංඥාවන් මා ඇතුළු හද ගර්භය මහත් වේදනාවට පත් කරයි . නුඹගේ කළු දුඹුරු පැහැ කුඩා දෑස් මට මතක ය . ඒවා නිවෙන දැල්වෙන තාරකා එළි වැනි ය. දෑඟිලි අතරේ සිරවෙන කෙටි නමුත් රළු රැලැති කෙහෙරැලි මට මතක ය . නුඹගේ සිනහවේ එක කොනක රැඳි ප්‍රේමයේ එක් අංශු මාත්‍රික වේදනාව මට මතක ය. අනන්තයේ සිට ඇදී එන මුහුදු රැල්ලක් රැල්ලක් පාසා ආදරය කරන්නට මට ඉගැන්වු නුඹෙ සුසුමක උණුසුම මට මතකය. නුබ සිඹින දෑස් මට මතකය . දිග ඇහි පියන් මත රැඳුණු කිසිදාක බිම නොවැටුණු කඳුළු බිඳුවක බර මට මතක ය. මා නෙත් ඔසවා මා දෑත් එකට ගෙන සිපගත් මතකයක ආලෝකය මට මතක ය. කළු ගැහුණු දෙතොලග රැඳුණු ශේෂ වී ගිය අලුත් සිගරැට් දුමක අවසා⁣නයේ ඉතිරි හිස් අළු දුහුවිල්ලක් මුහුදු හුළඟට ගසාගෙන ගිය අයුරු මට මතක ය. කල්පයකට වතාවක් හිස සිඹින , සෑම තත්පරයකට වරක් මාගෙන් මිදී දුර දුවන නුඹව මට මතක ය. මහ බර කන්දක එකිනෙකට පැටලුනු , මට ලිහන්නට නොහැකි , නුබට පමනක්ම ලිහිය හැකි මහාප්‍රාණ කතන්දර ගොන්නක් මට මතක ය.
” උන්මාද දේවි හැම අල්ලා ගැනීමක්ම දුකක්” කියා වඩ වඩාත් වඩාත් මා තදින් බදා, මා අස්සේ හිස හන්ගා ගන්නා නුඹව මට සංසාරයක් හොඳටෝම මතක ය. ඉතින් ආදරේ තවමත් මුහුදු රැළි මත පා වෙමින් පවතී. සදහට ම එය එ සේ පවතිනු ඇත.

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

පවිත්‍රානි දිසානායක

නීති පීඨය - උපාධිධාරි
කොළඹ විශ්වවිද්‍යාලය

Leave a Comment