විශේෂ දිනයන්

World Day For Safety And Health At Work

වෘත්තීය සුරක්ෂිතතාවය සහ සෞඛ්‍යය

විවිධ කාල පරිච්ඡේද පසු කරමින් දැන් නව සියවසේ ලෝකය පැමිණ ඇත්තේ තාක්ෂණය මූලික කරගත් යුගයකටයි. ඈත අතීතයේ පටන්ම මිනිසා උත්සාහ කරේ තම අවශ්‍යතාවයන් කෙසේ හෝ සපුරා ගන්නටයි. ක්‍රම ක්‍රමයෙන් මිනිස් ස්වභාවය සහ දැනුම දියුණුවත්ම අපගේ අවශ්‍යතාවයන් වැඩි වූවා මිසක අඩු වූයේ නම් නැත.

මෙලොව ජිවත්වන සියලු මිනිසුන්ට තම දෛනික අවශ්‍යතාව සපුරාගැනීම සඳහා අදායම් මාර්ගයක් පැවතිය යුතුමයි. බෙහෝවිට දිගුකාලීන අදායම් මාර්ගයක් ලෙස සුදුසුම වන්නෙ රැකියාවක යෙදීමයි. බාල , තරුණ සහ මහළු භේදයකින් තොරවම සෑම දෙනෙක්ම පාහේ තමන්ට කල හැකි රැකියාවක නැත්නම් වෘත්තීයක නිරත වෙයි.

රැකියා ස්ථානය ද සම්පූර්ණයෙන් ආරක්ෂිත ස්ථානයක් නොවේ. බොහෝ විට ශාරිරක මෙන්ම මානසික රෝගාබාධ රැසක්ම රැකියා ස්ථානය මූලික කරගන ඇතිවිය හැක . සමහර විටෙක මරණයට වුවද පත්විය හැක. කාර්මීකරණය මුල් කරගෙන ඇතිවූ කර්මාන්තශාලා වැඩිවීමේ ප්‍රවනතාවක් ලෙස වැඩිවූ අනුපාතයට තුවාල ලැබූ හෝ මරණයට පත්වූවන් ගේ සංඛ්‍යාව ඉහල යයි . විශේෂයෙන්ම කර්මාන්තශාලා තුල සියයට සියයක් ආරක්ෂාවක් සහතික කල නොහැක . සියලු දෙනාම රැකියාව කරනුයේ යම්කිසි වූ අවදානමක් සහිතවයි.  බොහෝ අවස්ථාවන්වල වැඩ කරන කම්කරුවන් තම ජිවිත අවදානම දැන රැකියාවට එකඟ වුවද අල්ප අවස්ථාවන්වල කම්කරුවන් රැවටීමටම ලක් කර ඔවුන්ගේ ජිවිත අවදානමට ලක් කර ඇත.

මේ සියලු කටයුතු සලකා බැලූ කල රැකියාවල යුක්ත වන්නන්ගේ  ආරක්ෂාව සහ සෞඛ්‍යය මුල් කර ජාත්‍යන්තර කතිකාවක් ඇතිවිය. මේ කතිකාවත ලෝකයාට ගෙනයාම පිණිස ඇතිවූ අවශ්‍යතාවයන් මත ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් ( ILO ) 1989 දී අප්‍රේල් 28 වන දින ” රැකියාවේ සුරක්ෂිතාවය සහ සෞඛ්‍යය පිළිබද ලෝක දිනය ” ප්‍රකාශයට පත් කරන ලදි.

ලොවපුරා ගතවෙන සෑම තත්පර 15 කට වරක් එක් සේවකයකු මියයයි. එවිට  සෑම දිනකම පුද්ගලයන් 6300 රැකියාව හා ඒ ආශ්‍රිත අනතුරු හෝ රෝගාබාධ නිසා මියයති. යුද්ධයකදී වඩා මිනිසුන් ජිවිතක්ෂයට පත්වන්නෙ වෘත්තීය සුරක්ෂිතාවයක් නැති බැවිනි. තවද  වසරකට එම අගය මිලියන 2.8 කි. එමෙන්ම රැකියාවෙන් වාර්ෂිකව අනතුරු පමණක් මිලියන 317 කට පමණ අධික වේ. මේ අනතුරුවලින් බොහෝමයක් රැකියාවෙන් ඉවත්වීමට හේතු වේ. උපද්‍රවකාරී ද්‍රව්‍ය මගින් වාර්ෂිකව කම්කරුවෝ ලක්ෂ හතරක්  පමණ මියයති. අතිශය විෂ සහිත ඇස්බැස්ටෝස් මෙම මරණ වලින් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයකට වග කිව යුතුය.පලිබෝධනාශක භාවිතය නිසා හැත්තෑදහසකට අධික ප්‍රමාණයක් ජිවිතක්ෂයට පත්වේ.

මෙම දෛනිකව සිදුවන විපත්වලදී අහිමිවන මිනිස් පිරිවැය ගෝලීය දල නිෂ්පාදනයෙන් 4% ක් පමණ බලපෑමක් වන බව ගනන් බල ඇත. එනම් දුර්වල වූ රැකියා සුරක්ෂිතාවය නිසා අඩු පහසුකම් සහිත දැනුවත් නොවූ ශ්‍රමිකයන්ගේ සෞඛ්‍යය ගැටලු හේතු කොට ආර්ථිකයට සිදුවන හානිය ගෝලීය දල නිෂ්පාදනයෙන් 4% කි.

කලාපීය වශයෙන් ගත් සංඛ්‍යාලේඛන වලින් පෙනීයන්නේ කාර්මික හා අළුතින් කාර්මීකරණය වූ සංවර්ධිත රටවල්වල රැකියා ස්ථානයේ අනතුරු අවම වී ඇති බවයි . සංවර්ධනය වෙමින් පවතින ආසියානු සහ ලතින් ඇමරිකානු සමහර රටවල් වල රැකියා ස්ථානයේ අනතුරු සංවර්ධිත රටවල්වලට වඩා වැඩිය. මෙය සිදුවන්නේ අළුතින් සංවර්ධනය කරා ළඟාවෙන රටවල් ගත්කල ශ්‍රමිකයන් පැමිණෙන්නේ ග්‍රාමීය ප්‍රදේශවලිනි. ඔවුන්ට සුරක්ෂිතාවය සහ සෞඛ්‍යය පිළිබදව ඇත්තේ අල්ප දැනුමකි. එසේ පැමිණෙන බොහෝදෙනා බර යන්ත්‍රසූත්‍ර සමග වැඩ කර නැති අතර සමහර අයට විදුලිය වැනි කාර්මික උපද්‍රව ගැන ද ප්‍රමාණවත් දැනුමක් නොමැත. එබැවින් මෙම උපද්‍රව කොතරම් භයානකදැයි ඔවුන් නොදනී. තවද වේගයෙන් කාර්මීකරණය වන රටවල අඩු නිපුණතා ඇති කම්කරුවන්ට ලේසියෙන් ලබාගත හැක්කේ මෙවැනි රැකියා පමණක් වීම ද මේ කෙරේ ඍජුවම බලපායි.

රැකියාව බොහෝ ආර්ථික සහ වෙනත් ප්‍රතිලාභ රැසක් ලබාදුන්නද සේවා ස්ථානවල උපද්‍රව රාශියක් ඇතිවේ . එම උපද්‍රව අදාල සේවකයන්ට මෙන්ම වක්‍රාකාරව එම  සේවකයන්ගේ නිවැසියන්ගේද හිතවතුන්ගේ ද ආරක්ෂාවට සහ සෞඛ්‍යයට අවදානම් සපයයි.
මෙම උපද්‍රව අතර රසායනික උපද්‍රව , ජෛව විද්‍යාත්මක උපද්‍රව , ශාරීරික උපද්‍රව , මනෝ සමාජීය උපද්‍රව ප්‍රධාන වේ.

ශාරිරක උපද්‍රව වලට ප්‍රධානම හේතුන දැන හෝ නොදැන ශ්‍රම සුරාකෑමට ලක්වීමයි. කොතරම් යන්ත්‍ර සූත්‍ර පැවැතුනද අදටද මිනිස් ශ්‍රමය නොමැතිව කාර්මීකරණයේ අනර්ඝ ඵල නෙලාගත නොහැක. එමනිසා වඩාත් දිළිඳු පුද්ගලයන් අඩු වැටුපකට, දරාගත නොහැකි තරමට ශ්‍රම සුරාකෑමට ලක්වේ .  එවිට අනිවාර්යයෙන් කාලයත්ම ඔවුන්ගේ ශාරීරික සෞඛ්‍යය පිරීහී යාම ආරම්භ වේ. අනතුරුව වන්දි ගෙවීම් , නඩු ආදී සමාජීයය ප්‍රශ්න පවා මෙම ශ්‍රම වැගිරීම නිසා ඇති විය හැක.

විශේෂයෙන් ගත්කල ඉදිකිරීම් කටයුතු , ප්‍රවාහනය , යන්ත්‍ර සූතු ආශ්‍රිත නිෂ්පාදනයන්  වල යෙදෙන්නෙන්හට මාරාන්තික ශාරීරික උපද්‍රවයන්ට ලක්විය හැක. මෑතකදී චීනයේ කර්මාන්තශාලාවක රොබෝ යන්ත්‍රයකට කොටසක් ඇතිවූ තාක්ෂණික දෝෂයක්මත සේවකයකු මතට කඩා වැටී උල් සහිත යකඩ කම්බි ඇණී ජීවීතක්ෂයට පත්වීම මෙයට හොඳම නිදසුනකි.

ජෛව විද්‍යාත්මක උපද්‍රවවලටද සේවකයන්ට නිරතුර මුහුන පාන්නට සිදුවේ . වෛරස් බැක්ටීරියා , ක්ෂුද්‍රජීවී පරීක්ෂණගාරවල හා ඒ ආශ්‍රිත නිෂ්පාදන ක්‍රියාවලින්ට දායක වන සේවකයන්ට වැඩි අවදානමක් පවතී. ගොවීන් , වගා කරුවන්ද එලිමහන් කම්කරුවන්ද නිතර ජෛව උපද්‍රව වලට ලක්වේ . ඉන්ෆ්ලුවෙන්සා ආදී කර්මාන්තශාලා සේවකයන් අතර සම්ප්‍රේෂණය වන රෝග ද සත්ත්ව දෂ්ට කිරීම් සහ ප්‍රහාර ද මෙම උපද්‍රව ගණයට අයත්වේ.

භායානක රසායනික ද්‍රව්‍යයන් සමග ගැටෙන්නන් රසායනික උපද්‍රව වලට ලක්වේ. ජාත්‍යන්තර නියාමන ආයතන බලධාරින් රසායනික උපද්‍රව අවම කිරීම සඳහා වෘත්තීය නිරාවරණ සීමාවන් පනවයි. තව ද දරුණු බලපෑම් එල්ලකල හැකි ප්‍රභේදයන් තවත් රසායනික ද්‍රව්‍ය සමග මිශ්‍ර කර එහි හානිය පහල මට්ටමක රදවා ගැනීමට උත්සාහ කරයි. රසායනික උපද්‍රවයන්ට ගොදුරු වීම දීර්ඝකාලීන සුව කල නොහැකි පිලිකා , අස්ථි දිරායම් , චර්ම රෝග , ප්‍රතිශක්තිකරණ අඩුවීම , ප්‍රජනන ක්‍රියාවලියට බාධා පැමිණවීම ආදී දරුණු තත්ත්වයේ ගැටලු ඇති කරයි.

මනෝ සමාජීයය උපද්‍රවයන් , ශාරිරික උපද්‍රව තරම් කතා නොකරන මාතෘකාවක් වුවද සේවකයන්ට කලහැකි බලපෑම සුළුපටු නොවේ.
මානසික හා චිත්තවේග යහපැවැත්ම එලදායි සේවයක් සදහා වැදගත් සාධකයකි. මෑත කාලීනව සිදු කල පර්යේෂණ අනුව මානසික සමබරතාව බිදීයාම රෝගී නිවාඩු දින වැඩිවීමට මෙන්ම සේවක කාර්යක්ෂමතාව අඩුවීමට ද හේතුවකි. වැඩ කරන පරිසරය ද පරිසරයේ වෙසෙන ප්‍රජාවද යහපත් අයුරින් දැක, යහපත් අයුරින් ගනුදෙනු කරන්නේ නම් මානසික පීඩා ඇති නොවී කටයුතු කල හැක. බොහෝ විට ශාරිරක පීඩාවන්ගේ හානියට වඩා සැලකිය යුතු අලාභයක් මෙන්ම මිනිස් ජිවිතවලට හානියක් මනෝ සමාජීයය උපද්‍රවයන් නිසා සිදුවේ.

මෙම රැකියාවේ සුරක්ෂිතාවය සහ සෞඛ්‍යය පිලිබදව වූ ජාත්‍යන්තරය දිනයට සමගාමීව සේවකයින් තම අයිතිවාසිකම් පිලිබඳව දැනුවත් කිරිමේ වැඩමුළු ද තම සුරක්ෂිතාවය සහ සෞඛ්‍යය නඩත්තුව තමා විසින්ම සිදුකරගැනීමේ ප්‍රතිලාභ පිලිබඳ දැනුවත් කිරිමේ වැඩසටහන් ද ක්‍රියාත්මක වේ.  ජිවිතක්ෂයට පත්වූවන් අනුස්මරණය කිරීමටත් සේවකයන් දිරිමත් කිරිමටත් රසවින්දනාත්මක වැඩසටහන් පැවැත්වීමත් සිදුවේ.

රැකියාවේ සුරක්ෂිතාවය ගෝලීය වශයෙන් ඉතාම වැදගත් කරුණකි. සියළු නිෂ්පාදන ක්‍රියාවලින් සිදුවන්නේ සේවකයන් හරහාය. අපි සියල්ලෝම රැකියාවක යුක්ත විය යුතුය. ඉතින් මේ ප්‍රධාන මතෘකාවන් මුළු ලෝකයටම අදාල ය.

2019 වර්ෂයේ අප්‍රේල් 28 වන දින පැවැත්වූ වැඩසටහනේ තේමාව වූයේ ‘ ආරක්ෂාව , සෞඛ්‍යය සහ රැකියාවේ අනාගතය ‘ යන්නයි . ඇත්තෙන්ම අනාගතයක් ගැන සිතීමට නම් ආරක්ෂාව සහ සෞඛ්‍යසම්පන්න බව වැදගත්ම සාධක වේ. වඩාත් ඵලදායි ලෙස  කාර්යක්ෂමව තම රැකියාවේ යෙදීමට අත්‍යවශ්‍යම සාධක රැකියාවේ සුරක්ෂිතාවය සහ මානසික ශාරීරික සෞඛ්‍ය යහපත්ව පවත්වාගැනීමයි.

අතිශය තරඟකාරි ජීවන රටාව සමඟ උරෙ’නුර ගැටෙන මිනිසුන් බොහෝමයක් තම අවශ්‍යතාවයන් සපුරාගන්නේ රැකියා නියුක්තිය මගිනි. එසේනම් සියල්ලන්ටම පෙර තමන් තමන්ගේ ආරක්ෂාව සහ සෞඛ්‍යය යහපත්ව පවත්වා ගතයුතුය.  කර්මාන්තශාලා හිමියන්ට සහ රජයටම ගැති නොවී තම ආරක්ෂාව පවත්වා ගැනීම තමන් උත්සුක විය යුතුය.

මිනිසා යනු ලේ, ඇට, මස්, නහර වලින් සැදි හැගීම් දැනීම් ඇති ප්‍රාණියකු මිස අවසානයේ කසල ගොඩට විසි කරන යන්ත්‍රයක් නොවන බැව් සියලු දෙනාම තරයේ මතක තබා ගත යුතු කරුණකි.

Design by – Viraj

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

හංසිකා ප්‍රබෝදිනී

විද්‍යා පීඨය - තෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment